Skip to content

පටුනට යන්න

හරි වැරැද්ද: හරි පාර පෙන්නන්න බයිබලේට පුළුවන්

හරි වැරැද්ද: හරි පාර පෙන්නන්න බයිබලේට පුළුවන්

හරි දේ, වැරදි දේ ගැන හරි තීරණයක් ගන්න අපි හිතන විදිහ, අනිත් අය හිතන විදිහ ගැන විතරක් හිතලා මදි. ඒකට හේතුව බයිබලේ කියලා තියෙනවා. ඒ වගේම කවදාවත් වරදින්නේ නැති ප්‍රතිපත්ති බයිබලෙන් හොයාගන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති ගැන හිතලා වැඩ කෙරුවොත් අපිට හැමදාමත් සතුටින් ඉන්න පුළුවන්.

ඕනෙම කරන මඟ පෙන්වීම්

යෙහෝවා a දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කළේ තනියෙන් හිතලා බලලා තීරණ ගන්න නෙමෙයි, ඔහුගෙන් මඟ පෙන්වීම් ලබාගෙන තීරණ ගන්නයි කියලා බයිබලේ කියනවා. (යෙරෙමියා 10:23) ඒකට උදව්වක් විදිහටයි ඔහු හරි වැරැද්ද ගැන ප්‍රතිපත්ති බයිබලේට ඇතුළත් කරලා තියෙන්නේ. යෙහෝවා මිනිස්සු හැමෝටම ආදරෙයි. අපි ජීවිතේ වැදගත් තීරණ ගද්දී වැරදි තීරණ අරන් අත පුච්චගන්නවා දකින්න ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ. (ද්විතීය කතාව 5:29; 1 යොහන් 4:8) වැදගත්ම දේ තමයි ඔහු අපේ නිර්මාතෘ. ඔහුට තරම් ප්‍රඥාවක්, දැනුමක් වෙන කාටවත් නැහැ. ඒ හින්දා හරි වැරැද්ද ගැන හොඳම මඟ පෙන්වීම් දෙන්න පුළුවන් ඔහුට විතරයි. (ගීතාවලිය 100:3; 104:24) ඒත් ඔහු දීලා තියෙන ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න කියලා ඔහු කාටවත් බල කරන්නේ නැහැ.

යෙහෝවා මුල්ම මිනිස් යුවළ වන ආදම් සහ ඒවට සතුටින් ඉන්න ඕනෙ හැම දේම දුන්නා. (උත්පත්ති 1:28, 29; 2:8, 15) ඒ වගේම කරන්න ඕනෙ මොනවාද නොකරන්න ඕනෙ මොනවාද කියන එක ගැන ඔහු පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා. ඒවා පිළිපදින්න අමාරු මඟ පෙන්වීම් නෙමෙයි. එයාලා ඒවාට කීකරු වෙයි කියලා ඔහු බලාපොරොත්තු වුණත් එහෙම කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ඔහු එයාලට නිදහස දුන්නා. (උත්පත්ති 2:9, 16, 17) ඒත් ආදම් සහ ඒව දෙවියන් කියන දේ පැත්තකට දාලා එයාලට ඕනෙ විදිහට ජීවත් වෙන්න තීරණය කළා. (උත්පත්ති 3:6) ඒකෙන් මොනවාද වුණේ? හරි වැරැද්ද ගැන දෙවියන් කියන දේ පැත්තකට දාලා තියෙන එකෙන් මිනිස්සුන්ට හොඳක් වෙලා තියෙනවාද? නැහැ, ඒකෙන් සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න තියෙන අවස්ථාව මිනිස්සු නැති කරගෙන තියෙනවා. ඒක එදා ඉඳන් මේ වෙන කල් වුණ දේවල්වලින් තේරෙනවා.—දේශනාකාරයා 8:9.

අපි කොහේ ජීවත් වුණත් අපේ පවුල් පසුබිම මොකක් වුණත් හරි තීරණ ගන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලේ තියෙනවා. (2 තිමෝති 3:16, 17; “ හැමෝම වෙනුවෙන් ලියපු පොතක්” කියන කොටුව බලන්න.) ඒ මඟ පෙන්වීම් බයිබලෙන් ලබාගන්නේ කොහොමද කියලා බලමු.

බයිබලේ දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් කියලා කියන්නේ ඇයි? ඒ ගැන තව විස්තර දැනගන්න.—1 තෙසලෝනික 2:13. jw.org වෙබ් අඩවියට ගිහින් ‘බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද’ කියන වීඩියෝ එක බලන්න.

දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න විදිහ

අතීතයේ ඉඳන්ම යෙහෝවා මිනිස්සු එක්ක වැඩ කරපු විදිහ ගැන බයිබලේ කියලා තියෙනවා. ඒ තොරතුරු සීයට සීයක් නිවැරදියි. ඒ තොරතුරු ගැන හොඳට හිතලා බලද්දී යෙහෝවා හොඳයි කියන්නේ මොනවාටද නරකයි කියන්නේ මොනවාටද අපිට හොඳක් වෙන්නේ මොන වගේ දේවල්වලින්ද නරකක් වෙන්නේ මොන වගේ දේවල්වලින්ද කියලා තේරුම්ගන්න පුළුවන්. (ගීතාවලිය 19:7, 11) බයිබලේ තියෙන වටිනා ප්‍රතිපත්ති එදාට වගේම අදටත් ගැළපෙනවා. ඒවා කවදාවත් වරදින්නේ නැහැ. දවස ගාණේ හරි තීරණ ගන්නත් ඒවා අපිට උදව් වෙනවා.

උදාහරණෙකට, හිතෝපදේශ 13:20 තියෙන මේ ප්‍රතිපත්තිය බලන්න. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” ඒ ප්‍රතිපත්තිය එදා හිටපු මිනිස්සුන්ට වගේම අද ඉන්න අපිටත් අදාළයි නේද? අපිට උදව් වෙන ඒ වගේ වටිනා මඟ පෙන්වීම් බයිබලේ පුරාම තියෙනවා.—“ හැමදාටම ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම්” කියන කොටුව බලන්න.

ඒත් ඔයා කල්පනා කරනවා ඇති ‘බයිබලේ මඟ පෙන්වීම් මට හරියයිද’ කියලා. මේ කාලේ ඉන්න සමහර අයට බයිබල් ප්‍රතිපත්ති උදව් වෙලා තියෙන විදිහ ගැන ඊළඟ ලිපියෙන් බලමු.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. —ගීතාවලිය 83:18.