1වන ප්‍රශ්නය
ජීවය ආරම්භ වුණේ කෙසේද?
“මම ආවේ කොහෙන්ද?” සමහරවිට ඔබ කුඩා කාලයේදී ඒ ප්‍රශ්නය ඔබේ දෙමාපියන්ගෙන් අසා ඇති. ඊට ඔවුන් දුන් පිළිතුර ඔබට මතකද? සමහරවිට ඔවුන් එය නෑසුනා සේ ඉන්න ඇති. නැත්නම් ලැජ්ජාව නිසා ඔවුන් වැඩි විස්තරයක් නොකියන්න ඇති. එසේත් නැත්නම් ඒ ගැන කතාවක් ගොතා කියන්න ඇති. නමුත් කාලයත් සමඟ සැබෑව කුමක්ද කියා ඔබ තේරුම්ගත් බව නිසැකයි. කෙසේවෙතත් දරුවෙක් වැඩිහිටියෙකු වී විවාහයට සූදානම් වීම සඳහා ප්‍රජනනය ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීම ඉතා වැදගත්.
ඉහත සඳහන් ප්‍රශ්නයට බොහෝ දෙමාපියන් යම් පිළිතුරක් දුන්නත් ඒ ගැන වැඩි විස්තර කතා කිරීමට ඔවුන් අදිමදි කරනවා. ඒ හා සමානවම ජීවය ආරම්භ වුණේ කෙසේද යන ප්‍රශ්නයටත් බොහෝ විද්‍යාඥයන් යම් පිළිතුරක් දුන්නත් පිළිගත හැකි සාධාරණ පිළිතුරක් දීමට ඔවුන්ද අදිමදි කරනවා. කෙසේනමුත් ඊට සෑහීම ගෙන දෙන පිළිතුරක් ලැබුණොත් ජීවය කියන්නේ කොතරම් වටිනා දෙයක්ද කියා තේරුම්ගැනීමටත් එය අගය කිරීමටත් ඔබ පෙලඹෙයි. එසේනම් ඇත්තටම ජීවය ආරම්භ වුණේ කෙසේද කියා අපි බලමු.
බොහෝ විද්‍යාඥයන් පවස දේ. පරිණාමය විශ්වාස කරන බොහෝ විද්‍යාඥයන් පවසන්නේ වසර බිලියන ගණනකට පෙර ගැඹුරු මුහුදේ හෝ මුහුදු ජලය එකතු වන ස්ථානයක ජීවය හටගත් බවයි. ඔවුන්ගේ අදහස වන්නේ එවැනි ස්ථානවල ඉබේම එකතු වූ රසායනික ද්‍රව්‍යයන් බුබුළු ආකාරයක හැඩයක් ගෙන පසුව සංකීර්ණ අණු බවට පත් වී ඒවා බෙදෙන්න පටන්ගත් බවයි. ඒ අනුව මුලින්ම “සරල” සෛල අහම්බෙන් ඇති වී එයින් ජීවය ආරම්භ වූ බව ඔවුන්ගේ මතයයි.
පරිණාමය විශ්වාස කරන නමුත් ඉහත කී අදහසට එකඟ නොවන විද්‍යාඥයන් පිරිසක්ද සිටිනවා. ඔවුන් පවසන්නේ මිහිමත පළමු සෛලය හෝ අඩුම තරමින් එය සෑදීමට අවශ්‍ය සංඝටකවත් වෙනත් ග්‍රහලෝකයකින් පැමිණිය යුතු බවයි. එසේ පැවසීමට හේතුව කුමක්ද? ඔවුන් කොතරම් උත්සාහ කළත් අජීවී අණුවලින් ජීවයක් හටගත් බව ඔප්පු කිරීමට ඔවුන්ට මේ වන තෙක් හැකි නොවීමයි. ඒ ගැන ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ඇලෙක්සැන්ඩර් මීනෙස් පවසන්නේ පසුගිය වසර 50 තුළ “අජීවී අණු එකතු වී ජීවයක් ඉබේ හටගත් බව ඔප්පු කිරීමට කිසිම සාක්ෂියක් හමු වී නැහැ” කියායි. එමෙන්ම 1
“විද්‍යාව කොපමණ දියුණු වී තිබුණත් එයින්ද ඒ බව ඔප්පු කිරීමට හැකි වී නැහැ” කියාද ඔහු තවදුරටත් පවසනවා.සාක්ෂිවලින් ඔප්පු වන දේ. දරුවෙකු බිහි වන්නේ කෙසේද යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් තිබෙනවා. එනම් සෑමවිටම අලුත් ජීවයක් හටගන්නේ තවත් ජීවයකිනුයි. මෙය පිළිගත් සත්‍යයක්. ඒ ගැන කිසි විවාදයක් නැහැ. නමුත් ජීවය ආරම්භ වූ මුල්ම අවස්ථාවේදී මෙම සත්‍යය වෙනස් වුණාද? ඉන් අදහස් කරන්නේ අජීවී රසායනික සංඝටකවලින් ඉබේම ජීවයක් හටගත් බවද? එවැනි දෙයක් සිදු වීමට ඉඩකඩ තිබෙනවාද?
සෛලයක පැවැත්මට අඩුම තරමින් සංකීර්ණ අණු තුනක්වත් එකිනෙකට සම්බන්ධ වී ක්‍රියා කළ යුතු බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා. ඒවා නම් DNA (ඩිඔක්සිරයිබොනියුක්ලික් අම්ලය), RNA (රයිබොනියුක්ලික් අම්ලය) සහ ප්‍රෝටීනයි. කෙසේවෙතත් අජීවී රසායනික ද්‍රව්‍ය කිහිපයක් අහම්බෙන් එකතු වීමෙන් සෛලයක් ඇති වුණා කියා අද සිටින බොහෝ විද්‍යාඥයන් ඍජුවම පවසන්නේ නැහැ. නමුත් සෛලයකට අවශ්‍ය සංඝටක ගැන කුමක් කිව හැකිද? සෛලයක ක්‍රියාකාරිත්වයට දායක වන RNA හෝ ප්‍රෝටීනවත් අහම්බෙන් ඇති විය හැකිද? දැන් අපි ඒ ගැන සලකා බලමු. a
ජීවය ආරම්භ වුණේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයකින් කියා බොහෝ විද්‍යාඥයන් විශ්වාස කිරීමට පෙලඹුණේ 1953දී ස්ටැන්ලි එල්. මිලර් කළ පරීක්ෂණය නිසයි. ඔහු කළේ පුරාණ වායු ගෝලයේ තිබෙන්න ඇතැයි කියා උපකල්පනය කළ වායු මිශ්‍රණයක් සකස් කර ඒ තුළට අකුණුවලට සමාන විදුලි ගිනි පුපුරු යැවීමයි. ඒ තුළින් ඇමයිනෝ අම්ල නිපදවීමට ඔහු සමත් වුණා. එමෙන්ම පසු කාලයකදී පෘථිවියට පතිත වූ උල්කාපාතයකද ඇමයිනෝ අම්ල තිබූ බව සොයාගත්තා. නමුත් එවැනි සොයාගැනීම්වලින් අදහස් කරන්නේ සෛලයක් ඇති වීමට අවශ්‍ය මූලික සංඝටක සියල්ල ඉබේ ඇති වූ බවද?
ඒ ගැන නිව් යෝක් විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාඥයෙක්ව සිටි මහාචාර්යය රොබට් ෂැපයිරෝ මෙසේ අදහස් දක්වනවා. “ජීවය ආරම්භ වීමට අවශ්‍ය සියලුම සංඝටක විද්‍යාගාරයක් තුළ පහසුවෙන් නිපදවිය හැකි බව සමහර අය සිතන්නේ මිලර් කළ පරීක්ෂණය වගේම උල්කාපාතවල සොයාගත් ඇමයිනෝ අම්ල පදනම් කරගෙනයි. නමුත් එය එසේ නොවෙයි.”2 b
දැන් අපි RNA අණුවක් ගැන සලකා බලමු. එය සෑදී ඇත්තේ ඉතාමත් කුඩා නියුක්ලියෝටයිඩ අණුවලිනුයි. එම අණුවක් ඇමයිනෝ අම්ලයකට වඩා ටිකක් සංකීර්ණයි. ඒ ගැන ෂැපයිරෝ පවසන්නේ “කිසිම පරීක්ෂණාගාරයක නියුක්ලියෝටයිඩ අණු නිපදවා ඇති බවක් මේ වන තෙක් වාර්තා වී නැහැ” කියායි.3 තමාගේම පිටපතක් සාදාගැනීමේ හැකියාව RNA අණුවක් සතුයි. ෂැපයිරෝ තවදුරටත් පවසන්නේ එවැනි සංකීර්ණ අණුවක් රසායනික ද්‍රව්‍ය කිහිපයක් එකතුවීමෙන් “විශ්වයේ කොතැනක හෝ අඩුම තරමින් එක වරක්වත් ඉබේ බිහි වුණා කියා සිතීම ඉතා දුෂ්කරයි” කියායි.4
ප්‍රෝටීන අණු ගැන කුමක් කිව හැකිද? සමහර ප්‍රෝටීන අණු සෑදී තිබෙන්නේ ඇමයිනෝ අම්ල 50ක් තරම් අඩු සංඛ්‍යාවකින් වුණත් තවත් ඒවා සෑදීමට ඇමයිනෝ අම්ල දහස් ගණනක් අවශ්‍ය වෙනවා. ඒ සෑම එකක්ම සකස් වී තිබෙන්නේ ඉතා සංකීර්ණ පිළිවෙළකටයි. සරලයි කියා හඳුන්වන සෛලයක පවා තිබෙන සාමාන්‍ය
ප්‍රෝටීනයක ඇමයිනෝ අම්ල 200ක් තිබෙනවා. එවැනි සෛලයක විවිධ ප්‍රෝටීන වර්ග දහස් ගණනක් අඩංගුයි. ඒ අනුව බලන විට ඇමයිනෝ අම්ල 100ක් පමණක් තිබෙන ප්‍රෝටීනයක්වත් ඉබේම ඇති වීමේ සම්භාවිතාව “මිලියන බිලියනයකින් එකක්” තරම්.විද්‍යාගාරයක සංකීර්ණ අණු නිපදවීමට බුද්ධිමත් විද්‍යාඥයෙක් අවශ්‍ය නම් සෛලයක ඇති ඊටත් වඩා සංකීර්ණ අණු ඉබේ හටගත්තා කියා සිතීම සාධාරණද?
පරිණාමවාදය පිළිගන්නා පර්යේෂකයෙක් වන හියුබට් පී. යෝකී ඊටත් වඩා වැඩි දෙයක් පවසනවා. “ජීවය ආරම්භයේදී ‘මුලින්ම ප්‍රෝටීන ඇති වෙන්න’ කොහෙත්ම ඉඩක් නැහැ.” 5 ඊට හේතුව වන්නේ ප්‍රෝටීන ඇති වීමට RNA අත්‍යවශ්‍ය නිසයි. නමුත් අනික් අතට RNA නිපදවීමට ප්‍රෝටීන අත්‍යවශ්‍යයි. යම් ආකාරයකින් ප්‍රෝටීන හා RNA අණු ඉබේම එකම ස්ථානයක එකම වෙලාවක ඇති වුණා කියා සිතමු. නමුත් ඒවා එකට එකතු වී, ස්වයංක්‍රීයව තමාගේම පිටපතක් සාදාගන්නා, තමාව දිගටම පවත්වාගැනීමේ හැකියාව ඇති ජීවමාන සෛලයක් බවට පත් වුණා කියා සිතන්න පුළුවන්ද? ඒ ගැන නාසා ආයතනයේ පරිපාලන අංශයේ සාමාජිකාවක් වන ආචාර්ය කැරල් ක්ලීලන්ඩ්ගේ c අදහස මෙයයි. “ඇත්තටම [ප්‍රෝටීන හා RNA ඉබේමට එකතු වී] ඒ වගේ දෙයක් සිද්ධ වෙයි කියන එක නම් හිතාගන්න හරිම අමාරුයි. නමුත් බොහෝ පර්යේෂකයන්ගේ කියන්නේ පුරාණ වායුගෝලීය තත්වය යටතේ ප්‍රෝටීන හා RNA ඇති වුණ ආකාරය සොයාගන්න තමන්ට හැකි වුණොත් ඒවා සම්බන්ධ වී ජීවය හටගත්තේ කෙසේද කියාත් තමන්ට විස්තර කළ හැකි බවයි.” ඇය තවදුරටත් පවසන්නේ “ජීවය ආරම්භ වුණේ කෙසේද යන්න ගැන පැහැදිලිව විස්තර කිරීමට ඒ අයගෙන් කාටවත් තවම හැකි වී නැහැ” කියායි.6
එම තොරතුරු වැදගත් වීමට හේතුව. අහඹු සිදුවීමක ප්‍රතිඵයකින් ජීවය හටගත්තා කියා පවසන අය මුහුණ දෙන අභියෝගයක් ගැන සිතා බලන්න. ජීවී සෛල තුළ තිබෙන සමහර ඇමයිනෝ අම්ල විද්‍යාඥයන් උල්කාපාතයක තිබීද සොයාගෙන තිබෙනවා. ඒ වගේම විද්‍යාගාර තුළ ඉතා පරෙස්සමින් කළ පරීක්ෂණ තුළින් වෙනත් සංකීර්ණ අණු නිපදවීමටද ඔවුන්ට හැකි වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ අවසානයේදී “සරල” සෛලයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු සංඝටක නිර්මාණය කිරීමයි. ඔවුන්ගේ එම උත්සාහය මේ හා සමානයි. කෙනෙක් ස්වභාවික සම්පත් උපයෝගි කරගෙන ඒවා යකඩ, ප්ලාස්ටික්, සිලිකන් සහ විදුලි රැහැන් බවට පරිවර්තනය කර රොබෝ යන්ත්‍රයක් නිපදවනවා. එමෙන්ම ඊට තවත් එවැනිම රොබෝ යන්ත්‍ර නිපදවීම සඳහා අවශ්‍ය සියලු දත්තයන්ද ඇතුල් කරනවා. අවසානයේදී එම රොබෝ යන්ත්‍රයෙන් ඔප්පු වන්නේ කුමක්ද? පුදුමසහගත යන්ත්‍රයක් නිපදවීමට බුද්ධිමත් කෙනෙකු අවශ්‍ය බව නොවේද!
එලෙසම විද්‍යාඥයන්ටත් කවදා හෝ සෛලයක් නිර්මාණය කිරීමට හැකි වුණොත් එය මොන තරම් පුදුමසහගත දෙයක් වේවිද! එවිට
ඉන් ඔප්පු වන්නේ එම සෛලය ඉබේම හටගත් බවද? කොහෙත්ම නැහැ. ඉන් ඔප්පු වන්නේ ජීවමාන සෛලයක් නිර්මාණය කිරීමට බුද්ධිමත් නිර්මාණකරුවෙක් සිටිය යුතුයි යන සත්‍යයයි.ඔබ සිතන්නේ කුමක්ද? මේ දක්වා සොයාගෙන ඇති විද්‍යාත්මක සාක්ෂිවලින් ඔප්පු වන්නේ ජීවයක් හටගන්නේ තවත් ජීවයකින් පමණක් බවයි. ඒ නිසා අජීවී රසායනික ද්‍රව්‍ය කිහිපයක් එකතු වී “සරල” ජීවමාන සෛලයක් ඉබේ හටගත්තා කියා පිළිගන්න පුළුවන්ද?
යම් දෙයක් ඔප්පු කිරීමට සාක්ෂි තිබියදීත් ඔබ එය විශ්වාස නොකර ඊට පටහැනි දෙයක් විශ්වාස කරනවාද? ඊට පිළිතුරු දීමට පෙර සෛලයක් සෑදී තිබෙන ආකාරය ගැන අපි සලකා බලමු. ජීවය අහම්බෙන් ඇති වුණා යන මතය විශ්වාස කිරීමට හෝ නොකිරීමට එම තොරතුරු ඔබට උපකාරවත් වෙයි.
a DNA අණු අහම්බෙන් ඇති විය හැකිද යන කාරණය ගැන “සෛලයට තොරතුරු ලැබුණේ කොහෙන්ද?” යන 3වන කොටසින් සලකා බලමු.
b ජීවය බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් කියා මහාචාර්යය ෂැපයිරෝ විශ්වාස කරන්නේ නැහැ. ඔහු පවසන්නේ ජීවය ආරම්භ වුණේ තවමත් සම්පූර්ණයෙන්ම වටහාගෙන නැති යම් අහඹු සිදුවීමකින් කියායි. වර්ෂ 2009දී එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයක් තුළ නියුක්ලියෝටයිඩ නිපදවා ඇති බවට වාර්තා වුණා. කෙසේනමුත් ෂැපයිරෝ පවසන්නේ “ඔවුන් නිපදවූ නියුක්ලියෝටයිවලින් RNA නිපදවන්න බැරි” බවයි.
c ජීවය බුද්ධිමත් කෙනෙකුගේ නිර්මාණයක් කියා ඇය විශ්වාස කරන්නේ නැහැ. ඇය සිතන්නේ ජීවය ආරම්භ වුණේ තවමත් සම්පූර්ණයෙන්ම වටහාගෙන නැති යම් අහඹු සිදුවීමකින් කියායි.