Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

“අපි JW බ්‍රෝඩ්කාස්ටිං එක බලන්නෙ හරිම ආසාවෙන්!”

“අපි JW බ්‍රෝඩ්කාස්ටිං එක බලන්නෙ හරිම ආසාවෙන්!”

2014 ඔක්තෝබර් 6වෙනිදා ඉංග්‍රීසි භාෂාවෙන් JW බ්‍රෝඩ්කාස්ටිං පළවෙනි වැඩසටහන විකාශනය කළා. * 2015 අගෝස්තු මාසයේ ඉඳලා මේ වැඩසටහන භාෂා 66කට පරිවර්තනය කරන නිසා ඒක බලන සහෝදර සහෝදරියන් ලබන්නේ ලොකු දිරිගැන්වීමක්. ලෝකෙ පුරාම ඉන්න හුඟක් අය මේ ගැන එයාලගේ අගය පළ කරලා තියෙනවා. මේකට පසුබිම සකස් වුණේ කොහොමද කියලා දැන් අපි බලමු.

මුලින්ම මේ වැඩේට තැනක් හොයාගන්න ඕන වුණා. ලෝක මුලස්ථානයට අයිති කොලොම්බියා හයිට්ස්වල අංක 30 දරන ගොඩනැඟිල්ලේ ඒකට හොඳ තැනක් අපි තෝරගත්තා. සතියක් ඇතුළත ව්‍යාපෘතිය පටන්ගත්තා. නඩත්තු අංශයේ අය රූපවාහිනී මධ්‍යස්ථානයට අවශ්‍ය ඉඩ පහසුකම් සලසන අතරේ නිර්මාණ අංශයේ අය ඒකට ලස්සන පසුබිමක් හැදුවා. ඇමරිකාවේ විවිධ පැතිවලින් ආව සහෝදර සහෝදරියෝ ස්ටූඩියෝ එක නිර්මාණය කරන්නත් වැඩකටයුතු කඩිනමින් සැලසුම් කරන්නත් රෑ දවල් බලන්නේ නැතුව මහන්සි වුණා. සාමාන්‍යයෙන් මාස ගාණක් යන වැඩ ඉවර කරන්න එයාලට ගත වුණේ දවස් කිහිපයයි. මේ වැඩවලට ඕන කරන දේවල් ගේන්න බඩු මිලදී ගැනීමේ අංශයේ සහෝදරයන් ලබා දුන්නෙත් ලොකු සහයෝගයක්.

මේ වැඩේට කිලෝමීටර් ගාණක් දිග වයර් යොදාගත්තා. උපකරණ හැම එකක්ම හරියට වැඩ කරනවද කියලත් සහෝදරයන්ට තහවුරු කරගන්න සිද්ධ වුණා. මේ අතරේ වෙනත් රටවල්වලින් සංගීත පටිගත කිරීම්වලට ඇවිත් හිටිය සහෝදර සහෝදරියන්ගේ උදව් ඇතුව සංගීත කණ්ඩායමේ අය තේමා සංගීතය නිර්මාණය කළා. තවත් කණ්ඩායමක් වැඩසටහනට අවශ්‍ය පිටපත් ලිව්වා. සැබෑ සිදුවීම් නිරූපණය කරන්නත් සැලසුම් යෙදුවා. බෘක්ලින්, පැටර්සන්, වෝල්කිල් සහ ලෝකෙ පුරාම ඉන්න වීඩියෝ අංශයේ සහෝදරයන් වීඩියෝ නිර්මාණය කරන්න ගොඩක් මහන්සි වුණා. ස්ටූඩියෝ එක හදලා ඉවර වුණාම ඕන කරන උපකරණ සවි කළා. ඊටපස්සේ සහෝදරයෝ මුල් මාස කිහිපයේදී විකාශනය කරන වැඩසටහන් කරන්න ලෑස්ති වුණා.

බෘක්ලින්, නිව් යෝර්ක්වල තියෙන JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන් පටිගත කරන ස්ටූඩියෝ එක

මේ වගේ ලොකු ස්ටූඩියෝ එකක් හදන්න කොච්චර කල් යනවාද කියලා ඒ ගැන හොඳ පළපුරුද්දක් තියෙන කෙනෙක්ගෙන් අපි ඇහුවම එයා කිව්වේ, ඒ වගේ වැඩකට අවුරුදු එකහමාරක් විතර යනවා කියලයි. ඒත් සහෝදර සහෝදරියෝ මහන්සි බලන්නේ නැතුව වැඩ කරපු නිසා මේ වැඩේ කරන්න අපිට ගියේ මාස දෙකයි.

ඒ මහන්සියට ලැබුණ ප්‍රතිඵල හරිම සතුටුදායකයි! සාමාන්‍යයෙන් හැම මාසෙම පළවෙනි සඳුදා මුදාහැරිය මේ වැඩසටහන් ලෝකෙ පුරාම මිලියන දෙකකට වැඩි පිරිසක් බලලා තියෙනවා. JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන වීඩියෝ මාසයක් ඇතුළත මිලියන දහයකට වඩා වැඩි වාර ගණනක් බලලා තියෙනවා.

“මේ වැඩසටහන මාව සංවිධානයටයි පාලක මණ්ඩලයේ සහෝදරයන්ටයි තවත් ළං කළා. දැන් මට දැනෙනවා මං ඉන්නේ ආදරයෙන් පිරුණු පවුලක කියලා.”—කෙන්යාව

යෙහෝවා දෙවි දුන්න මේ අලුත් තෑග්ග ගැන අපේ සහෝදර සහෝදරියන්ට දැනෙන්නේ කොහොමද? අපි දැන් එයාලා කියපු දේවල් ටිකක් බලමු.

  • “අද මගේ ජීවිතේ හරිම සතුටු දවසක්. මමයි බිරිඳයි 2015 මැයි මාසේ JW බ්‍රෝඩ්කාස්ටිං එක බැලුවට පස්සේ අපිට දැනුණ සතුට ගැන කියන්න වචන නැහැ. ඒක දෙවිගෙන් ලැබුණු වටිනා තෑග්ගක්. ඒක හදන්න මහන්සි වුණ හැමෝටමයි පාලක මණ්ඩලයේ සහෝදරයන්ටයි අපි ගොඩක් ස්තුති කරනවා.”—ඉන්දුනීසියාව.

  • “මෑතක් වෙන කල්ම හුඟදෙනෙක් පාලක මණ්ඩලයේ සහෝදරයන්ගේ දේශන අහලා තිබුණේ නැහැ. ඒත් දැන් අපිට එයාලගේ දේශන අහන්න විතරක් නෙමෙයි එයාලව දකින්නත් පුළුවන්. ඉස්සරට වඩා දැන් අපි පාලක මණ්ඩලයේ සහෝදරයන්ටයි ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ටයි ළං වෙලා.”—කෙන්යාව.

  • “මගේ මහත්තයා සත්‍යයේ නැති නිසා යෞවන වයසේ ඉන්න පුතාලා දෙන්නත් එක්ක පවුලේ නමස්කාරය කරන එක ලේසි නැහැ. ඒ නිසා බ්‍රෝඩ්කාස්ටිං එකේ වටිනාකම මට කියලා නිම කරන්න බැහැ. මමත් මේ සංවිධානයට අයිති කෙනෙක් කියන හැඟීම මේක නිසා මට දැනෙනවා. මටයි දරුවෝ දෙන්නාටයි ඒකෙන් ලැබෙන්නේ ලොකු දිරිගැන්වීමක්. ඇත්තටම ඒක දෙවිගෙන් ලැබුණ ආශීර්වාදයක්!”—බ්‍රිතාන්‍යය.

  • “අපි JW බ්‍රෝඩ්කාස්ටිං එක බලන්නෙ හරිම ආසාවෙන්! යෙහෝවා දෙවි අපේ යාච්ඤාවලට උත්තර දීලා. ඒකයි දැන් ඒක වෙනත් භාෂාවලිනුත් තියෙන්නේ. ඔයාලා සතුටින් දෙවිට නමස්කාර කරනවා දකිද්දී අපි ගොඩක් දිරිගැන්වෙනවා. මේ වැඩසටහන පටන්ගත්ත දවසේ ඉඳලා අපි කලින්ට වඩා යෙහෝවා දෙවිගේ සංවිධානයට ළං වෙලා කියලා දැනෙනවා.”—චෙක් ජනරජය.

  • “පාලක මණ්ඩලයේ සහෝදරයන්ගේ දේශන මගේම භාෂාවෙන් අහන්න ලැබුණු නිසා මං දැන් තවත් දෙවිට ළං වෙලා.”—බ්‍රසීලය.

  • “මං අවුරුදු 16ක් තිස්සේ දෙවිට සේවය කරනවා. ඒත් JW බ්‍රෝඩ්කාස්ටිං එක ලැබුණාට පස්සේ මට දැනෙන්නේ මං බව්තීස්ම වුණ දවසේ දැනුණා වගේ ලොකු සතුටක්. මේ වැඩසටහන හදන්න මහන්සි වෙන ඔයාලට ගොඩක් ස්තුතියි.”—බ්‍රසීලය.

යෙහෝවා දෙවිගේ උදව්වෙන් JW බ්‍රෝඩ්කාස්ටිං එක දිගින් දිගටම සහෝදරයන්ට දෙවිට ළං වෙන්න උදව් කරයි කියලා අපිට විශ්වාසයි. ඒ වගේම ඒකෙන් අපේ බලසම්පන්න දෙවි යෙහෝවාට ලැබෙන්නෙත් ලොකු ප්‍රශංසාවක් සහ ගෞරවයක්.

^ 1 ඡේ. tv.mr1310.com කියන වෙබ් අඩවිය හරහා JW බ්‍රෝඩ්කාස්ටිං එක බලන්න පුළුවන්.