Skip to content

පටුනට යන්න

ස්වයංවින්දනය අත්හරින්නේ කොහොමද?

ස්වයංවින්දනය අත්හරින්නේ කොහොමද?

25වෙනි පරිච්ඡේදය

ස්වයංවින්දනය අත්හරින්නේ කොහොමද?

“මම ස්වයංවින්දනයට පුරුදු වුණේ අවුරුදු අටේදීයි. පස්සේ මම දැනගත්තා දෙවි ඒක පිළිකුල් කරනවා කියලා. ඒත් ඒක කරන්න පෙලඹීමක් ඇති වෙලා ඒ දේ කරපු හැම වෙලාවකම මට ලොකු කලකිරීමක් ඇති වුණා. මං වගේ කෙනෙකුට දෙවි ආදරය කරයිද කියලා මම හැමතිස්සේම කල්පනා කළා.”—ලුයීස්.

යොවුන් වියේදී ලිංගික හැඟීම් ප්‍රබලයි. ඒ නිසා ඔබ ස්වයංවින්දනයට පුරුදු විය හැකියි. * බොහෝදෙනෙක් කියන්නේ එය අහිංසක වින්දනයක් කියායි. නමුත් එය සත්‍යයක් නොවෙයි. බයිබල් ලේඛකයෙක් වූ පාවුල් ලිව්වේ, ‘කාමාශාව සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි’ කියායි. (කොලොස්සි 3:5) ස්වයංවින්දනයෙන් කාමාශාව තව තවත් වැඩි කරනවා මිස එය නැති කර දමන්නේ නැහැ. පහත සඳහන් කාරණාද සලකා බලන්න.

● ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක් තමා ගැන පමණක් සිතන කෙනෙකු බවට පත් විය හැකියි.

● එවැනි කෙනෙක් විරුද්ධ ලිංගයේ අයව සලකන්නේ තමාගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමට තිබෙන භාණ්ඩ ලෙසයි.

● ස්වයංවින්දනයේ යෙදෙන කෙනෙක් තමා ගැන පමණක් සිතන නිසා විවාහ වූ පසු ලිංගික ඇසුරක් පවත්වද්දී තෘප්තියක් නොලැබිය හැකියි.

ස්වයංවින්දනය තුළින් ලිංගික ආශාවන් තෘප්තිමත් කරගන්නවා වෙනුවට ඔබේ හැඟීම් පාලනය කරගැනීමට ඉගෙනගන්න. (1 තෙසලෝනික 4:4, 5) ඒ සඳහා ලිංගික හැඟීම් ඇති වීමට දායක වන තත්වයන් මඟහරින්න කියා බයිබලයේ උපදෙස් දී තිබෙනවා. (හිතෝපදේශ 5:8, 9) ඒත් ඔබ ස්වයංවින්දනයට වහල් වෙලා නම් ඔබට කුමක් කළ හැකිද? ඔබ කොතරම් වෑයම් කළත් නැවතත් ඒ පුරුද්දට වැටෙනවා නම්, ‘මට කවදාවත් දෙවිගේ ප්‍රමිති අනුව ජීවත් වෙන්න බැහැ’ කියා ඔබට සිතෙන්න පුළුවන්. පේත්‍රෝ නමැති යෞවනයා සිතුවේ ඒ විදිහටයි. “මම ඒ පුරුද්දට ආයෙත් වැටෙන කොට දෙවි මට කවදාවත් සමාව දෙන එකක් නැහැ කියලා මට හිතුණා. මට යාච්ඤා කරන්නත් අමාරු වුණා.”

ඔබේ තත්වයත් එය නම් අධෛර්යය වෙන්න එපා. බොහෝ තරුණයන් සහ වැඩිහිටියන් ස්වයංවින්දනය අත්හැර තිබෙනවා. ඔබටත් පුළුවන් එය අත්හරින්න.

සිත වධ දෙනවා නම් . . .

ස්වයංවින්දනය අත්හැරියාට පස්සේ එහි නැවත යෙදෙන්න පෙලඹෙන අයට ඔවුන්ගේ සිත බොහෝවිට වධ දෙනවා. ‘දෙවි ඉදිරියේ’ එලෙස ‘අවංකවම දුක් වීම’ ඒ පුරුද්දෙන් මිදීමට ඔබට උපකාරයක්. (2 කොරින්ති 7:11) නමුත් ඕනෑවට වඩා දුක් වීම එයින් ගොඩ ඒමට බාධාවක්. මන්ද ඔබ අධෛර්යයට පත් වී උත්සාහය අත්හරින්න ඉඩ තිබෙනවා.—හිතෝපදේශ 24:10.

ඒ නිසා සමබරව කටයුතු කිරීමට වෑයම් කරන්න. ස්වයංවින්දනය අපවිත්‍ර ක්‍රියාවක්. එමගින් ‘විවිධාකාර ආශාවන් හා තෘෂ්ණාවලට වහල් වීමටත්’ අන් අය සමඟ පෑහී කටයුතු කිරීමට බාධාවක් ඇති වීමටත් ඉඩ තිබෙනවා. (තීතස් 3:3) ඒත් එය වේශ්‍යාකම තරම් බරපතළ වරදක් නොවෙයි. (යූද් 7) ස්වයංවින්දනයේ යෙදී තිබෙනවා නම් ඔබට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ කියා සිතන්න එපා. ඔබ කළ යුත්තේ එහි නියැලීමට ඇති වන පෙලඹීම මැඩපවත්වාගැනීම සහ එයින් මිදීමට අත් නෑර උත්සාහ කිරීමයි.

එත් ඔබ අසාර්ථක වන විට ඔබ තුළ කලකිරීමක් ඇති වෙයි. එවැනි අවස්ථාවන්වල හිතෝපදේශ 24:16හි සඳහන් වදන්වලින් සහනයක් ලබාගන්න. “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය. එහෙත් දුෂ්ටයෝ විපතට හසු වී විනාශ වී යන්නෝය.” ඔබ ඉඳහිට අසාර්ථක වුණා කියා ඔබ දුෂ්ටයෙක් වෙන්නේ නැහැ. එමනිසා උත්සාහය අත්හරින්න එපා. ඔබ තුළ වැරදි පෙලඹීමක් ඇති වුණේ කුමක් නිසාද කියා සොයා බලා ඒ දේ නැවත කරන්න එපා.

ඒ වගේම දෙවි අනුකම්පාව පෙන්වන ප්‍රේමණීය කෙනෙක් බව මතක තබාගන්න. බයිබල් ලේඛකයෙක් වූ දාවිත් රජ පවා තමාගේ දුර්වලකම් නිසා පව් කළ කෙනෙක්. ඔහු මෙසේ පැවසුවා. “පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබිය ඇති අයට දයාව දක්වන්නේය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.” (ගීතාවලිය 103:13, 14) අපි පව්කාරකම උරුම කරගෙන සිටින බව යෙහෝවා දෙවි දන්නවා. ඒ නිසා ඔහු අපට ‘සමාව දීමට කැමතියි.’ (ගීතාවලිය 86:5) ඒ වගේම අපත් අපගේ වැරදි හදාගන්න වෑයම් කරනවා නම් ඒ ගැන දෙවි හුඟක් සතුටු වෙනවා. එම නරක පුරුද්ද අත්හැරීමට ඔබට කරන්න පුළුවන් මොනවාද?

විනෝදයට කරන දේවල් ගැන සිතා බලන්න. ලිංගික හැඟීම් ඇති කරන චිත්‍රපට සහ රූපවාහිනි වැඩසටහන් ඔබ බලනවාද? එවැනි වෙබ් අඩවිවල ඔබ සැරිසරනවාද? දාවිත් රජ මෙසේ දෙවිට යාච්ඤා කළා. “කිසි වැදගැම්මකට නැති දේවල් වෙතින් මාගේ දෙනෙත් හරවාගැනීමට මට උදව් කරන්න.” *ගීතාවලිය 119:37.

මනස වෙනත් දේවලට යොමු කිරීමට දැඩි වෑයමක් දරන්න. විලියම් නමැති යෞවනයා මෙහෙම කියනවා. “දවස අවසානයේදී මනසට හොඳ දෙයක් ඇතුල් කිරීම හරිම වැදගත්. ඒ නිසා නිදාගන්න කලින් බයිබලය හරි ඒ තොරතුරු තියෙන පොතක් හරිකියවන්න.”—ෆිලිප්පි 4:8.

ඔබේ ගැටලුව කාට හරි කියන්න. ඔබට දැනෙන ලැජ්ජාව නිසා කාට හරි ඒ ගැන කියන එක ලේසි නැතුව ඇති. නමුත් එසේ කිරීමෙන් නරක පුරුද්ද අත්හරින්න ලොකු උපකාරයක් ඔබට ලැබෙයි. ඩේවිඩ් එය අද්දැක්කා. ඔහු මෙහෙම කියනවා. “මම තාත්තට ඒක කිව්වා. තාත්තා ඒ වෙලාවේ කියපු දේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔහු සන්සුන්ව මට මෙහෙම කිව්වා. ‘මට මේ ගැන කියන්න පුතා කොයි තරම් ධෛර්යයක් ගන්න ඇද්ද කියලා මට තේරෙනවා. ඒ ගැන මම ආඩම්බර වෙනවා.’ තාත්තා කියපු ඒ වචන මට ලොකු ශක්තියක් වුණා. මම හිතුවා කොහොම හරි මේ නරක පුරුද්ද අත්හරිනවා කියලා.

“මම නරක කෙනෙක් නෙමෙයි කියලා තේරුම් කරලා දෙන්න තාත්තා බයිබල් පද කිහිපයක් මට පෙන්නුවා. ඒ වගේම ඒ පුරුද්ද නිසා කොයි තරම් නරක ප්‍රතිඵල අද්දකින්න වෙයිද කියලා පැහැදිලි කරලා දෙන්න ඔහු තවත් බයිබල් පද කිහිපයක් පෙන්නුවා. තාත්තා මෙහෙම කිව්වා. ‘අද ඉඳන් ඒක නොකර ඉන්න හිතාගන්න. අපි ආයෙත් මේ ගැන කතා කරමු. ඔයා ඒකට නැවත වරක් පෙලඹුණොත් අධෛර්යය වෙන්න එපා. ඒ වගේ දේවල් වෙනවා. ඒත් ඔයාගේ උත්සාහය අත්හරින්න එපා.’ මගේ ගැටලුව තව කෙනෙකුට කියපු නිසාත් ලැබුණු උපකාරය නිසාත් ඒ පුරුද්දෙන් ගොඩ එන්න මට පුළුවන් වුණා.” *

ඊළඟ පරිච්ඡේදය

ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමට විවිධ අය ඇසුරු කිරීම සුදුසුද?

[පාදසටහන්වල]

^ 4 ඡේ. ස්වයංවින්දනය හා ස්වාභාවිකව සිදු වන ලිංගික උද්දීපනය අතර වෙනසක් තිබෙනවා. උදාහරණයකට පිරිමි ළමයෙකුට රාත්‍රියේදී ලිංගික උද්දීපනයක් ඇති වී නින්දෙන් අවදි වීමට හෝ නින්දෙන්ම ශුක්‍රාණු පිට වීමට හැකියි. ගැහැනු ළමයින්ටද විශේෂයෙන්ම ඔසප් කාලයට පෙර හෝ පසු, ලිංගික හැඟීම් ප්‍රබල විය හැකියි. නමුත් ස්වයංවින්දනය යනු තමා විසින්ම ඕනෑකමින් ලිංගික උද්දීපනයක් ඇති කිරීමයි.

^ 15 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 33වන පරිච්ඡේදය බලන්න.

^ 18 ඡේ. වැඩි විස්තර සඳහා 2වන පොතේ 239-241 දක්වා පිටු බලන්න.

බයිබල් උපදෙස

“යොවුන් වියට ආවේණික වූ ආශාවන් ඔබේ සිතින් පලවාහරින්න. ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, විශ්වාසය, ප්‍රේමය හා සමාදානය යන දේවල් ඔබේ ජීවිතයට එකතු කරගැනීමට දැඩි වෑයමක් දරන්න. එලෙසම පිරිසිදු හදවතකින් ස්වාමීන්ට කන්නලව් කරන අයට සමීපව සිටින්න.”—2 තිමෝති 2:22.

යෝජනාවක්

ඔබේ හැඟීම් ප්‍රබල වීමට පෙර යාච්ඤා කරන්න. හැඟීම් පාලනය කරගන්න යෙහෝවා දෙවිගෙන් “සාමාන්‍යය ඉක්මවූ බලය” ඉල්ලන්න.—2 කොරින්ති 4:7.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබට ලිංගික ආශාවන් පාලනය කරන්න බැරි නම් ඉන් පෙන්වන්නේ ඔබ දුර්වල කෙනෙක් බවයි. නමුත් තනිව සිටිද්දී පවා ඔබට ඔබේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් නම් ඔබ ඇත්තෙන්ම ශක්තිමත් කෙනෙක්.

ගත හැකි පියවර

මගේ මනස පිරිසිදුව තියාගන්න මම ․․․․․

ස්වයංවින්දනයට පෙලඹීමක් ඇති වුණොත් මම ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● යෙහෝවා දෙවි “සමාව දීමට කැමති” බව මතක තබාගැනීම වැදගත් ඇයි?—ගීතාවලිය 86:5.

● ලිංගික ආශාවන් අප තුළට දැම්මේ දෙවියි. ඒ ආශාවන් පාලනය කරගන්න කියා ඉල්ලා සිටින්නෙත් දෙවියි. එසේනම් දෙවිට අපි ගැන තිබෙන නිසැකකම කුමක්ද?

[182වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මම ඒ නරක පුරුද්ද අත්හැරිය නිසා මගේ හිත දැන් මට වධ දෙන්නේ නැහැ. ඒ නිසා සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන්න පුළුවන්. ඒක මම මොනම දේකින්වත් නැති කරගන්න ආස නැහැ.’’—සේරා

[180වන පිටුවේ පින්තූරය]

දුවද්දී වැටුණොත් නැඟිටලා එතැන් සිට දුවනවා මිසක් නැවත ආරම්භයට ගොස් දුවන්නේ නැහැ. ඒ හා සමානව ස්වයංවින්දනයට නැවත යොමු වුණොත් අධෛර්යය නොවී ඒ පුරුද්දෙන් මිදීමට දිගටම උත්සාහ කරන්න