නික්මයාම 20:1-26
20 ඊටපස්සේ දෙවියන් මේ හැම ආඥාවක්ම දුන්නා.+
2 “ඔබේ දෙවි වන යෙහෝවා මමයි. ඔබ වහලුන් වෙලා හිටිය ඊජිප්තු දේශයෙන් ඔබව පිටතට ගෙනාවේ මමයි.+
3 මා හැර* වෙන කිසි දෙවි කෙනෙක්ට ඔබ නමස්කාර නොකළ යුතුයි.+
4 “රූප හදාගන්න එපා. අහසෙවත් පොළොවෙවත් ජලයෙවත් තියෙන කිසිම දේකට සමාන රූපයක් හදාගන්න එපා.+
5 ඒවා ඉදිරියේ වැඳ වැටෙන්න එපා. ඒවාට නමස්කාර කරන්න ඔබව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා.+ යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම බලාපොරොත්තු වෙනවා ඔබ මුළු හිතින්ම මට ආදරේ කරලා මට විතරක් නමස්කාර කරයි කියලා.*+ මට වෛර කරන අයගේ වැරදි නිසා මම ඔවුන්ටත් ඔවුන්ගේ දරුවන්ටත් ඔවුන්ගෙන් පැවතෙන තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාවල අයටත් දඬුවම් කරනවා.
6 ඒත් මට ආදරේ කරන, මගේ ආඥාවලට කීකරු වෙන+ අයගේ පරම්පරා දහස් ගාණකට මම නොසැලෙන ආදරයක් පෙන්නනවා.
7 “ඔබේ දෙවි වන යෙහෝවාගේ නමට අගෞරවයක් වෙන විදිහට ඒ නම පාවිච්චි කරන්න එපා.*+ යෙහෝවා වන මම, මගේ නමට අපහාස කරන හැමෝටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+
8 “සබත් දවස පවත්වන්න. ඒක ශුද්ධ දවසක් විදිහට සැලකිය යුතුයි.+
9 ඔබ දවස් හයක්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න.+
10 ඒත් හත්වෙනි දවස ඔබේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් කැප කරපු සබත් දවසක්. එදාට ඔබත් ඔබේ දූපුතුන්වත් ඔබේ දාස දාසීන්වත් ඔබේ සත්තුන්වත් ඔබේ නුවරේ ජීවත් වෙන විදේශිකයන්වත් කිසි වැඩක් නොකළ යුතුයි.+
11 මොකද යෙහෝවා වන මම අහසත් පොළොවත් මුහුදත් ඒවාවල තියෙන හැම දෙයක්මත් දවස් හයකින් හදලා හත්වෙනි දවසේදී විවේක ගන්න පටන්ගත්තා.+ යෙහෝවා වන මම සබත් දවසට ආශීර්වාද කරලා ඒක ශුද්ධ දවසක් විදිහට වෙන් කළේ ඒ නිසයි.
12 “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න.+ එතකොට ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දෙන දේශයේ ඔබට හුඟක් කල් ජීවත් වෙන්න පුළුවන්.+
13 “මිනී මරන්න එපා.+
14 “අනාචාරයේ* යෙදෙන්න එපා.+
15 “හොරකම් කරන්න එපා.+
16 “වෙන කෙනෙක්ට විරුද්ධව බොරු සාක්ෂි දෙන්න එපා.+
17 “වෙන කෙනෙක්ගේ නිවසට ආශාවක් ඇති කරගන්න එපා. වෙන කෙනෙක්ගේ බිරිඳටවත්+ ඔහුගේ දාසයාටවත් දාසියටවත් ගවයාටවත් බූරුවාටවත් ඔහුට අයිති වෙන ඕනෑම දේකටවත් ආශාවක් ඇති කරගන්න එපා.”+
18 කන්දෙන් දුම් නඟිනවාත් එක්කම ගිගුරුම් හඬ මැද්දේ විදුලි කොටන විදිහ සෙනඟ දැක්කා. මහ හොරණෑ ශබ්දයත් එයාලට ඇහුණා. ඒ නිසා සෙනඟ බයෙන් වෙවුලුවා. එයාලා කන්ද ළඟටවත් ගියේ නැහැ.+
19 සෙනඟ මෝසෙස්ට මෙහෙම කිව්වා. “දෙවියන් කෙළින්ම අපි එක්ක කතා කළොත් අපි මැරෙයි. ඒ නිසා දෙවියන් කියන දේ ඔයා ඇවිත් අපිට කියන්න. අපි දෙවියන් කියන විදිහට කරන්නම්.”+
20 එතකොට මෝසෙස් මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. සැබෑ දෙවියන්ට ඕනෙ ඔයාලාගේ හිත්වල තියෙන දේ සෝදිසි කරන්න.+ ඒ වගේම ඔහුට ඕනෙ ඔයාලා ඔහු ගැන ගරුබියක් ඇති කරගෙන ඔහුට විරුද්ධව පව් නොකර ඉන්නවා දකින්න.+ ඒ නිසයි ඔහු ඔයාලා ඉස්සරහට ඇවිත් ඉන්නේ.”
21 ඒත් එයාලා කන්ද කිට්ටුවට යන්න කැමති වුණේ නැහැ. හැබැයි මෝසෙස් සැබෑ දෙවියන් ඉන්න තැනට ඒ කියන්නේ අඳුරු වලාකුළ ළඟට ගියා.+
22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මං ඔයාලා එක්ක ස්වර්ගයේ ඉඳන් කතා කළා කියලා ඔයාලා හැමෝම දැක්කා.+
23 මං හැර වෙන කිසිම දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න එපා. රන්වලින්වත් රිදීවලින්වත් දෙවිවරුන්ගේ රූප හදාගෙන ඒවාට නමස්කාර කරන්නත් එපා.+
24 පස්වලින් මට පූජාසනයක් ගොඩනඟලා ඒ මත දවන පූජා සහ හවුල් පූජා* ඔප්පු කරන්න. එළුවන්, බැටළුවන් සහ ගවයන් ඒ මත ඔප්පු කරන්න. මගේ නම සිහි කරන්න මං තෝරපු ඕනෙම තැනක+ ඔයාලා මට නමස්කාර කරද්දී මං ඔයාලා ළඟට ඇවිත් ඔයාලට ආශීර්වාද කරනවා.
25 ඔයාලා මට ගල්වලින් පූජාසනයක් ගොඩනඟනවා නම් ආයුධයකින් කපපු ගල්වලින් ඒක හදන්න එපා.+ මොකද ඔයාලා ආයුධයකින් ඒවා කැපුවොත් පූජාසනය අපවිත්‍ර වෙනවා.
26 මගේ පූජාසනයට යන්න පඩි පෙළක් හදන්න එපා. මොකද පඩි පෙළකින් නැඟලා ගියොත් ඔයාලාගේ නිරුවත අනිත් අයට පෙනෙයි.’
පාදසටහන්
^ හෝ, “මට පිටු පාලා.”
^ හෝ, “වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළා දකිනවා.”
^ හෝ, “සඳහන් කරන්න එපා.”
^ ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.
^ හෝ, “සාම පූජා.”