Skip to content

පටුනට යන්න

හරි වැරැද්ද: හරිම තැනට අරන් යන ප්‍රතිපත්ති

හරි වැරැද්ද: හරිම තැනට අරන් යන ප්‍රතිපත්ති

බයිබලේ තියෙන ප්‍රතිපත්ති මිලියන ගාණක් දෙනෙක්ට උදව් වෙලා තියෙන පැති හතරක් දැන් අපි බලමු.

1. විවාහය

විවාහය ගැන මිනිස්සුන්ට එක එක අදහස් තියෙනවා.

බයිබලේ කියන දේ: “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”—එෆීස 5:33.

තේරුම: විවාහය කියන සැලැස්ම ඇති කළේ දෙවියන්. ඒ නිසා යුවළකට සතුටින් ඉන්න ඕනෙ කරන දේවල් මොනවාද කියලා දන්නේ ඔහුයි. (මාක් 10:6-9) තමන් ගැන විතරක් හිතන්නේ නැතුව අනිත් කෙනාගේ සතුට ගැන හිතුවොත් සැමියාටයි, බිරිඳටයි සතුටින් ඉන්න පුළුවන්. සැමියෙක් එයාගේ බිරිඳට ආදරේ නම් එයාට ආදරෙන් සලකනවා, එයාව හොඳට බලාගන්නවා. බිරිඳක් සැමියාට ගෞරවයෙන් සලකනවා නම් එයා එයාත් එක්ක කාරුණිකව කතා කරනවා, සහයෝගයෙන් වැඩ කරනවා.

ඒක හරියටම හරියනවා: වියට්නාමයේ ඉන්න ක්වාන් සහ ටීට දැනුණේ එයාලා සතුටක් නැති විවාහයකට කොටු වෙලා කියලා. ක්වාන් එයාගේ බිරිඳට සැලකුවේ හරිම නපුරු විදිහට. එයා මෙහෙම කියනවා. “මං නිතරම ටීගේ හිත රිද්දුවා. එයාට ලැජ්ජා කළා. එයාට හැඟුණ විදිහ ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ.” ටී හිතුවේ එකම විසඳුම දික්කසාදය කියලා. “ක්වාන් ගැන මට තිබුණ විශ්වාසය, ගෞරවය නැති වෙලා ගියා” කියලා එයා කියනවා.

ක්වාන් සහ ටී බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්න පටන්ගත්තා. ඒකේ එෆීස 5:33 විවාහය ගැන කියලා තියෙන දේවල් එයාලා හිතට ගත්තා. ක්වාන් මෙහෙම කියනවා. “ඒ පදේ තියෙන දේ මට උදව් වුණා ටීට ආදරෙන් සලකන්න. මං එයාට ආදරෙයි කියලා ටීට දැනෙන්න ඕනේ. කිසිම අඩුවක් කරන්නේ නැතුව එයාට ඕනෙ හැම දේම දෙන්න ඕනේ. එයාව සතුටින් තියන්නත් ඕනේ. ඒ දේවල් තේරුම්ගන්න මට උදව් වුණේ ඒ බයිබල් පදේ.” ටී මෙහෙම කියනවා. “එෆීස 5:33 කියන විදිහට ක්වාන්ට ගෞරවය පෙන්නන්න මං ගොඩක් මහන්සි වෙනවා. ඒක කරන්න කරන්න එයාට මං ගැන තියෙන ආදරේ වැඩි වෙනවා කියලා මට දැනෙනවා. එයාත් එක්ක ඉද්දී දැන් මට කිසිම බයක් දැනෙන්නේ නැහැ. මගේ හිතටත් ලොකු නිදහසක් දැනෙනවා.”

තව දැනගන්න jw.org වෙබ් අඩවියට ගිහින් “පවුලේ සතුටට යෝජනා 12ක්” කියන 2018 අංක 2 ‘පිබිදෙව්!’ සඟරාව බලන්න.

2. අනිත් අයට සලකන විදිහ

සමහරු රට, ජාතිය, පෙනුම, ආගම, ලිංගිකත්වය නිසා අනිත් අයට අසාධාරණකම් කරනවා.

බයිබලේ කියන දේ: “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න. ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න. දෙවිට ගරුබිය දක්වන්න. රජුටද ගෞරව කරන්න.”—1 පේතෘස් 2:17.

තේරුම: වෙන රටක ජාතියක අයට, සමලිංගික අයට වෛර කරන්න කියලා බයිබලේ කොහෙවත් කියලා නැහැ. ඒකේ කියන්නේ රට, ජාතිය, උස් පහත් භේද බලන්නේ නැතුව හැමෝටම එක වගේ ගෞරව කරන්න කියලයි. (ක්‍රියා 10:34) අනිත් අය අපිට වඩා වෙනස් දේවල් විශ්වාස කළත් වෙනස් විදිහට වැඩ කළත් ඒ හැමෝටම ආදරෙන් සලකන්න අපිට පුළුවන්.—මතෙව් 7:12.

ඒක හරියටම හරියනවා: පොඩි කාලේම ඩැනියල්ගේ ඔළුවට දාලා තිබුණේ ආසියානු අය රටට තර්ජනයක් කියලා. ඒ කාලේ එයාට එයාලව පේන්න බැහැ. එයා හැමෝම ඉස්සරහා එයාලට කැත විදිහට බැන්නා. ඩැනියල් මෙහෙම කියනවා. “මං එහෙම කළේ මං මගේ රටට ආදරේ නිසයි. ඒ නිසා ඒක වැරදියි කියලා මං කවදාවත් හිතුවේ නැහැ.”

ඩැනියලුත් බයිබලේ ගැන ඉගෙනගන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “මං හිතපු විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න වුණා. දෙවියන් කියනවා අපි කොයි රටෙන් ආවත් අපි හැමෝම එකයි කියලා. දෙවියන් වගේ මිනිස්සු දිහා බලන්න මට ඉගෙනගන්න වුණා.” දැන් ඩැනියල් හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. එයා මෙහෙම කියනවා. “කෙනෙක්ව හම්බ වුණාම එයා කොයි රටේ කෙනෙක්ද කියන එක ගැන මං හිතන්නෙවත් නෑ. මට දැන් ලෝකේ වටෙන්ම ආපු යාළුවෝ ගොඩක් ඉන්නවා. මං ඒ හැමෝටම ආදරෙයි.”

තව දැනගන්න jw.org වෙබ් අඩවියට ගිහින් “කවුරුත් කාවවත් පහත් නොකරන දිනක් උදා වෙයිද” කියන 2020 අංක 3 ‘පිබිදෙව්!’ සඟරාව බලන්න.

3. සල්ලි

හොඳ අනාගතයක් ගොඩනඟාගෙන සතුටින් ඉන්න පුළුවන් කියලා හිතන නිසා අද ගොඩක් මිනිස්සු සල්ලි පස්සේ යනවා.

බයිබලේ කියන දේ: “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.”—දේශනාකාරයා 7:12.

තේරුම: ජීවත් වෙන්න සල්ලි ඕනෙ කියන එක ඇත්ත. ඒත් ඒකෙන් හොඳ අනාගතයක් ගොඩනඟාගෙන සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා අනිවාර්යෙන්ම කියන්න බැහැ. (හිතෝපදේශ 18:11; 23:4, 5) බයිබලේ තියෙන මඟ පෙන්වීම් අපේ ජීවිතේට එකතු කරගත්තොත් විතරයි සතුටින් පිරුණු ලස්සන අනාගතයක් ගොඩනඟාගන්න අපිට පුළුවන් වෙන්නේ.—1 තිමෝති 6:17-19.

ඒක හරියටම හරියනවා: ඉන්දුනීසියාවේ ඉන්න කාඩෝ එයාගේ හැම තප්පරයක්ම යට කළේ සල්ලි හම්බ කරන්න. එයා මෙහෙම කියනවා. “ගොඩක් අය හීන මවන දේවල් මං ළඟ තිබුණා. මං ලෝකේ වටේම ගියා. ලොකු ලොකු ගණන් දීලා හොඳම දේවල් ගත්තා. කාර්ද ගෙවල්ද ඒ හැම එකක්ම තිබුණා. ඒත් කෙනෙක් මට ලොකු වංචාවක් කළා. මං මහන්සි වෙලා හොයාගත්ත හැම දේම තප්පරයකින් නැති වෙලා ගියා. මං මගේ මුළු ජීවිත කාලේම ගියේ සල්ලි පස්සේ. ඒත් අන්තිමේදී මගේ ලෝකෙම කඩන් වැටුණා. මට ඉතුරු වුණේ ලොකු කලකිරීමක්, හිස්කමක් විතරයි.”

දැන් කාඩෝ සල්ලි පස්සේ යන්නේ නැහැ. එයා ගත කරන්නේ හරිම සරල ජීවිතයක්. සල්ලි ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් එයාට උදව් වුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මං ඉන්නේ හරිම සතුටින්. මට රෑට හොඳට නින්දත් යනවා. මොකද දැන් මං දෙවියන්ගේ යාළුවෙක්. ඒක කවදාවත් නැති වෙන්නේ නැති වස්තුවක්.”

තව දැනගන්න jw.org වෙබ් අඩවියට ගිහින් 2021 අංක 3 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “අධ්‍යාපනයෙන්, සල්ලිවලින් සුරක්ෂිත අනාගතයක් ලැබෙයිද?” කියන ලිපිය බලන්න.

4. ලිංගික කාරණා

ලිංගික කාරණාවලදී හරි දේ මොකක්ද කියන එක ගැන එක එක අයට විවිධ මත තියෙනවා.

බයිබලේ කියන දේ: ‘දෙවි කැමති ඔබ ශුද්ධව සිටිනවාට. ඔබ වේශ්‍යාකමින් වැළකී සිටිය යුතුයි. සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි. දෙවිව හඳුනන්නේ නැති ජාතීන් කරන්නා සේ කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.’—1 තෙසලෝනික 4:3-5.

තේරුම: දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කළේ ලිංගික ආශාවන් ඇතුවයි. ලිංගික සම්බන්ධකම් කියන්නේ විවාහ වෙලා ඉන්න පිරිමි කෙනෙක්ටයි, ගැහැණු කෙනෙක්ටයි විතරක් ඔහු දුන්න තෑග්ගක්. (හිතෝපදේශ 5:18, 19) ඒ නිසයි ඔහු කියන්නේ ලිංගික හැඟීම් පාලනය කරගෙන ‘වේශ්‍යාකමින් වළකින්න’ කියලා. වේශ්‍යාකම කියද්දී ඒකට අනාචාරය, ගණිකා වෘත්තිය, අවිවාහක අය අතරේ සිද්ධ වෙන ලිංගික සම්බන්ධකම්, සමලිංගික සම්බන්ධකම් සහ සත්තු එක්ක ලිංගිකව එකතු වෙන එක ඇතුළත්.—1 කොරින්ති 6:9, 10.

ඒක හරියටම හරියනවා: ඕස්ට්‍රේලියාවේ කයිලි මෙහෙම කියනවා. “තනිකඩ කාලේ මං හිතුවා කාත් එක්ක හරි එකට හිටියොත් මට ආදරේ, ආරක්ෂාව ලැබෙයි කියලා. ඒත් වුණේ අනිත් පැත්ත. මගේ හිත කැඩුණා. මං තනි වුණා.”

ලිංගික කාරණා ගැන බයිබලේ කියන දේ දැනගත්තාම කයිලි ඒකේ කියන විදිහට වැඩ කරන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “දෙවියන් ප්‍රතිපත්ති දීලා තියෙන්නේ දුක හිතෙන දේවලින් අපිව ආරක්ෂා කරන්න. ඒකයි මං දැන් යෙහෝවා කියන විදිහට වැඩ කරන්නේ. දැන් මට ඕනෙ කරන ආදරේ, ආරක්ෂාව ලැබෙනවා. දෙවියන්ගේ ප්‍රතිපත්ති දුක් කන්දරාවකින් මාව බේරුවා.”

තව දැනගන්න jw.org වෙබ් අඩවියට ගිහින් “විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?” කියන ලිපිය බලන්න.

අපිව හදපු කෙනා හරි වැරැද්ද ගැන අපිට කියලා දෙනවා. ඔහු කියන විදිහට කරන එක හැම වෙලේම ලේසි නැහැ. ඒත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන කියලා නිම කරන්න බැහැ. කෙළවරක් නැති සතුටට යන්න තියෙන එකම පාර ඒකයි.