Skip to content

වම: යුක්රේනයේ ඉඳලා ආපු සහෝදරියක්ව ජර්මනියේ ෂ්ටුට්ගාට්වල සහෝදර සහෝදරියන් පිළිගන්නවා. දකුණ උඩ: යුක්රේනයට සහනාධාර ලබා දෙන පෝලන්තයේ සහෝදරයන්. දකුණ යට: බෝම්බවලින් නටඹුන් වුණ ගොඩනැඟිලි

2022 මාර්තු 16
යුක්රේනය

අලුත්ම තත්වය අංක 3 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

අලුත්ම තත්වය අංක 3 | යුධ ගිනි මැද ආදරය පැතිරෙයි

මාරියුපෝල් නගරෙට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයකින් අපේ සහෝදරියන් 2නෙක් මිය ගියා. දැනට එහේ දරුණු සටනක් සිද්ධ වෙන නිසා සහෝදර සහෝදරියන් 2,000කට වඩා වැඩි පිරිසක් නගරෙන් පිට වෙන්න බැරුව හිර වෙලා ඉන්නවා. ඒත් පහුගිය දවස් කීපයේදී සාක්ෂිකරුවන් 150දෙනෙක්ට විතර එහෙන් පලා යන්න පුළුවන් වුණා. සහන සේවා කමිටුවක වැඩ කරන සහෝදරයන් මාරියුපෝල්වල ඉන්න සහෝදරයන්ට අවශ්‍ය දේවල් අරන් ගියා. ඒත් එයාලටත් සහනාධාර අරන් ගිය අනිත් වාහනවලටත් වෙඩි තියපු නිසා එයාලට ආයෙත් හැරිලා එන්න සිද්ධ වුණා. එහේ නමස්කාර මධ්‍යස්ථානයක් සහ සමුළු ශාලාවක් තිබුණ ගොඩනැඟිලි සංකීර්ණයක වත්තට බෝම්බයක් වැටුණා. ඒ වෙද්දී නමස්කාර මධ්‍යස්ථානයේ බේස්මන්ට් එකේ සහෝදර සහෝදරියන් 200ක් විතර හිටියා. එයාලට හානියක් වුණේ නැහැ. ඒත් එයාලගේ වාහන ඔක්කොම විනාශ වුණා. ඒ නිසා නගරෙන් පලා යන්න තිබුණ සැලසුමටත් බාධා වුණා.

පවුලේ අයත් එක්ක මාරියුපෝල්වලින් පලා ආපු වැඩිමහල්ලෙක් (පහළ පින්තූරයේ) මෙහෙම කියනවා. “අපි හිටපු මහල් නිවාසය, අපේ රස්සාවල් අපිට නැති වුණා. සහෝදර සහෝදරියන් ගැන තොරතුරුත් අපිට නැහැ. සාමාන්‍යයෙන් මෙහෙට එන්න යන්නේ දවසයි. ඒත් මෙදා ගමනට දවස් 6ක් ගියා. අපි නගරෙන් එද්දී පුපුරපු නැති බෝම්බ මඟ දිගට වැටිලා තිබුණා. ඒවාවලින් දුම් දානවාත් අපි දැක්කා. අපි පහු කරලා ආපු පැතිවල හිටපු සහෝදර සහෝදරියෝ නවාතැන් ගන්න, කෑම හොයාගන්න අපිට උදව් කෙරුවා. අපේ තාත්තා විදිහට යෙහෝවා අපි ගැන කොච්චර සැලකිලිමත්ද කියලා අපිට දැනෙනවා. . . . යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසය තියලා වැඩ කරන්න මේ අද්දැකීම අපිට තවත් උදව් වුණා.”

වම: මරියුපෝල්වලින් පලා ගිය යුවළක්. දකුණ: එයාලගේ බේස්මන්ට් එකේ කොටසක්. දවස් 8ක් එයාලා ඒකේ කොටු වෙලා හිටියා

යුක්රේනයේ ඉන්න සහෝදර සහෝදරියන් සරණාගතයන් විදිහට මේ වෙද්දී යුරෝපයේ රටවල් කීපයකට ගිහින් තියෙනවා. උදාහරණයකට සහායක සේවකයෙක් එයාගේ නෝනායි, වයස අවුරුදු 7, 11 සහ 16 පුතාලා තුන්දෙනායි එක්ක එයාලගේ නෑදෑයෝ ඉන්න පෘතුගාලයට ගියා. ඒ නෑදෑයෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ. මේ පවුලේ අයට දේශසීමාව පහු කරන කල් පැය 11ක් පෝළිමේ ඉන්න වුණා. ඊටපස්සේ දවස් 4ක් තිස්සේ කිලෝමීටර් 4,000ක විතර දුරක් ගෙවාගෙන නෑදෑයන්ගේ ගෙදරට ආවා. එයාලා ආවේ සභාවේ රැස්වීම පටන්ගන්න ඔන්න මෙන්න තියලා. එයාලා පෘතුගීසි දන්නේ නැති වුණත් රැස්වීමට හවුල් වුණා. කොච්චර ප්‍රශ්න තිබුණත් ඒ පවුලේ අය සතුටින් හිටපු විදිහ දැකලා සභාවේ අයත් ගොඩක් දිරිගැන්වුණා.

යුක්රේනයේ ඉඳලා පෘතුගාලයට ආපු පවුලේ අයගේ ෆොටෝ එකක්. ඒක ගත්තේ රැස්වීමෙන් පස්සේ. එයාලා දවස් 4ක් තිස්සේ කිලෝමීටර් 4,000ක විතර දුරක් ගෙවලයි ඇවිත් තිබුණේ

පවුලේ අයත් එක්ක ජර්මනියට පලා ගිය සහෝදරියක් මෙහෙම කියනවා. “බයිබලය කියවන එක, වේදනාවක් දැනෙන දේවල් ගැන හිතනවා වෙනුවට පාරාදීසය ගැන අපිට තියෙන බලාපොරොත්තුව වගේ යහපත් දේවල් ගැන හිතන එක අපිට පුදුම ධෛර්යයක්, හයියක් වුණා. . . . යෙහෝවා අපේ අතින් අල්ලගෙන අපිට මඟ පෙන්නලා සහෝදරයන් මාර්ගෙන් උදව් කෙරුවා. අපිට ඇත්තටම දැනෙන්නේ එහෙමයි. සහෝදරයෝ අපිව ආදරෙන් පිළි අරන් අපිට උදව් කරනවා. අපි යුක්රේනයේදිත් හංගේරියාවේදිත් ඒක අද්දැක්කා. දැන් ජර්මනියේදිත් ඒක අද්දකිනවා!”

යෙහෝවා දෙවියන් යුක්රේනයේ සහෝදර සහෝදරියන් ළඟින්ම ඉඳන් එයාලට උදව් කරනවා කියලා අපිට හොඳටම පේනවා.—ගීතාවලිය 145:14.

පහළ තියෙන්නේ 2022 මාර්තු 16වෙනිදා වෙද්දී ලැබුණ තොරතුරු. මේ සංඛ්‍යා ලේඛන පදනම් කරගත්තේ යුක්රේනයේ එක එක ප්‍රදේශවල ඉන්න සහෝදරයන් තහවුරු කරපු වාර්තාවලට අනුව. යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි වෙලා නිසා මේ සංඛ්‍යා හරියටම හරියි කියන්න බැහැ. බොහෝදුරට සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලා හිතන්න පුළුවන්.

යුද්ධය මේ දක්වා බලපාලා තියෙන විදිහ

  • ප්‍රචාරකයන් 4දෙනෙක් මැරුණා

  • ප්‍රචාරකයන් 19දෙනෙක්ට තුවාල වුණා

  • ප්‍රචාරකයන් 29,789දෙනෙක් රට ඇතුළේ තියෙන ආරක්ෂිත තැන්වලට පලා ගිහින් තියෙනවා

  • ගෙවල් 45ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා

  • ගෙවල් 84කට බරපතළ හානි වෙලා

  • ගෙවල් 366කට සුළු හානි සිද්ධ වෙලා

  • නමස්කාර මධ්‍යස්ථාන 16කටත් හානි වෙලා

සහන සේවා

  • යුක්රේනය පුරා සහන සේවා කමිටු 27ක් පිහිටුවලා තියෙනවා

  • ආරක්ෂාව තියෙන තැන්වලින් නවාතැන් හොයාගන්න ප්‍රචාරකයන් 20,981දෙනෙක්ට ඒ කමිටු මේ වෙද්දී උදව් කරලා තියෙනවා

  • වෙනත් රටවල්වලට පලා ගිය ප්‍රචාරකයන් 11,973දෙනාට ඒ රටවල්වල ඉන්න සහෝදරයන් දිගටම උදව් කරනවා