නිර්මාණයක්ද?
කිමිදුම් ශූර තාර හොට තල්මසා
තාර හොට තල්මසාට (Cuvier’s beaked whale) පුළුවන් මීටර් 2,992ක් (අඩි 9,816ක්) ගැඹුරට කිමිදෙන්න. ඒ වගේ ගැඹුරු තැනකදී තල්මසාගේ සිරුර මත වතුරෙන් ඇති කරන පීඩනය කොයි වගේද? ඒක හරියට වර්ග සෙන්ටිමීටරයක් තරම් පොඩි ප්‍රදේශයක් උඩ කිලෝග්‍රෑම් 310ක විතර බරක් යෙදුවාම ඇති කරන පීඩනයට සමානයි. වතුර මතුපිටට ඇවිත් හුස්මක් කටක් ගත්තාට පස්සේ මේ තල්මසාට පුළුවන් හුඟ වෙලාවක් වතුර යට ඉන්න. එහෙම කරපු එක තල්මසෙක් ආයෙත් හුස්ම ගන්න මතුපිටට ආවේ පැය 3යි, විනාඩි 42කට පස්සේ. ඒක දැනට වාර්තා වෙලා තියෙන වැඩිම කාලය. වාතය ආශ්වාස කරන මේ ක්ෂීරපායි සත්තු අධික පීඩනයක් තියෙන තැනක හරිම පොඩි ඔක්සිජන් ප්‍රමාණයකින් පණ රැකගන්නේ කොහොමද?
අනිත් සාගර ක්ෂීරපායින්ගේ වගේ තාර හොට තල්මසා කිමිදෙද්දී උගේ ඉළඇට කූඩුවත් ඇතුළට නැමෙනවා. එතකොට පෙණහලු හැකිළෙනවා. පර්යේෂකයන් හොයාගෙන තියෙනවා සාගරයේ ඉන්න ක්ෂීරපායින්ගේ හදගැස්ම වේගයෙන් අඩු වෙද්දී උන් පාවිච්චි කරන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා කියලා. ඒ වගේම ඔක්සිජන් ඉතුරු කරගන්න ඕනෙ නිසා උගේ මොළයට, හදවතට සහ මාංශ පේශීවලට යන ලේ ප්‍රමාණය වැඩි වෙනවා කියලාත් එයාලා කියනවා.
ඊට අමතරව සාගර ක්ෂීරපායි සත්තු උන්ගේ මාංශ පේශීවල ඔක්සිජන් ගබඩා කරගන්නේ මයොග්ලොබින් කියන ප්‍රෝටීනය විදිහට. තල්මසෙක් ගැඹුරට කිමිදෙද්දී මයොග්ලොබින් මගින් ඌට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් මුදාහරිනවා. මිනිස්සු සහ ගොඩබිමේ ඉන්න සත්තුන්ට වඩා මේ තල්මසාගේ මාංශ පේශීවල මයොග්ලොබින් වැඩි ප්‍රමාණයක් තියෙනවා.
එක පර්යේෂකයෙක් තාර හොට තල්මසා ගැන මෙහෙම කියනවා. “උන් අපිට හිතාගන්න බැරි තරම් ගැඹුරට පීනනවා. ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන අපිට දැනට තියන දැනුම එක්ක බලද්දී උන් කරන්නේ උන්ට කරන්න පුළුවන් කියලා අපි හිතනවාට වඩා ගොඩක් එහාට ගිය දෙයක්.” මේ තල්මස්සු කිමිදෙන විදිහ ගැන තවත් හොඳින් තේරුම්ගන්න විද්‍යාඥයන් උත්සාහ කරනවා. එයාලා හිතනවා හැකිළුණු පෙණහලුවලට කරන ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු කරගන්න ඒක වෛද්‍යවරුන්ට උදව් වෙයි කියලා.
ඔයාගේ නිගමනය මොකක්ද? තාර හොට තල්මසාට හුඟ වෙලාවක් සාගරයේ ගැඹුරට පීනන්න හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඌ කාගේ හරි නිර්මාණයක්ද?