Skip to content

2022 නොවැම්බර් 16
යුක්රේනය

අලුත්ම තත්වය අංක 13 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

ගෙයින් ගෙට සේවය ආයෙත්

අලුත්ම තත්වය අංක 13 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

2022 අගෝස්තු මාසේ යුක්රේනයේ සහෝදරයන්ට විශේෂ නිවේදනයක් කළා. ඒ, යුධ අවදානම අඩු ප්‍රදේශවල ආයෙමත් ගෙයින් ගෙට සේවය පටන්ගන්නවා කියලා. මිනිස්සුන්ව ආයෙත් මූණට මූණ හම්බ වෙලා පණිවිඩේ කියන්න අපේ සහෝදර සහෝදරියනුත් හිටියේ හරිම ආසාවෙන්. සේවේ පටන්ගත්තාම එයාලට තේරුණා හුඟදෙනෙක් බයිබලේ තියෙන පණිවිඩේ අහන්න කැමතියි කියලා. බයිබල් පාඩමකට කැමති වුණ කෙනෙක් අපේ සහෝදරයන්ට මෙහෙම කිව්වා. “යුද්දේ නිසා කොච්චර භයානක දේවල් වුණාද! කොච්චර මිනිස්සු දුක් වින්දාද! ඒ දේවල් දකිද්දී මට තේරුණා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා.” දැන් අපි සහෝදරයන් සේවෙන් ලබපු අද්දැකීම් කීපයක් බලමු.

ලනීව්ට්ස්වී සභාවේ සහෝදර රුස්ලාන්ගේ අද්දැකීම බලන්න. කාලෙකට පස්සේ ආයෙත් ගෙයින් ගෙට සේවේ යන්න එයාගේ හිතේ පොඩි බයක්, චකිතයක් තිබ්බා. හැබැයි එයායි, එයාගේ නෝනායි එයාලට ධෛර්යය දෙන්න කියලා යෙහෝවාට යාච්ඤා කළා. ඒ වගේම අපේ බලාපොරොත්තුව ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයව හොයාගන්න උදව් කරන්න කියලා එයාලා යෙහෝවාගෙන් ඉල්ලුවා. එයාලාගේ යාච්ඤාවට උත්තර ලැබුණාද? ඔව්. මුල්ම දවසේ සේවේ ගිය පැය දෙකේදී එයාලට අටදෙනෙක් එක්ක කතා කරන්න අවස්ථාව ලැබුණා. පුදුමේ කියන්නේ ඒ අටදෙනාම බයිබලේ ඉගෙනගන්න කැමති වුණා.

සහෝදරි ඔල්හා ඉන්නේ ක්‍රෙමෙනෙට්ස් සභාවේ. දවසක් එයා තව සහෝදරියක් එක්ක සේවේ යද්දී එක මනුස්සයෙක් එයාලා ගාවට දුවගෙන ඇවිල්ලා ඇහුවා “ඔයාලා අර බයිබලේ ගැන කියලා දෙන කට්ටිය නේද” කියලා. ඊටපස්සේ එයා අපේ සහෝදරියට මෙහෙම කිව්වා. “මට බොන එක නවත්තගන්න බෑ. මං ගොඩක් සිගරටුත් බොනවා. මං දන්නවා මේ හැම දේකටම දෙවියන්ට ගණන් දෙන්න වෙන දවසක් එනවා කියලා. එදාට මේ විදිහට ඉන්න මං කැමති නෑ. ඊට කලින් මට ඕනෙ කොහොමහරි හොඳ මනුස්සයෙක් වෙන්න.” ඉතින් අපේ සහෝදරියන් එයාත් එක්ක බයිබලේ පාඩම් කරන්න සහෝදරයෙක්ව ලෑස්ති කළා.

සහෝදර වසීල් ඉන්නේ ලිවිව් රියාස්නේ ස්කීඩ්නී සභාවේ. එයා ගම්බද පළාතක සේවේ ගියා. එක ගෙදරකට කතා කරන්න යද්දී එයාට මතක් වුණා මීට අවුරුදු කීපයකට කලිනුත් එයා ඒ ගෙදරට ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි ඒ වතාවේ ඒ ගෙදර හිටපු ගෑනු කෙනා එයාලව කෑගහලා, බැනලා එළවගත්තා. ඒ වුණාට සහෝදර වසීල් හිතුවා මේ පාරත් ඒ ගෙදරට කතා කරන්න ඕනෙ කියලා. ඉතින් එයා දොරට තට්ටු කළා. මේ වතාවෙත් දොර ඇරියේ කවුද කියලා දන්නවාද? ඒ අර කලින් සැරේ බැනපු ගෑනු කෙනාමයි. හැබැයි මේ පාර නම් එයා බැන්නේ නැහැ, පණිවිඩේට හොඳට ඇහුම්කන් දුන්නා. එයා බයිබල් පාඩමක් කරන්න කැමැති වුණා. ඉතින් සහෝදර වසීල් එයාත් එක්ක පාඩම් කරන්න අපේ සහෝදරියක්ව ලෑස්ති කළා.

සහෝදර සර්හේ ඉන්නේ ඉලින්ට්සි සභාවේ. එයා බව්තීස්ම වුණේ 2021දී. ඒ නිසා එයා කවදාවත් ගෙයින් ගෙට සේවේ ගිහින් තිබුණේ නැහැ. ගෙයින් ගෙට සේවේ පටන්ගත්තා කියලා මුලින්ම අහද්දී එයාගේ හිතට ලොකු බයක් දැනුණා. ඒ නිසා එයා හොඳට කාලේ අරන් සේවේට ලෑස්ති වුණා. සර්හේ මෙහෙම කියනවා. “මං සාකච්ඡාවට යෝජනා වීඩියෝ ටික ඇති වෙන්න බැලුවා. ඒ නිසා සේවේ ගිහින් කියන්නේ මොනවාද කියලා නම් මං ඔළුවට දාගත්තා. මට තව ඕනෙ වෙලා තිබ්බේ ධෛර්යය විතරයි.” අපේ සහෝදරයා සේවේ ගිහිල්ලා පණිවිඩේ ගැන අනිත් අයත් එක්ක කතා කරද්දී එයාගේ බය එහෙම්මම නැති වෙලා ගියා. එයා සේවෙන් ලොකු සතුටක් ලැබුවා.

සහෝදරි නිකෝල් ඉන්නේ රොස්ඩීල් සභාවේ. 2022 අගෝස්තු මාසේදී තමයි එයා බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වුණේ. එයා මෙහෙම කියනවා. “කට්ටියව මූණට මූණ හම්බ වෙලා පණිවිඩේ ගැන කියනවා කියලා හිතද්දීත් මට ලොකු බයක් දැනුණා. හැබැයි ඊටපස්සේ තමයි මට තේරුණේ කෙනෙක්ව මුණගැහිලාම යෙහෝවා දෙවියන් ගැන කතා කරද්දී ඒකෙන් කොච්චර ලොකු සතුටක් ලැබෙනවාද කියලා.”

සහෝදරියන් දෙන්නෙක් සේවේ යනවා

පහළ තියෙන්නේ 2022 නොවැම්බර් 11වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ පවතින තත්වයත් එක්ක සහෝදරයන්ගෙන් තොරතුරු දැනගන්න අමාරු නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 46දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 97දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 12,569දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 590ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 645කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 1,722කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 6ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 19කට බරපතළ හානි වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 63කට සුළු හානි සිද්ධ වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 53,948දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 25,983දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා