මුල් පිටුවෙන් | ආදරය කරන කෙනෙක් මැරුණාම
දුකෙන් ඉන්න අයව සනසන්නේ කොහොමද?
තමන්ට කිට්ටුවෙන් හිටපු කෙනෙක්ගේ මරණය නිසා දුකෙන් ඉන්න කෙනෙක්ව සනසන්නේ කොහොමද කියලා ඔයාට හිතාගන්න බැරි වෙලා තියෙනවාද? කියන්න ඕන, කරන්න ඕන මොනවාද කියලා දන්නේ නැති නිසා කිසි දෙයක් නොකර ඉන්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒත් අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
හුඟක් වෙලාවට කරන්න පුළුවන් දෙයක් තමයි ඒ අයව බලන්න ගිහිල්ලා “වෙච්ච දේ ගැන මට හරි දුකයි” කියලා කියන එක. හුඟක් සංස්කෘතීන්වල, ඒ අයව වැලඳගන්නවා. නැත්නම් ඒ අයගේ අත් දෙක තදින් අල්ලගෙන ශෝකය පළ කරනවා. දුකෙන් ඉන්න කෙනා කතා කරන්න කැමති නම් එයාට හොඳින් ඇහුම්කන් දෙන්න. කරන්න පුළුවන් තවත් හොඳම දෙයක් තමයි ඒ වෙලාවේ ඒ අයට කරන්න අමාරු දේවල් කරලා දෙන එක. සමහරවිට කෑම ටිකක් හදලා දෙන එක, දරුවන්ව බලාගන්න එක, මළ ගෙදර වැඩකටයුතුවලට උදව් වෙන එක වගේ දේවල් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් කරලා දෙන එකෙන් ඒ අයට ලොකු සැනසීමක් ලැබෙනවා.
පස්සේ දවසක, මැරුණ කෙනාගේ හොඳ ගුණාංග ගැන එයා එක්ක සතුටින් ගත කරපු අවස්ථා ගැන කියන්නත් පුළුවන්. ඒවා අහගෙන ඉද්දී දුකෙන් ඉන්න කෙනාට සතුටක් දැනෙයි. පෑම් ගැන බලමු. අවුරුදු 6කට කලින් ඇගේ සැමියා මිය ගියා. පෑම් මෙහෙම කියනවා.
“ඉයන්ව දන්න අය එයා කරපු හොඳ දේවල් ගැන කිව්වාම මගේ හිතට දැනෙන්නේ ලොකු සතුටක්. මම ඒවා දැනගෙන හිටියෙත් නෑ.”සාමාන්‍යයෙන් වියෝදුකෙන් ඉන්න අයට මුලින් නම් ලොකු උපකාරයක් ලැබෙනවා. හැබැයි පහු වෙද්දී අනිත් අය තම තමන්ගේ වැඩකටයුතුවල කාර්යබහුල වෙන හින්දා ඒ අයව අමතක වෙලා යනවා කියලා පර්යේෂකයන් කියනවා. ඒ නිසා අමතක නොකර වියෝදුකෙන් ඉන්න කෙනෙක් ගැන ඊළඟ මාසවල නැත්නම් අවුරුදුවල හොයලා බලන්න. * ඒ අය හුඟක් කැමතියි හිතේ තියෙන දුක කාට හරි කියලා දුක තුනී කරගන්න ලැබෙන ඒ අවස්ථාවට.
තරුණ ජපන් කාන්තාවක් වන කාඕරිගේ අද්දැකීම බලන්න. ඇගේ අම්මා මැරිලා මාස 15කට පස්සේ අක්කාත් මැරුණා. ඒ වෙලාවලදී විශ්වාසවන්ත යාළුවන්ගෙන් ලොකු සහයෝගයක් ඇයට ලැබුණා. ඇයට වඩා හුඟක් වයසින් වැඩි කෙනෙක් ඇයට උදව් කරන්න ඉදිරිපත් වුණා. එයා හරියට අම්මා කෙනෙක් වගේ. එයාගේ නම රිට්සූකෝ. කාඕරි මෙහෙම කියනවා. “ඇත්තම කියනවා නම් එයාගෙන් උදව් ගන්න මං කැමති වුණේ නැහැ. මොකද වෙන කවුරුත් මගේ අම්මාගේ තැන ගන්නවාට මං ආස වුණේ නැහැ. හැබැයි රිට්සූකෝ අම්මා මට සැලකුව විදිහ නිසා ටිකෙන් ටික මං එයාට කිට්ටු වුණා. හැම සතියකම අපි එකට දේශනා සේවෙයි, ක්‍රිස්තියානි රැස්වීම්වලටයි ගියා. එයාගේ ගෙදරට එන්න කියලා මට කෑම බීම දුන්නා. සමහර දවස්වලට කෑම හදාගෙනත් ආවා. හුඟක් වෙලාවට මට ලියුම්, කාඩ් එව්වා. රිට්සූකෝ අම්මාගේ හොඳ ආකල්පය මට ගොඩක් බලපෑවා.”
කාඕරිගේ අම්මා මැරිලා දැන් අවුරුදු 12ක් වෙනවා. දැන් කාඕරි එයාගේ මහත්තයා එක්ක පූර්ණකාලීනව දේවසේවය කරනවා. කාඕරි මෙහෙම කියනවා. “රිට්සූකෝ අම්මා එදා වගේම අදත් මං ගැන හොයලා බලනවා. මට කෝල් කරනවා, ඊමේල් එවනවා. මං ගමට ගියාම නොවරදවාම එයාව බලන්න යනවා. එයාව ඇසුරු කරන එක මට ලොකු දිරිගැන්වීමක්.”
අනිත් අයගේ උදව් ලබන තව කෙනෙක් තමයි පොලි. එයා සයිප්‍රසයේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. පොලිගේ මහත්තයා හරිම කරුණාවන්ත කෙනෙක්. එයා දෙමව්පියන් නැති දරුවන්වයි, වැන්දඹුවන්වයි නිතරම ගෙදරට අඬගහලා කන්න බොන්න දීලා ඒ අයට හොඳින් සලකපු ක්‍රිස්තියානි සභාවේ වගකීම් දැරුව කෙනෙක්. (යාකොබ් 1:27) එයා මොළේ පිළිකාවකින් මැරුණේ වයස 53දී. “අපි අවුරුදු 33ක් සතුටින් විවාහ ජීවිතය ගත කෙරුවා” කියලා පොලි කියනවා.
මහත්තයා මැරුණාට පස්සේ අවුරුදු 15ක් වයස පුතා එක්ක පොලි කැනඩාවේ පදිංචියට ගියා. එහෙදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවට ගියාම අද්දැකපු දේ ගැන එයා මෙහෙම කියනවා. “ඒ සභාවේ අලුත් යාළුවෝ අපි අද්දැකපු දේවල් එච්චර දැනගෙන හිටියේ නෑ. ඒත් අපිට කරුණාවන්තව සලකලා අවශ්‍ය උපකාර දුන්නා. මගේ පුතාට තාත්තාව ඕනම කරපු වෙලාවේ ඒ වගේ උදව් සභාවේ අයගෙන් ලැබුණ එක මොන තරම් දෙයක්ද! සභාවේ වගකීම් දැරුව අය පුතාට විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඒ අයගෙන් එක් කෙනෙක් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යද්දී පුතාවත් එක්කගෙන ගියා.” අම්මායි පුතායි අද සතුටින් කල් ගෙවනවා.
මේ දේවලින් පැහැදිලි වෙන්නේ වියෝදුකෙන් ඉන්න අයව සනසන්න හුඟක් පැතිවලින් උදව් කරන්න පුළුවන් කියලයි. බයිබලයෙත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ලබා දෙන සැනසිලිදායක වදන් තියෙනවා.
^ 6 ඡේ. කෙනෙක් මැරුණ දිනය සමහරු කැලැන්ඩරයේ ලකුණු කරගෙන ඒ දිනය කිට්ටු වුණාම හරි ඒ දිනයේදී හරි කතා කරලා සනසන්න අමතක කරන්නේ නැහැ.