Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

දයාබර සහෝදර සහෝදරියනි,

ක්‍රිස්තු පූර්ව 7වන සියවසේදී එසකියෙල් දැක්ක පුදුමාකාර දර්ශනය ගැන ඔයාලා කියවලා ඇති. එයා දැක්කේ විශාල ස්වර්ගික රථයක්. ඒක හසුරුවන්නේ යෙහෝවා දෙවි. ඒ රථය ගමන් කරන්නේ විදුලි වේගයෙන්. ඒ වගේම වේගය අඩු කරන්නේවත් නැතුව ක්ෂණිකයකින් යන ගමන් මඟ වෙනස් කරන්න ඒ රථයට පුළුවන්.—එස. 1:4, 9, 12, 14, 16-27.

ඒ දර්ශනයෙන් පැහැදිලි වෙන්නේ දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස වේගයෙන් ඉදිරියට යනවා කියන එකයි. දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටස ගැන කියන්න පුළුවන් මොකක්ද? යෙහෝවා දෙවි පොළොවේ ඉන්න ඔහුගේ සේවකයන්ගේ වැඩකටයුතුත් පුදුමාකර විදිහට වේගවත් කරලා තියෙනවා. ඒක පහුගිය සේවා වසරේ වාර්තාවලින් පැහැදිලියි.

යෙහෝවා දෙවිගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස වේගයෙන් ඉදිරියට යනවා

එක්සත් ජනපදයේ බෙතෙල් සාමාජිකයන් මේ දවස්වල හරිම කාර්යබහුලයි. ලෝක මූලස්ථානය වෝර්වික්වලට ගෙනියන නිසා ගොඩක් අය එහෙට මාරු වෙනවා. තවත් අය පුරෝගාමීන් විදිහට එයාලාගේ අලුත් පැවරුමට ලෑස්ති වෙනවා. ලෝකේ පුරාම තියෙන අනිත් ශාඛා කාර්යාලවල අයත් ඉදි කිරීම්, අලුත්වැඩියා කිරීම්, ශාඛා කාර්යාල නැවත සංවිධානය කිරීම් සහ වෙනත් ස්ථානවලට මාරු වීම් වගේ දේවල් නිසා හුඟක් කාර්යබහුල වෙලා. මේ දවස්වල ඔයාලාගේ ජීවිතේ කොහොමද? අපි වගේ අලුත් තැනකට මාරු වෙන්නේ නැති වුණත් ඔයාලාත් ගොඩක් කාර්යබහුල ඇති.

දෙවිගේ සංවිධානය යන වේගයටම යන්න ඔයාලා ගන්න වෙහෙස ගැන අපි හුඟක් සතුටු වෙනවා. ඒක අපිට ලොකු දිරිගැන්වීමක්. හුඟදෙනෙක් සේවය සඳහා අවශ්‍යතාව වැඩි ප්‍රදේශවලටත් වෙනත් භාෂාවක් කතා කරන සභාවලටත් ගිහින් තියෙනවා. දේශනා කරන්න අලුත් ක්‍රම අත්හදා බලලාත් තියෙනවා. බාල, මහලු හැම කෙනෙක්ම ජීවනයට යන ධාවන තරඟයේ විශ්වාසවන්තව දිගටම රැඳිලා ඉන්න ගොඩක් වෙහෙසෙනවා. ඒ විදිහට දෙවිට ළැදිව ඉඳලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරන්න ඔයාලා දෙන සහාය අපි අගය කරන්නේ මුළු හදවතින්මයි.—1 කොරි. 9:24.

ඔයාලා දරන මහන්සිය යෙහෝවා දෙවි කවදාවත් අමතක කරන්නේ නැහැ. (හෙබ්‍රෙ. 6:10) ඔයාලා සේවය වෙනුවෙන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන විදිහ දැක්කාම අපිට මතක් වෙන්නේ ආබ්‍රහම්වයි, සාරාවයි. ඌර් දේශයෙන් කානාන්වලට යන්න කියද්දී එයාලා ගියේ කැමැත්තෙන්මයි. ඒ වෙද්දී ආබ්‍රහම් හිටියේ වයස අවුරුදු 70 ගණන්වල. එයාගේ ජීවිතේ ඊළඟ අවුරුදු 100 ගෙවුණේ කූඩාරම්වල. ආබ්‍රහම් සහ එයාගේ බිරිඳ කැමැත්තෙන්ම ඒ වගේ කැප කිරීමක් කරපු එක අපිට කදිම ආදර්ශයක්!—උත්. 11:31; ක්‍රියා 7:2, 3.

ඔයාලාත් ඒ වගේ දෙවිට කැමැත්තෙන්ම සේවය කරනවාද? මේ වගේ අමාරු කාලෙක වුණත් එහෙම කරනවා නම් ඒකෙන් පේන්නේ යේසුස් දීපු මේ ආඥාවට ඔයාලා කැමැත්තෙන්ම කීකරු වෙනවා කියන එකයි. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.”—මතෙ. 28:19.

යේසුස් දුන්න ඒ ආඥාවේ “ගොස්” කියන වචනය පාවිච්චි කරලා තියෙන එකෙන් පැහැදිලියි අපි පණිවිඩය දේශනා කරන්න මිනිසුන් ළඟට ‘යන්න ඕනෙ’ කියන එක. පහුගිය සේවා වසර දිහා බලද්දී පේනවා ඔයාලා ඒ දේ කරලා තියෙනවා කියලා. දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මිනිසුන්ට කියන්න ඔයාලා ගන්න වෑයමට දෙවි ආශීර්වාද කරලා තියෙනවා කියලා නම් කිසිම සැකයක් නැහැ.—මාක් 13:10.

හුඟදෙනෙක් රාජ්‍යයේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. පහුගිය සේවා වසරේ ප්‍රචාරකයන් 83,40,847ක් වාර්තා වුණා. ඒ මෙතෙක් වාර්තා වුණ වැඩිම ප්‍රචාරකයන් සංඛ්‍යාවයි. හැම මාසයකම සාමාන්‍යයක් හැටියට බයිබල් පාඩම් 1,01,15,264ක් වාර්තා වුණා. ස්වර්ගික රථය යන වේගයටම ඔයාලාත් යනවා කියලා මේ හැම දේකින්ම පැහැදිලියි. පාරාදීසයේ ජීවත් වෙන්න ලැබෙන ඒ සුන්දර කාලය වැඩි ඈතක නැහැ. ඒ නිසා සේවය කරන්න ඉතුරු වෙලා තියෙන මේ ටික කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න” කියන 2017 වාර්ෂික පදය මේ කාලයට කොච්චර හොඳට ගැළපෙනවාද! (ගීතා. 37:3) දෙවිගේ සේවය වෙනුවෙන් උපරිම සහයෝගය දෙද්දී ඔයාලා පෙන්වන්නේ දෙවි ගැන ඔයාලාට තියෙන ශක්තිමත් විශ්වාසයයි. එහෙම කරද්දී කවදාවත් ඔයාලා තනි වෙලා කියලා හිතන්න එපා. “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා” කියලා යේසුස් දුන්න පොරොන්දුව හැම වෙලේම මතක තියාගන්න.—මතෙ. 28:20.

2017 වාර්ෂික පදය:

“යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න”

දෙවිගේ සේවය වෙනුවෙන් කරන දේවල්වලට දෙවි ඔයාලාට ආශීර්වාද කරනවා. ඒ කරන දේවල් ලොකුද පොඩිද කියන එක නෙමෙයි වැදගත්. ඒක ඔයාලාගේ උපරිමයද කියන එකයි දෙවිට වටින්නේ. (2 කොරි. 9:6, 7) ඒ නිසා දිගටම යාච්ඤා කරන්න. බයිබලය කියවලා හොඳට අධ්‍යයනය කරන්න. වරද්දන්නේ නැතුව රැස්වීම් යන්න. සේවයේ නොකඩවා හවුල් වෙන්න. ඒ දේවල් කරද්දී ස්වර්ගයේ ඉන්න පියාට ඔයාලා තව තවත් ළං වෙයි.

සාතන්ට තියෙන්නේ හරිම කෙටි කාලයක්. ඒ නිසා දෙවිට තියෙන අපේ විශ්වාසවන්තකම නැති කරන්න සාතන් පුළුවන් හැම දේම කරනවා. (එළි. 12:12) ඒත් බය වෙන්න එපා. ඔයාලා දෙවිට ළං වෙලා හිටියොත් සාතන්ට ඔයාලාව වට්ටන්න බැහැ. (ගීතා. 16:8) අපි ඔයාලාට ගොඩක් ආදරෙයි කියන එක අමතක කරන්න එපා. මේ අන්තිම දවස්වල දෙවිගේ රාජ්‍යය පිළිබඳ පණිවිඩය දේශනා කරන්න ඔයාලා දෙන සහයෝගය අපි මුළු හදවතින්ම අගය කරනවා.

ඔයාලාගේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය