සහෝදර ප්‍රේමය පෙන්නන්න අදිටන් කරගමු
“දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න.”—හෙබ්‍රෙ. 13:1.
ගීතිකා: 72, 119
1, 2. පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලිපියක් ලිව්වේ ඇයි?
ඒ ක්‍රි.ව. 61වෙනි අවුරුද්දයි. ඊශ්‍රායෙලය පුරාම තිබුණු සභාවල පැවතුණේ සාමකාමී වාතාවරණයක්. ඒ වෙද්දී පාවුල් හිටියේ රෝමයේ සිරකරුවෙක් විදිහට වුණත් තමන්ව ඉක්මනින්ම නිදහස් කරයි කියලා ඔහු බලාපොරොත්තුවෙන් හිටියා. ඔහුත් එක්ක සංචාරක සේවයේ හවුල් වුණු තිමෝතිවත් ඒ වෙද්දී නිදහස් කරලයි තිබුණේ. පාවුල්ට නිදහස ලැබුණට පස්සේ ඒ දෙන්නා බලාගෙන හිටියේ යුදයට ගිහින් සහෝදරයන්ව මුණගැහෙන්න. (හෙබ්‍රෙ. 13:23) හමුදාවක් යෙරුසලම වට කරනවා දකිද්දී ඉක්මනින් යෙරුසලමෙන් පලා යන්න කියලා යේසුස් කියපු අනාවැකිය ඉටු වෙන්න තව වැඩි දවසක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම යෙරුසලමේ ජීවත් වුණු ක්‍රිස්තියානීන්ට ඒක තීරණාත්මක අවස්ථාවක්. ඒ සිද්ධිය වෙන්න තිබුණේ අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් විතරයි.—ලූක් 21:20-24.
2 යේසුස් ඒ අනාවැකිය කියලා ගත වුණු අවුරුදු 28 පුරාම මොන තරම් පීඩා, පරීක්ෂා ආවත් ඊශ්‍රායෙලයේ හිටපු ක්‍රිස්තියානීන් දිගටම විශ්වාසවන්තව හිටියා. (හෙබ්‍රෙ. 10:32-34) දැන් පාවුල්ට ඕන වුණේ ඉදිරියේදී මුහුණ දෙන්න වෙන ලොකුම පරීක්ෂණයට ඒ අයව සූදානම් කරන්නයි. (මතෙ. 24:20, 21; හෙබ්‍රෙ. 12:4) යේසුස්ට කීකරු වෙලා නගරෙන් පලා ගිහින් ජීවිත බේරගන්න නම් වෙන කවරදාකටත් වඩා ලොකු විශ්වාසයක්, විඳදරාගැනීමක් ඒ අයට තියෙන්න ඕන වුණා. (හෙබ්‍රෙව් 10:36-39 කියවන්න.) ඒ පරීක්ෂණයට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තියත් දිරිගැන්වීමත් ලබා දෙන අරමුණෙන් ඒ අයට ලිපියක් ලියන්න යෙහෝවා දෙවි පාවුල්ට මඟ පෙන්නුවේ ඒ කාලෙදියි. හෙබ්‍රෙව් පොත විදිහට හඳුන්වන්නේ ඒ ලිපියයි.
3. අපි හෙබ්‍රෙව් පොත උනන්දුවෙන් අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?
3 හෙබ්‍රෙව් පොතේ තියෙන දේවල් අපිත් උනන්දුවෙන් අධ්‍යයනය කරන එක අත්‍යවශ්‍යයි. මොකද අපේ තත්වයත් එදා යුදයේ ක්‍රිස්තියානීන්ගේ තත්වයට සමානයි. අපි ඉන්නෙත් ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලෙක.’ (2 තිමෝ. 3:1, 12) හුඟක් පීඩා, පරීක්ෂාවලට විශ්වාසවන්තව මුහුණ දීපු හුඟදෙනෙක් අපි අතරේ ඉන්නවා. ඒත් අපෙන් වැඩිදෙනෙක්ට දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙලා නැහැ. හුඟක් අය නිදහසේ දෙවිට නමස්කාර කරනවා. ඒ වුණත් එදා හිටපු ක්‍රිස්තියානීන් වගේ අපිත් සෝදිසියෙන් ඉන්න ඕනේ. මොකද අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන ලොකුම පරීක්ෂණයට තව වැඩි දවසක් නැහැ!—ලූක් 21:34-36 කියවන්න.
4. 2016 වාර්ෂික පදය මොකක්ද? ඒක හොඳින්ම ගැළපෙන්නේ ඇයි?
4 ඒ තීරණාත්මක අවස්ථාවට දැන්ම සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන හුඟක් දේවල් පාවුල් හෙබ්‍රෙව් පොතේ සඳහන් කළා. ඒ අතරේ තියෙන වටිනා උපදෙසක් හෙබ්‍රෙව් 13:1 සඳහන් වෙනවා. එතන කියන්නේ “දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න” කියලයි. 2016 අපේ වාර්ෂික පදයත් ඒකයි.
2016 වාර්ෂික පදය: “දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න.”—හෙබ්‍රෙව් 13:1
සහෝදර ප්‍රේමය කියන්නේ මොකක්ද?
5. “එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න” කියද්දී පාවුල් අදහස් කළේ මොකක්ද?
5 “එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න” කියද්දී පාවුල් ඒකෙන් අදහස් කළේ එකිනෙකාට දක්වන ගැඹුරු සෙනෙහසයි. (යොහ. 11:36) ඒක හරියට එකම පවුලේ සාමාජිකයන්, කිට්ටු යාළුවන් අතරේ තියෙන ආදරේ, බැඳීම වගේ. අපිට ඕනෙ ඇත්තටම එකිනෙකාගේ සහෝදර සහෝදරියන් වෙන්න මිසක් එහෙම අය කියලා මවාපාන්න නෙමෙයි. (මතෙ. 23:8) පාවුල් තවත් අවස්ථාවක මෙහෙම කිව්වා. “ඔබේ සහෝදර ප්‍රේමයට සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10) අපේ සහෝදරයන් වෙනුවෙන් අපේ හිතේ මොන තරම් සෙනෙහසක් තියෙන්න ඕනෙද කියලා ඒ වචනවලින් පැහැදිලියි. එකිනෙකාව කිට්ටු යාළුවන් කරගන්නත් එකා වගේ එකමුතුව වැඩ කරන්නත් දෙවිගේ සෙනඟට පුළුවන් වෙලා තියෙන්නේ සහෝදර ප්‍රේමය වගේම බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වෙලා තියෙන ප්‍රේමය ඒ අය අතර තියෙන නිසයි.
6. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් සහෝදර ප්‍රේමය කියන යෙදුමේ නියම අර්ථය අවබෝධ කරගෙන තියෙන්නේ කොහොමද?
6 සහෝදර ප්‍රේමය කියන යෙදුම වැඩියෙන්ම දකින්න තියෙන්නේ ක්‍රිස්තියානි පොත් පත්වලයි. අතීතයේ හිටපු යුදෙව්වන් සහෝදරයා කියන වචනේ පාවිච්චි කළේ තමන්ගෙම පවුලේ කෙනෙක්ට. පවුලට අයිති නැති කෙනෙක්ට ඒක පාවිච්චි කරපු අවස්ථාත් තිබුණා. ඒත් කිසිම වෙලාවක යුදෙව් නොවන කෙනෙක්ට ඒ වචනේ පාවිච්චි කළේ නැහැ. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් නම් ඊට වඩා වෙනස්. මොන රටකට, ජාතියකට අයිති වුණත් කෙනෙක් දෙවිට නමස්කාර කරනවා නම් එයාව සලකන්නේ තමන්ගෙම සහෝදරයෙක් හැටියටයි. (රෝම 10:12) එහෙම කරන්න අපිට උගන්නලා තියෙන්නේ යෙහෝවා දෙවි.—1 තෙස. 4:9.
සහෝදර ප්‍රේමය දිගටම පෙන්නන එක වැදගත් ඇයි?
7. (අ) සහෝදර ප්‍රේමය පෙන්නන්න අපිට තියෙන ප්‍රධානම හේතුව මොකක්ද? (ආ) එහෙම කරන්න තියෙන අනිත් හේතුව මොකක්ද?
7 සහෝදර ප්‍රේමය පෙන්නන්න තියෙන ප්‍රධානම හේතුව එහෙම කරන්න කියලා යෙහෝවා දෙවි අපිට කියලා තියෙන නිසයි. අපේ සහෝදරයන්ට ආදරෙන් සලකන්න බැරි නම් දෙවිට ඇත්තටම ආදරේ කරන්න අපිට බැහැ. (1 යොහ. 4:7, 20, 21) සහෝදර ප්‍රේමය පෙන්නන්න තියෙන අනිත් හේතුව තමයි අපිට එකිනෙකාගේ උදව් ඕන කරන එක. විශේෂයෙන්ම දුෂ්කර කාලවලදී අපිට එකිනෙකාගේ උදව් ඕනෙමයි. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියද්දී ඔහු දැනගෙන හිටියා ඉක්මනින්ම ඒ අයට තමන්ගේ ගෙවල් දොරවල්, බඩුමුට්ටු දාලා යන්න වෙනවා කියලා. ඒක මොන තරම් දුෂ්කර කාලයක්ද කියලා යේසුස් කියලා තිබුණා. (මාක් 13:14-18; ලූක් 21:21-23) ඒ නිසා ඊට කලින් එකිනෙකාට දක්වන ප්‍රේමය තවත් වැඩි කරගන්න එක අත්‍යවශ්‍ය වුණා.—රෝම 12:9.
8. මහත් පීඩාවට කලින් අපි කරන්න ඕනෙ මොකක්ද?
8 මිනිසුන්ට මුහුණ දෙන්න වෙන දරුණුම පීඩාවට තව වැඩි දවසක් නැහැ. (මාක් 13:19; එළි. 7:1-3) “මගේ සෙනඟෙනි, ඔබේ නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලට ගොස් දොර වසාගන්න. උදහස පහ වන තුරු මොහොතකට සැඟවී සිටින්න” කියන උපදෙසට ඒ කාලයේදී අපි කීකරු වෙන්න ඕනේ. (යෙසා. 26:20) “නිවස ඇතුළේ තිබෙන ආරක්ෂිත කාමරවලින්” අදහස් කරන්නේ අපි අයිති සභාව වෙන්න පුළුවන්. අපි අපේ සහෝදරයන් එක්ක එකතු වෙලා දෙවිට නමස්කාර කරන්නේ එතනයි. ඒත් නිතිපතා රැස්වීම්වලට යනවට වඩා වැඩි දෙයක් අපි කරන්න ඕනේ. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට කිව්වේ ප්‍රේමය පෙන්නන්න සහ යහපත් ක්‍රියා කරන්න එකිනෙකාව දිරිගන්වන්න කියලයි. (හෙබ්‍රෙ. 10:24, 25) අපි මේ කාලෙදී අපේ සහෝදර ප්‍රේමය තව තවත් වැඩි කරගත්තොත් අනාගතයෙදී එන ඕනෙම පීඩාවක් දරාගන්න ඒක අපිට උදව් වෙයි.
9. (අ) සහෝදර ප්‍රේමය පෙන්නන්න අපිට තියෙන අවස්ථා මොනවද? (ආ) දෙවිගේ සෙනඟ අතරේ සහෝදර ප්‍රේමය තියෙනවා කියලා පැහැදිලි වෙන අද්දැකීම් කියන්න.
9 මහත් පීඩාවට කලින් මේ කාලෙදීත් සහෝදර ප්‍රේමය පෙන්නන්න අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. භූමිකම්පා, ජලගැලීම්, සුළිකුණාටු, සුනාමි වගේ ස්වාභාවික විපත් නිසා හුඟක් සහෝදරයන් දුක් විඳිනවා. තවත් අය දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙනවා. (මතෙ. 24:6-9) ඒවාට අමතරව හුඟක් අයට ආර්ථික ප්‍රශ්නත් තියෙනවා. (එළි. 6:5, 6) ඒ හැම දෙයක්ම අපි සලකන්න ඕනෙ සහෝදර ප්‍රේමය පෙන්නන්න අපිට ලැබෙන අවස්ථා හැටියට. මේ දුෂ්ට සමාජයේ මිනිසුන් එකිනෙකාට කිසි ප්‍රේමයක් දැක්වුවේ නැතත් අපි දිගටම අපේ සහෝදරයන්ට ප්‍රේමය පෙන්නමු.—මතෙ. 24:12. [1]
දිගටම සහෝදර ප්‍රේමය පෙන්නන්න පුළුවන් කොහොමද?
10. දැන් අපි බලන්නේ මොනවා ගැනද?
10 මොන ප්‍රශ්න ගැටලු තිබුණත් අපිට දිගටම සහෝදර ප්‍රේමය පෙන්නන්න පුළුවන් කොහොමද? සහෝදර සහෝදරියන් ගැන අපිට ගැඹුරු සෙනෙහසක් තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් කොහොමද? “දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න” කියලා කිව්වට පස්සේ ඒක කරන්න පුළුවන් විදි ගැන පාවුල් ඊළඟට කතා කළා. ඒවාවලින් 6ක් ගැන දැන් බලමු.
11, 12. ආගන්තුක සත්කාරය පෙන්නන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
11 “ආගන්තුක සත්කාරය දැක්වීමට අමතක නොකරන්න.” (හෙබ්‍රෙව් 13:2 කියවන්න.) “ආගන්තුක සත්කාරය” කියන්න යොදාගත්ත ග්‍රීක වචනෙන් අදහස් කළේ “නාඳුනන අයට කාරුණිකව සලකන්න” කියන දේයි. ඒක ඇහෙද්දී අපිට මතක් වෙන්නේ නාඳුනන අයට කාරුණිකව සලකපු ආබ්‍රහම්ව සහ ලොත්ව. තමන් සැලකුවේ දේවදූතයන්ට කියලා ඔවුන් දැනගත්තේ පස්සේ. (උත්. 18:2-5; 19:1-3) ආගන්තුක සත්කාරය කියන්නේ සහෝදර ප්‍රේමය පෙන්නන්න පුළුවන් වටිනා අවස්ථා කියලා තේරුම්ගන්න ඒ ආදර්ශ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට උදව් වුණා.
12 ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් කොහොමද? සහෝදර සහෝදරියන්ව අපේ ගෙදරට ආරාධනා කරලා කෑම වේලක් දෙන්න නැත්නම් ටිකක් කතාබහ කරලා දිරිගන්වන්න අපිට පුළුවන්. සමහරවිට අපේ චාරිකා යුවළව අපි කිට්ටුවෙන් ආශ්‍රය කරලා නැතුව ඇති. ඒත් එයාලා අපේ සභාවට ආවම කෑමකට එන්න කියලා එයාලට ආරාධනා කරන්න පුළුවන්. (3 යොහ. 5-8) ඒක ලොකු භෝජන සංග්‍රහයක් වෙන්න ඕනෙ නැහැ. මොකද අපේ අරමුණ එකිනෙකාව දිරිගන්වන එක මිසක් අපේ වත්පොහොසත්කම් පෙන්නන එක නෙමෙයි. ඒ වගේම ආයෙත් අපිට සංග්‍රහයක් දෙන්න පුළුවන් අයට විතරක් අපි ආරාධනා කරන එකත් හොඳ නැහැ. (ලූක් 10:42; 14:12-14) අපි ගත කරන්නේ කාර්යබහුල ජීවිත. ඒත් ආගන්තුක සත්කාරය පෙන්නන්නේ නැතුව ඉන්න ඒක හේතුවක් කරගන්න එපා!
13, 14. සිරභාරයේ ඉන්න අයව අපිට අමතක වෙලා නැහැ කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?
13 ‘සිරභාරයේ සිටින අයව අමතක නොකරන්න.’ (හෙබ්‍රෙව් 13:3 කියවන්න.) පාවුල් ඒක කියද්දී ඔහුගේ මනසේ තිබුණේ විශ්වාසය නිසා සිරභාරයේ ඉන්න අයවයි. ඒ වෙද්දී පාවුල් හිටියෙත් රෝමයේ සිරකරුවෙක් විදහට. (ෆිලි. 1:12-14) සිරගෙදර ගත කරපු අවුරුදු 4 පුරාම සමහර සහෝදරයන් ඔහුට හුඟක් විදිවලින් උදව් කළා. “සිරගෙයි සිටි අයට ඔබ අනුකම්පාව දැක්වූවා” කියලා ඔහු සහෝදරයන්ව අගය කළා. (හෙබ්‍රෙ. 10:34) ඒත් රෝමයට හුඟක් ඈතින් හිටපු හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට කොහොමද පුළුවන් වුණේ ඒක කරන්න? පාවුල් වෙනුවෙන් යාච්ඤා කරලා ප්‍රේමය පෙන්නන්න ඔවුන්ට පුළුවන්කම තිබුණා.—හෙබ්‍රෙ. 13:18, 19.
14 අදත් හුඟක් සහෝදරයන් ඔවුන්ගේ විශ්වාසය පාවා නොදුන් නිසා සිරගෙවල්වල දුක් විඳිනවා. ඒ සිරගෙවල්වලට කිට්ටුව ජීවත් වෙන සහෝදර සහෝදරියන් විවිධ විදිවලින් ඒ අයට උදව් කරනවා. ඒත් අපි ඉන්නේ ඒ අයට උපකාර කරන්න බැරි තරම් දුරක නම් ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද? අපි තුළ තියෙන සහෝදර ප්‍රේමය එයාලා වෙනුවෙන් යාච්ඤා කරන්න අපිව පොලඹවයි. උදාහරණෙකට එරිත්‍රියාවේ අපේ සහෝදර සහෝදරියන්, පුංචි දරුවන් හුඟදෙනෙක් සිරගෙවල්වල ඉන්නවා. ඒ අය අතරේ ඉන්න පාවුලොස් ඉයාසු, ඊසක් මොගොස් සහ නෙගඩෙ ටෙක්ලමරියම් කියන සහෝදරයෝ තුන්දෙනා අවුරුදු 20කට වඩා වැඩි කාලයක් තිස්සේ සිරදඬුවම් විඳිනවා. අපේ යාච්ඤාවලදී ඒ හැමෝවම මතක් කරන එක කොච්චර වටිනවද!
15. විවාහය ගෞරවයෙන් සලකන්න අපිට පුළුවන් කොහොමද?
15 “විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි.” (හෙබ්‍රෙව් 13:4 කියවන්න.) සහෝදර ප්‍රේමය පෙන්නන්න පුළුවන් තවත් පැත්තක් තමයි සදාචාරමය අතින් පවිත්‍රව ඉන්න එක. (1 තිමෝ. 5:1, 2) හිතන්න, අපි අපේ සහෝදරයෙක්, සහෝදරියක් එක්ක නැත්නම් එයාගේ පවුලේ කෙනෙක් එක්ක අනාචාරයේ යෙදුණා කියලා. ඒකෙන් සහෝදරයන් අතරේ තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳෙනවා. සහෝදර ප්‍රේමය තියෙන කෙනෙක් එහෙම කරයිද? (1 තෙස. 4:3-8) ඒ වගේම තමන්ගේ සැමියා අසභ්‍ය දර්ශන බලනවා කියලා දැනගත්තම බිරිඳට කොහොම හැඟෙයිද කියලා හිතන්න. තමන්ටත් තමන්ගේ විවාහයටත් සැමියා ගෞරවය කරනවා කියලා එයාට හැඟෙයිද?—මතෙ. 5:28.
16. තියෙන දෙයින් සෑහීමට පත් වෙන එක සහෝදර ප්‍රේමය පෙන්නන්න උදව් වෙන්නේ කොහොමද?
16 “තිබෙන දේවල් ගැන සෑහීමට පත් වන්න.” (හෙබ්‍රෙව් 13:5 කියවන්න.) යෙහෝවා දෙවි ගැන අපිට විශ්වාසයි නම් තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න අපිට පුළුවන්. සහෝදර ප්‍රේමය පෙන්නන්න ඒක උදව් වෙන්නේ කොහොමද? අපිට තියෙන දේවලින් අපි සෑහීමට පත් වෙනවා නම් සල්ලිවලටවත් වෙනත් දේවලටවත් වඩා අපිට වටින්නේ අපේ සහෝදරයන් කියලා අපි තේරුම්ගන්නවා. (1 තිමෝ. 6:6-8) සෑහීමට පත් වෙලා ඉන්න කෙනෙක් සහෝදරයන්ව විවේචනය කරන්නේ නැහැ. තමන් අද්දකින දේවල් ගැන කන්කෙඳිරි ගාන්නේ නැහැ. අනිත් අයට ඊර්ෂ්‍යා කරන්නෙවත් කෑදර විදිහට වැඩ කරන්නෙවත් නැහැ. ඒ වෙනුවට සෑහීමට පත් වෙන කෙනෙක් හරිම ත්‍යාගශීලියි.—1 තිමෝ. 6:17-19.
17. “ධෛර්යය උපදවාගන්න” එක සහෝදර ප්‍රේමය පෙන්නන්න උදව් වෙන්නේ කොහොමද?
17 “ධෛර්යය උපදවාගන්න.” (හෙබ්‍රෙව් 13:6 කියවන්න.) යෙහෝවා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා නම් ඕනම පීඩාවකට මුහුණ දෙන්න අවශ්‍ය ධෛර්යය අපිට ලැබෙනවා. ඒ ධෛර්යය අපිට උදව් වෙනවා අපි අද්දකින දේවල් ගැන ධනාත්මකව හිතන්න. එහෙම හිතද්දී සහෝදර ප්‍රේමය පෙන්නන්න අපිට පහසුයි. මොකද සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්න, ඒ අයට සහනයක් වෙන්න අපි පෙලඹෙන්නේ එතකොටයි. (1 තෙස. 5:14, 15) අපේ ගැලවීම ළඟයි කියලා දන්න නිසා මහත් පීඩාව අතරතුරේදීත් ධෛර්යවත්ව ඉන්න අපිට පුළුවන්.—ලූක් 21:25-28.
18. වැඩිමහල්ලන් ගැන තියෙන ප්‍රේමය තව වැඩි කරගන්න පුළුවන් කොහොමද?
18 ‘පෙරමුණ ගෙන කටයුතු කරන අයව අමතක නොකරන්න.’ (හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.) වැඩිමහල්ලන් ඒ අයගේ පෞද්ගලික වැඩවලට තියෙන කාලය සභාව වෙනුවෙන් යොදවන්නේ අපිට තියෙන ආදරේටයි. ඒ අය අපි වෙනුවෙන් කරන දේවල් ගැන හිතනවා නම් එයාලා ගැන අපිට තියෙන ආදරේ, අගය තවත් වැඩි වෙයි. එයාලගේ සතුට නැති කරන, කලකිරීමට පත් කරන කිසිම දෙයක් කරන්න අපි කැමති නැහැ. ඒ වෙනුවට අපිට ඕනෙ ඒ අයට කැමැත්තෙන්ම කීකරු වෙන්නයි. එහෙම කරද්දී අපිට පුළුවන් “ඔවුන් කරන සේවය නිසා ඔවුන්ට ඉමහත් ප්‍රේමයකින් ගෞරවය දක්වන්න.”—1 තෙස. 5:13.
තව වැඩියෙන් ඒ දේ කරන්න
19, 20. තව වැඩියෙන් සහෝදර ප්‍රේමය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?
19 යෙහෝවා දෙවිගේ සෙනඟ සහෝදර ප්‍රේමය පෙන්නන සෙනඟක් විදිහට ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. පාවුල්ගේ කාලෙදීත් ඒක එහෙමයි. ඒත් පාවුල් සහෝදරයන්ව දිරිගැන්නුවේ ‘වැඩි වැඩියෙන් ඒ ආදරේ පෙන්නන්න’ කියලයි. (1 තෙස. 4:9, 10) ඒ පැත්තෙන් අපි හැමෝටම තව දියුණු වෙන්න පුළුවන්.
20 මේ අවුරුද්ද පුරාම වාර්ෂික පදය දකිද්දී මේ ප්‍රශ්න ගැන හොඳට හිතමු. තවත් වැඩියෙන් ආගන්තුක සත්කාරය පෙන්නන්න මට පුළුවන්ද? සිරගෙවල්වල ඉන්න සහෝදරයන් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොනවද? දෙවි ඇති කරලා තියෙන විවාහ සැලැස්මට මම ගෞරවය පෙන්නනවද? තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න මට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසය තව වැඩි කරගන්නේ කොහොමද? වැඩිමහල්ලන්ට තව හොඳින් කීකරු වෙන්න මං කරන්න ඕනෙ මොනවද? ඒ පැති 6 අදාළ කරගන්න අපි උත්සාහ කරනවා නම් වාර්ෂික පදය බිත්තියේ එල්ලලා තියෙන නිකම්ම නිකම් වැකියක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට “දිගටම එකිනෙකාව සහෝදරයන් ලෙස සලකා ඔවුන්ට ප්‍රේම කරන්න” කියන වචනවලට කීකරු වෙන්න අපි පෙලඹෙයි.—හෙබ්‍රෙ. 13:1.
^ [1] (9 ඡේදය) විපත්තිවලදී සාක්ෂිකරුවන් සහෝදර ප්‍රේමය පෙන්නලා තියෙන විදි ගැන දැනගන්න 2002 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 8-9 පිටු සහ ‘දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!’ පොතේ 20වෙනි පරිච්ඡේදය බලන්න.