අරුම පුදුම කාබන්
“කාබන් තරම් ජීවිතයට වැදගත් වෙනත් මූලද්‍රව්‍යයක් නැහැ” කියලා එක පොතක සඳහන් වෙනවා. (Nature’s Building Blocks) කාබන් ඒ තරම් විශේෂ මූලද්‍රව්‍යයක් වෙන්නේ ඇයි? ඒකට හේතුව වෙනත් කාබන් පරමාණු එක්කත් වෙනත් මූලද්‍රව්‍යයන් එක්කත් පහසුවෙන්ම එකතු වෙන්න කාබන් පරමාණුවකට තියෙන හැකියාවයි. මේ නිසා මිලියන ගණන් සංයෝග හැදෙනවා. සමහර ඒවා කෘත්‍රිමව හදන්නත් පුළුවන්.
කාබන් පරමාණු එකතු වෙලා දම්වැල්, පිරමීඩ, මුදු, ස්ථර, නළ වගේ එක එක හැඩ සහිත අණු හැදෙනවා. කාබන් කියන්නේ ඇත්තටම අරුම පුදුම මූලද්‍රව්‍යයක්!
දියමන්ති
කාබන් පරමාණු එකතු වෙලා පිරමීඩයක හැඩේට බන්ධන හැදෙන කොට ඒවා හරිම ශක්තිමත්. දියමන්තිය මේ දක්වා හඳුනාගෙන තියෙන ස්වාභාවිකව හැදෙන ශක්තිමත්ම ද්‍රව්‍යය වෙන්නේ ඒ නිසයි. හැබැයි දියමන්තියක් කියන්නේ කාබන් පරමාණුවලින් විතරක් හැදිලා තියෙන තනි අණුවක් විතරයි.
මිනිරන්
මිනිරන් හෙවත් ග්‍රැෆයිට් හැදෙන්නේ කාබන් අණු ස්ථර හැටියට බන්ධනය වුණාමයි. ඒ ස්ථර පිහිටලා තියෙන්නේ හරියට පත්තර කොළ කිහිපයක් එකිනෙක මත ගොඩ ගහලා තියෙනවා වගේ. ඒවා එකිනෙකට බැඳිලා තියෙන්නේ දුර්වල බන්ධනවලින් නිසා ඒවා ලිස්සන සුළුයි. කාබන්වල මෙම ස්වභාවය නිසා ලිහිසි ද්‍රව්‍යයක් හැටියට මෙය පාවිච්චි කරනවා. පැන්සල්වල තුඩවල් හදන්න පාවිච්චි කරන්නෙත් මිනිරන්. *
ග්‍රැෆීන්
ග්‍රැෆයිට් තනි ස්ථරයකට තමයි ග්‍රැෆීන් කියන්නේ. මේ පැතලි ස්ථරය හැදෙන්නේ කාබන් අණු එකිනෙක ෂඩස්‍රාකාර විදිහට එකතු වෙලයි. හැබැයි ඒක වානේවලටත් වඩා ශක්තිමත්. පැන්සලකින් ඉරක් ඇන්දාම ඒකේ ග්‍රැෆීන් ස්ථරයක් හෝ ස්ථර කිහිපයක් තියෙන්න පුළුවන්.
ෆුලරීන්
කාබන් පරමාණු එකට එකතු වෙලා ගෝලාකාර, සිලින්ඩරාකාර සහ වෙනත් කුහර සහිත හැඩවලින් අණු සෑදෙනවා. ඒවාට තමයි ෆුලරීන් කියන්නේ. ඒවා මනින්නේ නැනෝමීටර්වලින්. මීටරයක නැනෝමීටර් බිලියනයක් තියෙනවා.
ශාක සහ ජීවීන්
සතුන් සහ ශාකවල තියෙන සෛලවල සැකැස්මට මූලිකවම දායක වෙන්නේ කාබන්. කාබෝහයිඩ්‍රේට්, මේදය, ඇමයිනෝ අම්ලය වගේ දේවල්වල කාබන් තියෙනවා.
‘දෙවිව නොපෙනුණත් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.’—රෝම 1:20.
^ 7 ඡේ. 2007 ජූලි ‘පිබිදෙව්!’ සඟරාවේ “පැන්සලේ සුල මුල” කියන ලිපිය බලන්න.