Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදිව තේරුම්ගන්න එක වැදගත්ද?

බයිබලය නිවැරදිව තේරුම්ගන්න එක වැදගත්ද?

ෆැක්ටරියක දුම් නළයෙන් පිටවන දුම අහසට නඟිද්දී දරුවෙක් හිතුවේ ඒ ෆැක්ටරියේ වලාකුළු හදනවා කියලයි. පුංචි දරුවෙක්ගේ මේ වගේ වැරදි වටහාගැනීමක් අපේ මුවට සිනාවක් එක් කරනවා. ඒත් සමහර දේවල් වැරදියට වටහාගන්න එකෙන් අපේ ජීවිතේ උඩු යටිකුරු වෙන්න පුළුවන්. උදාහරණයකට ෆාමසි එකකින් ලේබලේ නම හරියට කියවන්නේ නැතුව වැරදි බෙහෙතක් දුන්නොත් ඒකෙන් ඔයාගේ ජීවිතය නැති වෙන්නත් පුළුවන්.

බයිබලයේ තියෙන දේවල් වැරදියට වටහාගන්න එකත් බරපතළ දෙයක්. යේසුස්ගේ කාලේ හිටපු සමහර අය ඔහුගේ ඉගැන්වීම් වරදවා වටහාගත්ත නිසා ඒවා පිළිගත්තේ නැහැ. (යොහන් 6:48-68) ඒ අයට දෙවියන්ගේ පුත්‍රයාගෙන් ඉගෙනගන්න තිබුණ අවස්ථාව නැති වුණා.

ඔයා බයිබලය කියවන කෙනෙක්ද? ඒක අගය කරන්න ඕන දෙයක්. ඒත් හුඟක් අය බයිබලයේ තියෙන සමහර දේවල් වැරදියට වටහාගෙන තියෙනවා. ඒ වගේ වරදවා වටහාගැනීම් තුනක් දැන් සලකා බලමු.

  • ‘දෙවියන්ට භය වෙන්න’ කියලා බයිබලයේ සඳහන් දේ සමහර අය වැරදියට තේරුම් අරන් ඔහු ගැන අනවශ්‍ය භයක් ඇති කරගෙන තියෙනවා. (දේශනාකාරයා 12:13, ‘පැරණි අනුවාදය’) ඒත් දෙවියන් කැමති නැහැ අපි ඒ වගේ භයක් ඇති කරගන්නවාට. ඔහු මෙහෙම කියලා තියෙනවා. ‘භය නොවන්න. මම ඔබ සමඟ සිටින්නෙමි. කලබල නොවන්න. ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි.’ (යෙසායා 41:10) දෙවියන්ට භය වෙන්න කියන එකෙන් අදහස් වෙන්නේ ඔහුට තියෙන භක්තිය නිසා ඔහු අකමැති කිසිම දෙයක් කරන්නේ නැතුව ඉන්න කියන එකයි.

  • මේ ලෝකය ගින්නකින් විනාශ වෙලා යයිද?

    “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. ඉපදීමට කාලයක්ද මිය යෑමට කාලයක්ද” ඇත කියලා බයිබලයේ සඳහන් වෙනවා. හුඟක් අය හිතනවා දෙවියන් අපි මැරෙන දවස කලින්ම නියම කරලා තියෙනවා කියන එක ඒකෙන් අදහස් වෙනවා කියලා. (දේශනාකාරයා 3:1, 2) ඒත් ඒකෙන් අදහස් වෙන්නේ ජීවිතයේ අනිත් දේවලට වගේම මරණයටත් අපි හැමෝටම මුහුණ දෙන්න වෙනවා කියන එකයි. අපි කොච්චර කාලයක් ජීවත් වෙයිද කියන එකට අපි ගන්න තීරණත් බලපානවා. බයිබලයේ කියන්නේ “දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි” කියලයි. (හිතෝපදේශ 10:27; ගීතාවලිය 90:10; යෙසායා 55:3) උදාහරණයකට අපි දෙවියන්ගේ වචනයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් බේබදුකම සහ අනාචාරය වගේ ජීවිතයට හානිකර දේවල්වලින් වළකිනවා.—1 කොරින්ති 6:9, 10.

  • “අහසත් පොළොවත් වෙන් කර තිබෙන්නේ ගින්නෙන් දවාලීම සඳහා” කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒකෙන් දෙවියන් මේ පොළොව විනාශ කරලා දානවා කියන එක අදහස් වෙනවා කියලා සමහර අය හිතනවා. (2 පේතෘස් 3:7) ඒත් බයිබලයේ මෙහෙමත් කියනවා. “පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය.” ඒකෙන් පැහැදිලියි දෙවියන් කවදාවත් මේ පොළොව විනාශ වෙන්න දෙන්නේ නැහැ කියලා. (ගීතාවලිය 104:5; යෙසායා 45:18) දෙවියන් විනාශ කරන්නේ මේ දුෂ්ට සමාජය මිසක් මේ පොළොව නෙමෙයි. අහස කියන වචනයෙන් තරුපිරි අහස, විශ්වය නැත්නම් දෙවියන් ඉන්න ස්වර්ගය අදහස් වෙන්න පුළුවන්. මේ දේවලින් එකක්වත් කවදාවත් විනාශ වෙන්නේ නැහැ.

බයිබලයේ තියෙන සමහර දේවල් වැරදියට තේරුම් අරන් තියෙන්නේ ඇයි?

හුඟදෙනෙක් බයිබලය ගැන වැරදියට තේරුම් අරන් තියෙනවා කියලා ඒ උදාහරණවලින් පැහැදිලියි. ඒත් දෙවියන් ඒ වගේ දේකට ඉඩහැරියේ ඇයි? ‘දෙවියන් හැම දෙයක්ම දන්න, ප්‍රඥාවන්ත කෙනෙක් නම් හැමෝටම එකපාරින් කියවලා තේරුම්ගන්න පුළුවන් විදිහේ බයිබලයක් දෙන්න තිබුණානේ’ කියලා සමහර අය කියන්න ඉඩ තියෙනවා. බයිබලයේ තියෙන දේවල් වැරදියට වටහාගන්න හේතු වෙලා තියෙන කාරණා තුනක් අපි දැන් බලමු.

  1. බයිබලය තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ඒ ගැන ඉගෙනගන්න ආසාවක් තියෙන නිහතමානී අයටයි. යේසුස් ඔහුගේ පියාට මෙහෙම කිව්වා. “ඔබ මේ දේවල් ප්‍රඥාවන්තයන් සහ බුද්ධිමතුන් ලෙස සලකන අයගෙන් සඟවා, බිලිඳුන් වැනි අයට හෙළි කළ නිසා ඔබට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කරන්න මම කැමතියි.” (ලූක් 10:21) සාමාන්‍යයෙන් “ප්‍රඥාවන්තයන් සහ බුද්ධිමතුන්” උඩඟු ආකල්පයක් ඇතුව බයිබලය කියවන නිසා හුඟක් වෙලාවට ඒකේ තියෙන දේවල් වැරදියට වටහාගන්නවා. ඒත් නිහතමානීව “බිලිඳුන්” වගේ දෙයක් ඉගෙනගන්න අරමුණින් බයිබලය කියවන කෙනෙක්ට ඒකේ තියෙන දේවල් තේරුම්ගන්න පුළුවන්. දෙවියන් ඒ වගේ අයට උදව් කරනවා. බයිබලය ලියලා තියෙන්නේ ඒක හරි ආකල්පයක් ඇතුව කියවන කෙනෙක්ට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහටයි.

  2. බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ ඒකට අවංකව දෙවියන්ගේ උදව් ඉල්ලන අයටයි. තමන් උගන්වපු දේවල් තේරුම්ගන්න මිනිසුන්ට උදව් ඕනෙ කියලා යේසුස් දැනගෙන හිටියා. ඒ උදව් ලැබෙන්නේ කාගෙන්ද? යේසුස් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නවා.” (යොහන් 14:26) දෙවියන් බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න ඔහුගේ මහත් බලය අපිට දෙන්න කැමතියි. ඒත් උදව් ඉල්ලන්නේ නැති අයට ඔහු ඒ බලය ලබා දෙන්නේ නැති නිසා එයාලාට ඒ දේවල් තේරෙන්නේ නැහැ. ඒ වගේම බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ළඟට, ඒ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ව යවන්නත් දෙවියන්ට ඔහුගේ බලය පාවිච්චි කරන්න පුළුවන්.—ක්‍රියා 8:26-35.

  3. බයිබලයේ තියෙන සමහර දේවල් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ දෙවියන් නියම කරලා තියෙන කාලයේදී විතරයි. ඉදිරියේදී වෙන්න යන දෙයක් ගැන දේවදූතයෙක් අනාගතවක්තෘ දානියෙල්ට හෙළි කරද්දී ඔහු මෙහෙම කිව්වා. “දානියෙල්, ඔබට හෙළි කළ මේ වචන ලියවිල්ලක සටහන් කර අවසාන කාලය දක්වා එම ලියවිල්ල වසා මුද්‍රා කර තබන්න.” අවුරුදු ගාණක් තිස්සේ දානියෙල් පොත තේරුම්ගන්න මිනිසුන් උත්සාහ කළත් වැඩක් වුණේ නැහැ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මොකද දානියෙලුත් කිව්වේ “ඔහුගේ වචන ඇසූ නමුත් මම ඒවා තේරුම් නොගත්තෙමි” කියලයි. එහෙමනම් ඒ වචනවල අර්ථය දෙවියන් හෙළි කරන්නේ කවදාද? දේවදූතයා කිව්වේ “අවසාන කාලය දක්වා ලියවිල්ල වසා මුද්‍රා කර තිබේ” කියලයි. ‘ගැඹුරු අවබෝධයක් ඇති අයට’ දානියෙල් පොතේ අර්ථය දෙවියන් තමන් නියම කරලා තියෙන අවසාන කාලයේදී හෙළි කරලා තියෙනවා. (දානියෙල් 12:4, 8-10) ඒකෙන් පැහැදිලි වෙනවා බයිබලයේ තියෙන සමහර දේවල් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ දෙවියන් නියම කරලා තියෙන කාලයේදී විතරයි කියලා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නියමිත කාලයට කලින් දේවල් අවබෝධ කරගන්න උත්සාහ කරපු නිසා බයිබලයේ තියෙන සමහර දේවල් වැරදියට වටහාගෙන තියෙනවාද? ඔව්. ඒත් දෙවියන් නියමිත කාලයේදී ඒ ගැන හරි අවබෝධය ලබා දෙද්දී ඔවුන් ඒක කැමැත්තෙන්ම පිළිගන්නවා. ඒ අවස්ථාවලදී ඔවුන් ආදර්ශයට ගන්නේ යේසුස්ගේ නියෝජිතයන්වයි. යේසුස් නියෝජිතයන්ව නිවැරදි කරද්දී ඔවුන් නිහතමානීව අවශ්‍ය සකස් කිරීම් කළා.—ක්‍රියා 1:6, 7.

බයිබලයේ තියෙන දේවල් වැරදියට වටහාගන්න එක, වලාකුළු හදන්නේ ෆැක්ටරියක කියලා හිතනවා වගේ පොඩි පහේ වැරදි වැටහීමක් නෙමෙයි. මොකද බයිබලයේ සඳහන් දේවල් ඔයාගේ ජීවිතයට හුඟක් වැදගත්. ඒත් ඒක කියවලා, නිවැරදිව තේරුම්ගන්න එක, කෙනෙක්ට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒකට උදව් ලබාගන්න. බයිබලයේ තියෙන පණිවිඩය නිහතමානීව තේරුම්ගන්න උත්සාහ කරන, ඒකට දෙවියන්ගේ උපකාරය ඉල්ලන, බයිබලයේ මඟ පෙන්වීම් අදාළ කරගන්න එක දෙවියන්ගේ කැමැත්ත කියලා තේරුම් අරන් ඉන්න අයගෙන් උදව් ලබාගන්න. කැමති නම් ඔයාගේ ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවන්ව හමු වෙන්න ඔයාට පුළුවන්. එහෙමත් නැත්නම් jw.org/si කියන වෙබ් අඩවියට පිවිසෙන්න. බයිබලයේ මේ පොරොන්දුව දීලා තියෙනවා. ‘අවබෝධය ලබා දෙන මෙන් හඬ නඟා අයැදිනවා නම් ඔබ යෙහෝවා දෙවිව දැන හඳුනා ගනු ඇත.’—හිතෝපදේශ 2:3-5.