Skip to content

පටුනට යන්න

දේවරාජ්‍යය පැමිණෙද්දී අයින් වෙන්නේ මොනවද?

දේවරාජ්‍යය පැමිණෙද්දී අයින් වෙන්නේ මොනවද?

“මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය. නමුත් සදහටම පවතින්නේ දෙවිගේ කැමැත්ත කරන පුද්ගලයාය.”—1 යොහ. 2:17.

ගීතිකා: 139, 144

1, 2. (අ) මරණ දඬුවම නියම වුණ අපරාධකරුවෙක්ට මේ දුෂ්ට සමාජය සමාන වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) දුෂ්ට සමාජයේ විනාශය ගැන දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ට කොහොම හැඟෙයිද?

මේ සිද්ධිය හිතින් මවාගන්න. මරණ දඬුවම නියම වුණ දරුණු අපරාධකරුවෙක්ව හිරගෙදර කොරිඩෝව දිගේ අරගෙන යනවා. එයාත් එක්ක යන මුරකරුවන් “මේ ඇවිදගෙන යන්නේ මළ මිනියක්” කියලා කෑගහනවා. එයා තාම ඉන්නේ ජීවතුන් අතරේ. එහෙමනම් ඇයි ඒ වගේ දෙයක් කියන්නේ? එයාව මේ අරගෙන යන්නේ එයාට නියම වුණ දඬුවම ලබා දෙන්නයි. ජීවතුන් අතරේ හිටියත් එයා දැන් මැරුණ කෙනෙකුට සමානයි. *

2 අපි ජීවත් වෙන මේ දුෂ්ට සමාජයත් මරණ දඬුවම නියම වුණ අපරාධකරුවෙක් වගේ. මොකද බයිබලේ කියන්නේ ‘මේ ලෝකය නැති වී යන්නේය’ කියලයි. (1 යොහ. 2:17) දුෂ්ට සමාජයේ විනාශය දෙවි තීන්දු කරලා ඉවරයි. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒ දවස අත ළඟයි. ඒත් අපරාධකරුට ලැබුණ තීන්දුවයි දුෂ්ට සමාජය විනාශ කරන්න දුන්න තීන්දුවයි අතරේ වෙනසක් තියෙනවා. අපරාධකරුට ලැබුණ තීන්දුව අසාධාරණ එකක් කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. ඒ ගැන විරෝධතාව පළ කරලා එයාව මරණ දඬුවමින් බේරගන්න එයාලා උත්සාහ කරන්නත් පුළුවන්. ඒත් යෙහෝවා දෙවි දෙන තීන්දුවල කිසිම දෝෂයක් නැහැ. ඒවා 100%ක්ම නිවැරදියි. දුෂ්ට සමාජය විනාශ කරන්න ඔහු දුන්න තීන්දුව සාධාරණයි. (ද්වි. 32:4) ඒ විනාශය එක දවසකින්වත් පරක්කු වෙන්නේ නැහැ. ඒකෙන් පස්සේ සාධාරණය ඉටු වුණා කියලා දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් හැමෝටම හිතෙයි. එදාට අපිට මොන තරම් සහනයක් දැනෙයිද!

3. දේවරාජ්‍යය පැමිණෙද්දී අයින් වෙන්නේ මොන දේවල් 4ද?

3 ‘ලෝකය නැති වී යනවා’ කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ මොනවද? අද සමාජයේ මිනිසුන් සාමාන්‍ය දේවල් හැටියට සලකන හුඟක් දේවල් ඒකට ඇතුළත්. ඒ ගැන අපි දුක් වෙන්න ඕනෙද? නැහැ. ඇත්තටම ඒක අපි දේශනා කරන “රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට” ඇතුළත් වැදගත් කාරණයක්. (මතෙ. 24:14) අපි මේ ලිපියෙන් බලන්නේ දේවරාජ්‍යය පැමිණෙද්දී අයින් වෙන දේවල් 4ක් ගැනයි. (1) දුෂ්ට මිනිසුන්, (2) දූෂිත සංවිධාන, (3) නරක දේවල්, (4) දුක් වේදනාවලට හේතු වෙන දේවල්. ඒ දේවල් 4 ගැන බලද්දී දැන් ඒවා අපිට බලපාන්නේ කොහොමද, ඒ දේවලට දෙවි කරන්නේ මොනවද, ඒවා වෙනුවට දෙවි ලබා දෙන්නේ මොනවද කියන ප්‍රශ්න 3ත් සාකච්ඡා කරනවා.

දුෂ්ට මිනිසුන්

4. දුෂ්ට මිනිසුන් කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද?

4 දුෂ්ට මිනිසුන් කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? අවසාන කාලෙදී “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” එනවා කියලත් “දුෂ්ට මිනිසුන් සහ ප්‍රෝඩාකාරයන් තව තවත් නරක අතට හැරෙනවා කියලත්” පාවුල් කිව්වා. (2 තිමෝ. 3:1-5, 13) ඒ අනාවැකිය ඉටු වෙනවා ඔයා අද්දැකලා තියෙනවද? අපෙන් වැඩිදෙනෙක් මැරයන්ගේ, ජාතිවාදීන්ගේ, අපරාධකරුවන්ගේ ගොදුරක් වෙලා තියෙනවා. සමහරු කිසිම බයක් සැකක් නැතුව එළිපිටම දුෂ්ට වැඩ කරනවා. තවත් අය එයාලා හරිම යහපත් අය කියලා පිටින් පෙන්නුවට යටින් කරන්නේ දුෂ්ට දේවල්. දුෂ්ට මිනිසුන්ගේ පීඩනවලට අපි කෙළින්ම ලක් වෙලා නැති වුණත් එයාලා කරන දේවල් අපිට බලපානවා. එයාලා දරුවන්ට, වයසක අයට, අසරණ අයට කරන කුරිරු දේවල් ගැන අහද්දී අපේ හිතට කොයි තරම් වේදනාවක් දැනෙනවද! දුෂ්ට මිනිසුන් හැසිරෙන්නේ තිරිසන් සත්තු වගේ. එයාලට තියෙන්නේ භූතයන්ගේ ගතිලක්ෂණ. (යාකො. 3:15) දුෂ්ට දේවල් කරන හැම කෙනෙක්ම විනාශ වෙනවා කියලා දේවවචනයේ සහතික වෙනවා.

5. (අ) දුෂ්ට මිනිසුන්ට තවමත් තියෙන්නේ මොන අවස්ථාවද? (ආ) ජීවිතේ වෙනස් කරගන්නේ නැති අයට වෙන්නේ මොකක්ද?

5 දුෂ්ට අයට යෙහෝවා දෙවි කරන්නේ මොකක්ද? දුෂ්ට අයට තමන්ගේ ජීවිත වෙනස් කරගන්න දැන් යෙහෝවා දෙවි අවස්ථාව දීලයි තියෙන්නේ. (යෙසා. 55:7) දුෂ්ට සමාජයේ විනාශය අත ළඟටම ඇවිත් තිබුණත් දෙවි තවමත් එක් එක් පුද්ගලයාගේ විනාශය තීන්දු කරලා නැහැ. ඒත් තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්නේ නැති, මහත් පීඩාව පටන්ගන්න කල්ම දුෂ්ට සමාජයේ දේවලට සහය දෙන අයට මොකද වෙන්නේ? හැම දුෂ්ට කෙනෙක්වම මේ පොළොවෙන් අයින් කරනවා කියලා යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. (ගීතාවලිය 37:10 කියවන්න.) හුඟදෙනෙක් තමන් කරන වැරදි යට ගහන්න හොඳට දන්න නිසා එයාලා කරන වැරදිවලට ලැබෙන්න ඕන දඬුවමෙන් දැන් එයාලා බේරෙනවා. (යෝබ් 21:7, 9) ඒත් බයිබලේ කියන්නේ “දෙවිගේ ඇස් මිනිසා කෙරෙහි යොමු වී තිබේ. ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔහු දකින්නේය. එබැවින් දුෂ්ටකම් කරන අයට සැඟවීමට ස්ථානයක් නැත. ගන අඳුරෙන් වට වූ ස්ථානවල පවා ඔවුන්ට සැඟවිය නොහැක” කියලයි. (යෝබ් 34:21, 22) යෙහෝවා දෙවිගෙන් හැංගෙන්න කාටවත් බැහැ. දුෂ්ට අය කරන හැම දෙයක්ම දෙවිට පේනවා. හර්–මගෙදොන් යුද්දෙන් පස්සේ දුෂ්ට අය හිටපු තැන් ගිහින් බැලුවත් ඒ අයව හොයාගන්න අපිට බැහැ. ආයේ කවදාවත් අපිට එයාලව දකින්න ලැබෙන්නේ නැහැ.—ගීතා. 37:12-15.

6. දුෂ්ට අයව අයින් කළාට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? ඒක ශුභාරංචියක් කියන්නේ ඇයි?

6 දුෂ්ට අයව අයින් කළාට පස්සේ ඉතුරු වෙන්නේ කවුද? යෙහෝවා දෙවි මෙහෙම පොරොන්දු වෙනවා. “නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” ඒ ගීතිකාවේ මෙහෙමත් සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතා. 37:11, 29) “නිහතමානී” සහ “ධර්මිෂ්ඨ” අය කියන්නේ කාටද? නිහතමානී අය කියන්නේ යෙහෝවා දෙවිගේ ඉගැන්වීම් කැමැත්තෙන්ම පිළි අරන් දෙවිට කීකරු වෙන අයට. ධර්මිෂ්ඨ අය කියන්නේ දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්න ලොකු ආසාවක් තියෙන අයට. අද සමාජයේ ධර්මිෂ්ඨ අයට වඩා දුෂ්ට අය හුඟක් වැඩියි. ඒත් දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගද්දී පොළොවේ ඉන්නේ නිහතමානී, ධර්මිෂ්ඨ අය විතරයි. එයාලා මුළු පොළොවම පාරාදීසයක් කරනවා.

දූෂිත සංවිධාන

7. දූෂිත සංවිධාන කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද?

7 දූෂිත සංවිධාන කරන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? අද වැඩිපුරම දුෂ්ට දේවල් කරන්නේ තනි තනි පුද්ගලයන් නෙමෙයි දූෂිත සංවිධාන. ටිකක් හිතන්න, ආගමික සංවිධාන මිනිසුන් කීදෙනෙක්ව නම් නොමඟ යවලා තියෙනවද කියලා. එයාලා දෙවි ගැන උගන්වන්නේ අමූලික බොරු. එයාලා කියන්නේ බයිබලේ විශ්වාස කරන්න බැහැ කියලයි. පොළොවේ අනාගතය ගැනත් මිනිසුන්ගේ අනාගතය ගැනත් එයාලා කියන්නේ බොරු දේවල්. දූෂිත ආණ්ඩු කරන දේවල් ගැන ටිකක් හිතන්න. එයාලා යුද්ධවලට රුකුල් දෙනවා. ජාතිවාදය අවුස්සනවා. දුප්පත්, අසරණ මිනිසුන්ව තව තවත් පාගනවා. එයාලගේ බලය, ධනය වැඩි කරගන්නේ අල්ලස් අරගෙනයි. සමහරුන්ට අනිසි අනුග්‍රහයක් පෙන්නලයි. සල්ලි උපයන එක ගැන විතරක් හිතන ආයතන ගැන කියන්න පුළුවන් මොනවද? පරිසරයට වෙන හානිය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව එයාලගේ ව්‍යාපාර තව තවත් දියුණු කරගන්නයි එයාලා හදන්නේ. එයාලා ඉවක් බවක් නැතුව ස්වාභාවික සම්පත් විනාශ කරනවා. මිනිසුන්ගේ ශ්‍රමය සූරා කනවා. දූෂිත සංවිධාන නිසා ලෝකෙ පුරාම ඉන්න මිනිසුන් හුඟක් දුක් වේදනා අද්දකිනවා කියලා පැහැදිලියි.

8. බලවත් කියලා හිතන සංවිධානවලට මොනවා වෙනවා කියලද බයිබලේ කියන්නේ?

8 දූෂිත සංවිධානවලට යෙහෝවා දෙවි කරන්නේ මොකක්ද? දේශපාලන ආණ්ඩු දෙවි ගැන අසත්‍ය උගන්වන ආගම්වලට විරුද්ධව පහර දෙනවත් එක්කම මහත් පීඩාව පටන්ගන්නවා. බයිබලේ ඒ ආගම් ගණිකාවකට සමාන කරලා තියෙනවා. ඒ ගණිකාවට දීලා තියෙන්නේ මහ බැබිලෝනිය කියන නමයි. (එළි. 17:1, 2, 16; 18:1-4) ඒ ආගමික සංවිධාන සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඒත් අනිත් දූෂිත සංවිධානවලට මොකද වෙන්නේ? බයිබලේ කියන්නේ ඒ සංවිධාන පේන්න තියෙන්නේ කඳු සහ දූපත් වගේ කියලා. ඒවා හොල්ලන්න බැරි, ස්ථිර ඒවා වගෙයි පේන්න තියෙන්නේ. (එළිදරව් 6:14 කියවන්න.) ඒත් බයිබලේ පැහැදිලිවම කියන්නේ දේවරාජ්‍යයට සහය දෙන්නේ නැති හැම ආණ්ඩුවක්ම, හැම සංවිධානයක්ම විනාශ කරනවා කියලයි. ඒ දේ සිද්ධ වෙන්නේ මහත් පීඩාවේ අවසාන අදියරේදියි. (යෙරෙ. 25:31-33) ඊටපස්සේ කිසිම දූෂිත සංවිධානයක් දකින්න ලැබෙන්නේ නැහැ.

9. “අලුත් පොළොවේ” හැම දෙයක්ම හොඳින් සංවිධානය කරලා තියෙයි කියලා ස්ථිර වෙන්න පුළුවන් ඇයි?

9 දූෂිත සංවිධාන වෙනුවට එන්නේ මොකක්ද? හර්–මගෙදොන් යුද්දෙන් පස්සේ පොළොවේ කිසිම සංවිධානයක් ඉතුරු වෙලා තියෙයිද? බයිබලේ මෙහෙම කියනවා. “ඔහු දී ඇති පොරොන්දුවට එකඟව සැමදා ධර්මිෂ්ඨකම රජයන අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙන තුරු අපි බලා සිටින්නෙමු.” (2 පේතෘ. 3:13) දූෂිත ආණ්ඩු සහ ඒවාට සහය දුන්න දුෂ්ට මිනිසුන්ව පරණ අහස සහ පරණ පොළොව විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලව විනාශ කළාට පස්සේ “අලුත් අහසක් සහ අලුත් පොළොවක් පැමිණෙනවා.” අලුත් අහස කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ අලුත් ආණ්ඩුවක්. ඒකේ රජ යේසුස්. 1,44,000දෙනෙකුත් ඔහුගේ පාලනයට හවුල් වෙනවා. අලුත් පොළොව කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ දේවරාජ්‍යයේ යටත්වැසියන්. යේසුස් සහ ඔහුගේ හවුල් පාලකයන් යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න නිසා හැම දෙයක්ම හරිම පිළිවෙළකට සිද්ධ වෙනවා. (1 කොරි. 14:33) “අලුත් පොළොවේ” හැම දෙයක්ම හොඳින් සංවිධානය කරලා තියෙයි කියලා අපිට ස්ථිරයි. ඒ විතරක් නෙමෙයි පොළොවේ දේවල් හොඳින් බලා කියා ගන්න යහපත් අයව පත් කරයි. (ගීතා. 45:16) ඒ අයට මඟ පෙන්නන්නේ යේසුස් සහ 1,44,000දෙනා. දූෂිත සංවිධාන හැම එකක්ම අයින් කරලා දෙවිගේ උසස් ප්‍රමිති රකින, එක්සත් සංවිධානයක් මේ පොළොවේ පාලනය භාරගන්න දවස කොයි වගේ එකක් වෙයිද කියලා හිතින් මවාගන්න පුළුවන්ද?

නරක දේවල්

10. ඔයා ඉන්න පැත්තේ මොන වගේ නරක දේවල්ද වෙන්නේ? ඒවා ඔයාටයි, පවුලේ අයටයි බලපාලා තියෙන්නේ කොහොමද?

10 නරක දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? අනාචාරය, වංකකම, ප්‍රචණ්ඩ ක්‍රියා අද සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. ඒ වගේ නරක, පහත් ක්‍රියා අද විනෝද වෙන්න තියෙන හුඟක් දේවලටත් කපටි විදිහට ඇතුළත් කරලා තියෙනවා. ඒවායින් කරන්නේ හරි වැරැද්ද ගැන දෙවි පිහිටුවලා තියෙන ප්‍රමිති විහිළුවට ගන්න එකයි. (යෙසා. 5:20) ඒ වගේ නරක බලපෑම්වලින් තමන්වත් තමන්ගේ දරුවන්වත් ආරක්ෂා කරගන්න දෙමාපියන් ලොකු වෑයමක් දරන්න ඕනේ. අපි ඉන්නේ දෙවිගේ ප්‍රමිති සැහැල්ලුවට ගන්න සමාජයක නිසා දෙවිගේ හැම සේවකයෙක්ම දෙවිත් එක්ක තමන්ට තියෙන බැඳීම රැකගන්න ලොකු සටනක් කරන්න ඕනේ.

11. සොදොම් සහ ගොමෝරා කියන නගරවලට දෙවි දුන්න විනිශ්චයෙන් අපි ඉගෙනගන්නේ මොනවද?

11 නරක දේවලට දෙවි කරන්නේ මොකක්ද? සොදොම් සහ ගොමෝරා කියන නගර 2ට දෙවි කළේ මොකක්ද කියලා මතකද? (2 පේතෘස් 2:6-8 කියවන්න.) ලොත් ධර්මිෂ්ඨ කෙනෙක්. එයාටයි, එයාගේ පවුලේ අයටයි ඒ නගරවල හිටපු අය කරපු නරක, පහත් දේවල් හුඟක් බලපෑවා. යෙහෝවා දෙවි ඒ නගර 2 සහ ඒ අවට මුළු ප්‍රදේශයම විනාශ කරලා දැම්මා. එහෙම කළේ එහේ හිටපු මිනිසුන් කරපු දුෂ්ට දේවලට අවසානයක් ගේන්නයි. ඒ වගේම “තමාට කිසි ගෞරවයක් නොදක්වන අයට ඉදිරියේදී සිදු වන දේ ගැන පැහැදිලිව පෙන්වා දෙන්නයි.” සිද්ධ වුණ හැම පහත් දෙයක්ම නැති කරන්න එදා දෙවි පියවර ගත්තා වගේ අදත් දුෂ්ට සමාජය විනාශ කරද්දී හැම පහත් දෙයක්ම දෙවි නැති කරලා දානවා කියලා නිසැකයි.

12. දුෂ්ට සමාජය විනාශ වුණාට පස්සේ ඔයා කරන්න ආස මොන වගේ දේවල්ද?

12 නරක දේවල් අයින් කළාම ඉතුරු වෙන්නේ මොනවද? දේවරාජ්‍යය පොළොව පාලනය කරන්න පටන්ගත්තම අපිට කරන්න තෘප්තිමත් වැඩ හුඟක් තියෙයි. පොළොව පාරාදීසයක් කරන්න තියෙනවා. අපෙත් අපි ආදරේ කරන අයගෙත් ගෙවල් හදන්න තියෙනවා. නැවත නැඟිට්ටවන මිලියන ගාණක් දෙනාව ආදරෙන් පිළි අරන් එයාලට යෙහෝවා දෙවි ගැන, දෙවි මිනිසුන් වෙනුවෙන් කරපු හැම දෙයක් ගැනම උගන්වන්න තියෙනවා. (යෙසා. 65:21, 22; ක්‍රියා 24:15) ඒ කාලෙදී අපිට කරන්න හුඟක් වැඩ තිබුණත් ඒ හැම එකකින්ම අපි ලොකු සතුටක් අද්දකියි. අපි කරන වැඩවලින් යෙහෝවා දෙවිට ප්‍රශංසාවක් ගේන්නත් අපිට පුළුවන්.

දුක් වේදනාවලට හේතු වෙන දේවල්

13. ඒදන් උයනේදී ඇති වුණ කැරැල්ලේ ප්‍රතිඵල මොනවද?

13 දුක් වේදනාවලට හේතු වෙන දේවල් දැන් අපිට බලපාන්නේ කොහොමද? දුෂ්ට මිනිසුන් නිසාත් දූෂිත සංවිධාන නිසාත් සිද්ධ වෙන නරක දේවල් නිසාත් අද මිනිසුන්ගේ ජීවිත දුක් ගැහැටවලින් පිරිලා. යුද්ධ, දුප්පත්කම, ජාතිවාදය, ලෙඩ රෝග, මරණය හැමෝටම බලපානවා. දුක් වේදනාවලට හේතු වෙන ඒ හැම දෙයක්ම පටන්ගත්තේ සාතන්, ආදම් සහ ඒව දෙවිට විරුද්ධව කැරලිගහපු නිසයි. ඒ කැරැල්ලේ අමිහිරි ප්‍රතිඵල අපි හැමෝම අදටත් අද්දකිනවා.

14. දුක් වේදනාවලට හේතු වෙන හැම දේටම දෙවි කරන්නේ මොනවද?

14 දුක් වේදනාවලට හේතු වෙන හැම දේටම දෙවි කරන්නේ මොනවද? මේ පොරොන්දු ගැන හිතන්න. යුද්ධ සදහටම නැති කරනවා කියලා දෙවි පොරොන්දු වෙනවා. (ගීතාවලිය 46:8, 9 කියවන්න.) දෙවි ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම අයින් කරනවා. (යෙසා. 33:24) මරණය සදහටම ගිල දමනවා. (යෙසා. 25:8) දුප්පත්කම තුරන් කරනවා. (ගීතා. 72:12-16) මිනිසුන්ට දුක් වේදනා ගේන අනිත් හැම කටුක දෙයක්ම දෙවි සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. සාතන්ගේ සහ භූතයන්ගේ නරක බලපෑමත් දෙවි අයින් කරනවා.—එෆී. 2:2.

යුද්ධ, අසනීප, මරණය නැති කාලෙක ජීවත් වෙනවා හිතින් මවාගන්න පුළුවන්ද? (15 ඡේදය බලන්න)

15. හර්–මගෙදොන් යුද්දෙන් පස්සේ ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැත්තේ මොනවද?

15 යුද්ධ, අසනීප, මරණය නැති කාලෙක ජීවත් වෙන්න ලැබෙන එක කොයි වගේ අද්දැකීමක් වෙයිද! හමුදා, යුධෝපකරණ, යුද්ධය සිහි කරන්න හදලා තියෙන දේවල් එදාට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කාලෙදී ඉස්පිරිතාල, වෛද්‍යවරු, හෙදියන්, මෝචරි, සොහොන් පිට්ටනි ඕන වෙන්නේ නැහැ. අපරාධ නැති නිසා පොලිසිය, ආරක්ෂක පද්ධති, දොරගුලු, යතුරු ඕනෙ වෙන්නෙත් නැහැ. අපේ හිතට කනස්සල්ලක් ගේන හැම දේම සදහටම මේ පොළොවෙන් අයින් කරනවා.

16, 17. (අ) හර්–මගෙදොන් යුද්දෙන් පස්සේ ඉතුරු වෙන අයට කොහොම හැඟෙයිද? පැහැදිලි කරන්න. (ආ) දුෂ්ට සමාජය විනාශ වෙලා ගියත් අපිට අපේ ජීවිතේ රැකගන්න පුළුවන් කොහොමද?

16 දුක් වේදනාවලට හේතු වෙන දේවල් අයින් කළාම අපේ ජීවිතේ මොන වගේ එකක් වෙයිද? ඇත්තටම ඒ ජීවිතේ මොන වගේද කියලා දැන් අපිට හිතාගන්න අමාරුයි. මොකද අපි ඉපදුණ දවසේ ඉඳලා ජීවත් වෙලා තියෙන්නේ දුක් වේදනා මැද. ඒ නිසා දුක් වේදනාවලට හේතු වෙන දේවල් ඇත්තටම අපිට කොච්චර දුරට බලපාලා තියෙනවද කියලා තේරුම්ගන්න බැහැ. හිතන්න, කාලයක් තිස්සේ ස්ටේෂන් එකක් ළඟ ජීවත් වෙන කෙනෙක් ගැන. එයාට කෝච්චි යන එන සද්දේ එච්චර ගාණක් නැහැ. එයා ඒකට හුරු වෙලා. ගෙවල් ළඟ ලොකු කුණු ගොඩක් තියෙන කෙනෙක්ටත් කාලයක් යද්දී ඒකේ ගඳ එච්චර ගාණක් නැතුව යනවා. මොකද එයා ඒකට හුරු වෙනවා. අපිත් ඒ වගේ. ඒත් යෙහෝවා දෙවි දුක් වේදනාවලට හේතු වෙන හැම දෙයක්ම අයින් කළාම හිතාගන්න බැරි තරම් සහනයක් අපිට දැනෙයි.

17 අද අපි අද්දකින කනස්සල්ල, පීඩනය වෙනුවට එදාට අපි අද්දකින්නේ මොකක්ද? ගීතාවලිය 37:11 කියන්නේ මෙහෙමයි. “දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.” යෙහෝවා දෙවිට ඕනෙ අපිට ඒ වගේ ජීවිතයක් දෙන්නයි. ඒ ගැන දැනගෙන ඉන්න එක මොන තරම් සහනයක්ද! මේ දුෂ්කර කාලෙදී යෙහෝවා දෙවිට, ඔහුගේ සංවිධානයට ළං වෙලා ඉන්න පුළුවන් හැම දේම කරමු. අනාගතය ගැන අපිට තියෙන්නේ මිල කරන්න බැරි, වටිනා බලාපොරොත්තුවක්. ඒ ගැන නිතරම හිතමු. එතකොට ඒ ලස්සන අනාගතය නිකම්ම සිහිනයක් නෙමෙයි සැබෑ එකක් කියලා අපිට ස්ථිර වෙයි. අපේ බලාපොරොත්තුව ගැන අනිත් අය එක්කත් කතා කරමු. (1 තිමෝ. 4:15, 16; 1 පේතෘ. 3:15) එහෙම කරනවා නම් මේ දුෂ්ට සමාජය විනාශ වෙලා ගියත් ඔයාට ඔයාගේ ජීවිතේ රැකගන්න පුළුවන් වෙයි. සදහටම සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙයි.

^ 1 ඡේ. මීට අවුරුදු ගාණකට කලින් එක්සත් ජනපදයේ සමහර පැතිවල තිබුණ හිරගෙවල්වල සිද්ධ වුණ දෙයක් තමයි ඒ විස්තර කළේ.