Skip to content

පටුනට යන්න

පූජකයන් හා ගිහියන් ලෙස කොටස් දෙකක් සිටිය යුතුද?

පූජකයන් හා ගිහියන් ලෙස කොටස් දෙකක් සිටිය යුතුද?

බයිබලයෙන් පිළිතුරක්

පූජකයන් හා ගිහියන් ලෙස කොටස් දෙකක් සිටිය යුතුද?

අති පූජ්‍යය, අති ගරු, අති උත්තම, අග්‍ර රාජගුරු, පියාණෙනි, මෙවැනි පදවි නාම බොහෝ ආගම්වල පූජක තනතුරු දරන අයට දී තිබෙනවා. මෙවැනි පදවි නාම නිසා පූජකයන් හා ගිහියන් අතර විශාල පරතරයක් තිබෙන බව පෙනෙනවා. නමුත් මෙවැනි පරතරයක් තිබීම දෙවිගේ සැලැස්මක්ද? නැත්නම් එය මිනිසාගේ සැලැස්මක්ද? පූජකයන් හා ගිහියන් ලෙස කාණ්ඩ දෙකකට වෙන්ව සිටීම දෙවි අනුමත කරනවාද?

“යේසුස්ගේ මුල් අනුගාමිකයන් විසූ කාලය පිළිබඳ වාර්තා ඇතුළත් අලුත් ගිවිසුමේ පූජකයන් හා ගිහියන් ලෙස කාණ්ඩ දෙකක් සිටි බවට කිසිදු සාක්ෂියක් නැහැ” කියා දේව ධර්මවාදය පිළිබඳ මහාචාර්ය ක්ලීටස් වෙසිල්ස් පවසනවා. එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “නිලතල දැරූ අය පූජකයන් ලෙසත් සාමාන්‍යය වැසියන් ගිහියන් ලෙසටත් බෙදීමක් ඇති වුණේ ක්‍රමක්‍රමයෙනුයි. ඉන්පසු සාමාන්‍යය වැසියන්ව සැලකුවේ ආගම පිළිබඳ දැනුමක් නැති අය ලෙසයි.” නමුත් එවැනි බෙදීමක් ඇති වුණේ තුන්වන සියවසේදීයි. —එම විශ්වකෝෂය, The Encyclopedia of Christianity.

එසේනම් යේසුස්ගේ මුල් අනුගාමිකයන් මෙන්ම මුල් ක්‍රිස්තියානීන් අතර පූජකයන් හා ගිහියන් ලෙස කාණ්ඩ දෙකක් තිබුණේ නැති බව පැහැදිලියි. එසේ කාණ්ඩ දෙකකට බෙදීම බයිබලයට අනුව වැරදියි. ඊට හේතු අපි සොයා බලමු.

ඔබ සියලුදෙනාම සහෝදරයෝය

දෙවිගේ වචනයේ සඳහන් වන්නේ සෑම ක්‍රිස්තියානියෙක්ම දෙවිගේ සේවකයන් බවත් කිසිවෙකුවත් අන් අයට වඩා උසස් වන්නේවත් පහත් වන්නේවත් නැති බවයි. (2 කොරින්ති 3:5, 6) එක් ආගමික කතුවරයෙක් වන ඇලෙක්සැන්ඩර් ෆිවර් පැවසුවේ “මුල් ක්‍රිස්තියානීන් අතර කිසිදු පන්ති භේදයක් තිබුණේ නැහැ “ කියායි. ඊට හේතුව “ඔබ සියල්ලෝම සහෝදරයෝය” කියා යේසුස් තම මුල් අනුගාමිකයන්ට පැවසූ නිසයි.—මතෙව් 23:8.

බයිබලය පිළිබඳව නිවැරදි දැනුමක් තිබූ අය මුල් ශත වර්ෂයේදී සිටි අතර ඔවුන් ගුරුවරුන් ලෙසද ක්‍රිස්තියානි සභාව රැකබලා ගන්නා අය ලෙසද කටයුතු කළා. (ක්‍රියා 20:28) නමුත් ඔවුන්ට ගෙවීමක් කළේ නැහැ. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් සාමාන්‍යයෙන් රැකියා කළ විවාහක පුරුෂයන් හා පවුල් වගකීම් දැරූ අයයි. ඔවුන් සභාව රැකබලා ගැනීමට සුදුසුකම් ලැබුවේ ආගම උගන්වන සෙමනේරිවලින් නොවෙයි. නමුත් දෙවිගේ වචනය වන බයිබලය හොඳින් අධ්‍යයනය කිරීමෙන් හා ක්‍රිස්තියානියෙකුට තිබිය යුතු ගුණාංග වර්ධනය කරගැනීමෙනුයි. එවැනි කෙනෙක් ‘පමණ දැන ක්‍රියා කරන, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන, පිළිවෙළකින් යුක්තව කටයුතු කරන, ආගන්තුක සත්කාරය දක්වන හා උගන්වන්න සුදුසුකම් ලත් කෙනෙකු විය යුතුයි.’ එමෙන්ම ‘සාධාරණ, රණ්ඩුවට බර නොවන, මුදලට ප්‍රේම නොකරන, තමාගේ ගෙදර සිටින අයව හොඳින් හසුරුවන කෙනෙකු විය යුතුයි.’—1 තිමෝති 3:1-7.

බයිබලයේ උපදෙස් පිළිපැදිය යුත්තේ මන්ද?

“ලියා තිබෙන දේ ඉක්මවා නොයන්න” කියා බයිබලයේ උපදෙස් දී තිබෙනවා. (1 කොරින්ති 4:6) දෙවිගේ බලයෙන් ලියැවී තිබෙන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් නොසලකා හරින විට දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය පලුදු වෙනවා. පූජකයන් හා ගිහියන් ලෙස බෙදීමක් ඇති වී තිබෙන්නේත් එහි ප්‍රතිඵලයක් ලෙසයි. දැන් අප එසේ පැවසීමට හේතු හයක් සලකා බලමු.

1. පූජකයන් කියා වෙනම කොටසක් සිටිනවා නම් ඔවුන්ට දෙවිගේ සේවකයන් ලෙස විශේෂ කැඳවීමක් ලැබී තිබෙන බව ඉන් අඟවනවා. නමුත් බයිබලයේ සඳහන් වන්නේ සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම දෙවිට සේවය කළ යුතු බව හා ඔහුගේ නාමයට ප්‍රශංසා කළ යුතු බවයි. (රෝම 10:9, 10) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින පුරුෂයන්ට දිරිගන්වන්නේ සභාවල වැඩි සේවයක් කිරීමටයි.—1 තිමෝති 3:1.

2. පූජකයන් හා ගිහියන් අතර බෙදීමක් තිබෙන නිසා පූජක පන්තියට පදවි නාම දෙමින් ඔවුන්ව ගෞරවයට පත් කිරීමට මනුෂ්‍යයන් පෙලඹී තිබෙනවා. එහෙත් යේසුස් පැවසුවේ “සුළු තැනැත්තෙකු මෙන් හැසිරෙන්නා උතුම් තැනැත්තා වන්නේය” කියායි. (ලූක් 9:48) එම උපදෙසට එකඟව යේසුස් තම අනුගාමිකයන්ට පැවසුවේ ආගමික පදවි නාමවලින් එකිනෙකාව අමතන්න එපා කියායි.—මතෙව් 23:8-12.

3. පූජකයන්ට ගෙවීමක් කිරීමට සිදු වෙනවා නම් එය ගිහියන්ට විශාල බරක්. විශේෂයෙන්ම පූජකයන් සැපවත් ජීවිතයකට හුරු වී සිටින නිසා එය බරක් වීමට පුළුවන්. නමුත් ක්‍රිස්තියානි සභාවල සිටින වගකීම් දරන පුරුෂයන් ජීවත් වීම සඳහා රැකියාවක නිරත වන අතර ඔහු අන් අයටද කදිම ආදර්ශයක්. *ක්‍රියා 18:1-3; 20:33, 34; 2 තෙසලෝනික 3:7-10.

4. පූජකයන් තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා පල්ලි සාමාජිකයන් මත යැපෙන විට එම සාමාජිකයන්ගේ රුචි අරුචිකම් අනුව බයිබල් සත්‍යයන් වෙනස් කිරීමට පෙලඹිය හැකියි. මෙවැනි දෙයක් සිදු විය හැකි බව බයිබලයේ පවසා තිබෙනවා. “ඔවුන් සුවදායී ඉගැන්වීම පිළි නොගන්නා කාල පරිච්ඡේදයක් පැමිණෙන්නේය. ඔවුහු ඔවුන්ගේම ආශාවලට අනුව, තමුන් කැමති දේවල් අසාගන්නා පිණිස තමන්ටම ගුරුවරුන් රැස් කරගන්නෝය.”—2 තිමෝති 4:3.

5. පූජකයන් හා ගිහියන් ලෙස බෙදීමක් තිබෙන නිසා ආගම පිළිබඳ කාරණා ගැන හොඳ අවබෝධයක් තිබිය යුත්තේ පූජක පන්තියට පමණක් කියාත් ගිහියන්ගේ වගකීම පූජා මෙහෙයන්ට සහභාගි වීම පමණක් කියාත් ගිහියන් නිගමනය කරනවා. නමුත් සියලු ක්‍රිස්තියානීන් බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන පූර්ණ අවබෝධයක් ලබාගනිමින් දෙවිට ළං විය යුතුයි.—මතෙව් 4:4; 5:3.

6. ගිහියන්ට බයිබලය පිළිබඳ නිවැරදි දැනුමක් නැති විට පූජකයන් දෙන වැරදි මඟ පෙන්වීම් පවා පිළිගන්න ඔවුන් පෙලඹිය හැකියි. එවැනි ක්‍රියා පිළිබඳ වාර්තා ඉතිහාසය පුරා සොයාගන්න පුළුවන්. *ක්‍රියා 20:29, 30.

බයිබලයේ සඳහන් මඟ පෙන්වීම්වලට අනුකූලව කටයුතු කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල පූජක පන්තියක් නැහැ. ඔවුන් අතර සිටින්නේ තම කැමැත්තෙන්ම දෙවිගේ සෙනඟව රැක බලාගනිමින්, තම සේවය නොමිලේ පිරිනමන ගුරුවරුන් වැනි අයයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම් පවත්වන ස්ථානයකට ගොස් ඔවුන් ගැන සොයා බලන්න කියා අප ඔබට ආරාධනා කරන්න කැමතියි.

[පාදසටහන්වල]

^ 13 ඡේ. පළමුවන ශත වර්ෂයේදී සභාවෙන් සභාවට ගොස් සේවය කළ සමහර අවේක්ෂකයන් “ශුභාරංචිය මාර්ගයෙන් ජීවිකාව ගෙන” ගිය බව පවසන්නේ ඔවුන්ට වෙනත් අය කැමැත්තෙන්ම දෙනු ලැබූ ආගන්තුක සත්කාර හා සම්මාදම් නිසයි.—1 කොරින්ති 9:14.

^ 16 ඡේ. මුදල් දීමෙන් මළවුන්ව ශුද්ධ ගිනි ස්ථානයෙන් ස්වර්ගයට යැවිය හැකි බව පැවසීම, පූජකයන්ගේ අධිකාරිය හා ගිහියන්ගේ අතට බයිබලය පත් වීම වැළැක්වීම සඳහා ඒවා පිලිස්සීම මේවාට කදිම උදාහරණයි. මෙම සඟරාව සමඟ බෙදාහරින මුරටැඹ සඟරාවේ 2002 නොවැම්බර් 15වෙනිදා කලාපයේ 27වන පිටුව බලන්න.

මේ ගැන ඔබ සිතුවාද?

▪ දෙවිගේ සේවකයන් සියලුදෙනාම එකිනෙකාට සැලකිය යුත්තේ කෙසේද?—මතෙව් 23:8.

▪ ක්‍රිස්තියානි සභාව රැකබලා ගැනීම සඳහා කෙනෙකුට තිබිය යුතු සුදුසුකම් මොනවාද?—1 තිමෝති 3:1-7.

▪ ගිහි පූජක සැලැස්මට දෙවි ආශීර්වාද නොකරන්නේ මන්ද?—1 කොරින්ති 4:6.

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

පූජකයන් මෙන් නොව යේසුස් කටයුතු කළේ නිහතමානී කෙනෙකු ලෙසයි