Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි ඔබේ දරුවන්ට මඟ පෙන්වන්න

දෙමාපියෙනි ඔබේ දරුවන්ට මඟ පෙන්වන්න

දෙමාපියෙනි ඔබේ දරුවන්ට මඟ පෙන්වන්න

‘මීට කලින් නම් අපේ කනස්සල්ලට හේතු වී තිබුණේ දරුවන් වැඩි වේලාවක් රූපවාහිනිය නරඹන එක ගැනයි. නමුත් දැන් වීඩියෝ ක්‍රීඩා, පරිගණක හා ජංගම දුරකථන ගැනත් සැලකිලිමත් වෙන්න සිදු වෙලා. ඔවුන් ඒවායින් අහන දකින දේවල්වලට කොයි තරම් පුරුදු වෙලාද කියනවා නම් ඒවා දවසක නැතුව ගියොත් ඒ වෙනුවට කරන්නේ මොනවාද කියා ඔවුන් දන්නේ නැහැ.’—මාලි මෑන්.

අද දින සංනිවේදන තාක්ෂණය දියුණු මට්ටමක පවතින නිසාත් අන්තර්ජාල පහසුකම් නිසාත් ලෝකයේ සිදු වන සෑම දෙයක්ම ඉක්මනින් දැනගන්න අපට හැකියි. එමෙන්ම ඒ සඳහා ඇති නවීන සංනිවේදන උපකරණද ඉතා අඩු මුදලකට මිල දී ගත හැකියි. ඒ නිසා යෞවනයන් බොහෝදෙනෙකු ළඟ එවැන් උපකරණ තිබෙන අතර වැඩිදෙනෙක් ගෙදරින් පිට වන්නේ ජංගම දුරකථනය අතැතිවයි. දෙමාපියන්ට තම දරුවන්ව අධීක්ෂණය කිරීමට, පුහුණු කිරීමට හා හික්මවීමට එය විශාල අභියෝගයක් වී තිබෙනවා.

නමුත් එය ජය ගැනීමට නම් දෙමාපියන් වැදගත් කරුණු දෙකක් තේරුම්ගත යුතුයි. පළමුවැන්න නම් බයිබලයේ සඳහන් මෙම ප්‍රකාශයේ ඇති සත්‍යතාවය වටහාගැනීමයි. “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත. හික්මවීම නමැති වේවැල මගින් එය දුරු කළ හැකිය.” (හිතෝපදේශ 22:15, නව ලොව පරිවර්තනය, NW) දෙවැන්න නම් සංනිවේදන උපකරණ ඔබගේ දරුවාගේ යහපතට හෝ අයහපතට හේතු විය හැකි බව අවබෝධ කරගැනීමයි. එමෙන්ම ඒවා ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි ආකාරය ඔවුන්ට පෙන්වා දෙන්න.

මුල් අවදියේදීම පටන්ගන්න

දරුවන් කුඩා කල පටන් දකින තාක්ෂණික උපකණය නම් රූපවාහිනියයි. බොහෝ දෙමාපියන් ගෙදර දොරේ වැඩකටයුතු කරගැනීම සඳහා දරුවන්ව බලාගැනීමට භාර දෙන්නේ රූපවාහිනියටයි. ඒ ගැන විශේෂඥයන් මෙසේ පවසනවා. “කුඩා දරුවන් බොහෝ වේලාවක් රූපවාහිනිය නැරඹීම නිසා ඔවුන් කම්මැලි වීමටත් සිහින ලෝකයක ජීවත් වීමටත් ඉඩ තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන කටයුතුවලට නිසි අවධානයක් දීමට නොහැකි වීම හා මානසික ගැටලුවලටද එය හේතු විය හැකියි. එවැනි දරුවන් වෙනත් මානසික රෝගවලින් පෙළෙන බව සමහර වෛද්‍යවරුන් වරදවා වටහාගෙන තිබෙනවා.” එමනිසා වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදෙන්න කියා සමහර බලධාරීන් නිර්දේශ කර තිබෙනවා.

“ළදරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු දෙක තුළ ඉතා වැදගත් දෙයක් සිදු වෙනවා. එනම් ඔහු තම දෙමාපියන් සමඟ ඉතා කිට්ටු බැඳීමක් ඇති කරගන්නේ ඒ කාලයේදීයි” කියා වෛද්‍ය කෙනත් ගින්ස්බර්ග් පවසනවා. එවන් බැඳීමක් ඇති වන්නේ දෙමාපියන් ඔවුන් සමඟ කතා කරන විට, සෙල්ලම් කරන විට හා ඔවුන්ට ඇසෙන සේ කියවන විටයි. එය ඔවුන්ගේ කියවීමේ ආශාව වර්ධනය කිරීමටද දායක වෙනවා.

පරිගණකය හා වෙනත් තාක්ෂණික උපකරණ ගැන දැනුවත් වීම දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් බව ඇත්තයි. නමුත් ඔබේ දරුවා පරිගණකයට, පරිගණක ක්‍රීඩාවලට හා අන්තර්ජාලය භාවිත කිරීමට අසාමාන්‍ය ආශාවක් දක්වයි නම් ඔබට ඒ ගැන කුමක් කළ හැකිද? නිර්මාණශීලි හැකියාව වර්ධනය කරගැනීම සඳහා ඔහුට අලුත් යමක් හඳුන්වා දීමට හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙනගන්න කියා ඔහුව දිරිගන්වන්න ඔබට පුළුවන්. එමගින් ඉගෙනගැනීමට ඔහු තුළ තිබෙන ආශාව තවත් වැඩි කිරීමට ඔබට හැකියි.

හොඳින් තෝරා බේරාගත් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අත්‍යවශ්‍ය ගුණාංග වන ඉවසීම හා අධිෂ්ඨානය මෙන්ම නිර්මාණශීලි හැකියාවන්ද වර්ධනය කරගැනීමට ඔවුන්ට හැකියි.

‘ප්‍රඥාව හා සිතීමේ හැකියාව’ වර්ධනය කරගැනීමට උපකාර කරන්න

වැඩිහිටියන් හා බාලයන්ට බයිබලයේ උනන්දු කර තිබෙන්නේ ඔවුන්ගේ “කල්පනා ශක්තිය” හෙවත් සිතීමේ හැකියාව වර්ධනය කරගන්න කියායි. (රෝම 12:1; හිතෝපදේශ 1:8, 9; 3:21) ඒ තුළින් අපට හරි දේ සහ වැරදි දේ කුමක්ද කියා පමණක් නොව ඥානවන්ත දේ සහ අඥාන දේ කුමක්ද කියාත් අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙනවා. උදාහරණයකට මෙසේ සිතන්න. පැය ගණනාවක් පුරා රූපවාහිනිය නැරඹීම හෝ පරිගණක ක්‍රීඩාවල යෙදීම වැරදි දෙයක් නොවෙයි. නමුත් එය ඥානවන්ත ක්‍රියාවක්ද? නවීනතම ජංගම දුරකථනයක් මිල දී ගැනීම වැරදි දෙයක් නොවෙයි. නමුත් එය ඥානවන්ත ක්‍රියාවක්ද? එවන් උපකරණ භාවිතය සම්බන්ධයෙන් ඥානවන්ත තීරණ ගැනීමට ඔබේ දරුවාට උපකාර කළ හැකි ආකාරය ගැන සිතා බලන්න.

අනතුරු අවබෝධ කර දෙන්න. තාක්ෂණික උපකරණ හා අන්තර්ජාලය පිළිබඳ බොහෝ දේ දරුවන් ඉක්මනින් ඉගෙනගත හැකියි. නමුත් ඔවුන්ට ප්‍රඥාව හා අද්දැකීම් අඩු නිසා අනුවණ තීරණ ගැනීමට ඉඩ තිබෙනවා. එමනිසා එවන් දෑ භාවිතයෙන් ඇති විය හැකි අනතුරු හා ඒවා මඟ හරවාගත හැකි ආකාරයද ඔවුන්ට උගන්වන්න. උදාහරණයකට අන්තර්ජාලය හරහා මිතුරන් ඇති කරගැනීමේ ඇති භයානක පැත්ත පෙන්වා දෙන්න ඔබට පුළුවන්. එවන් වෙබ් අඩවිවලට පිවිසෙන යෞවනයන් අලුත් යාළුවන් ඇති කරගැනීමට තමන් ගැන තොරතුරු හෙළිකරනවා. නමුත් එවන් වෙබ් අඩවි කාමාතුරයන්ගේ හා වැරදි චේතනා තිබෙන වෙනත් පුද්ගලයන්ගේ තෝතැන්නක් බව ඔවුන්ට පහදා දෙන්න. * (1 කොරින්ති 15:33) එමනිසා තමන්ගේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ නොකරන්න කියා ඥානවන්ත දෙමාපියන් තම දරුවන්ට උගන්වනවා. *

දරුවන්ටත් යම් පෞද්ගලිකත්වයක් තිබෙන බව ඇත්තයි. නමුත් දෙමාපියන් හැටියට ඔවුන්ව පුහුණු කිරීමටත් අධීක්ෂණය කිරීමටත් යෙහෝවා දෙවි ඔබට අධිකාරියක් මෙන්ම වගකීමක් පවරා තිබෙනවා. (හිතෝපදේශ 22:6; එෆීස 6:4) ඔබ එසේ කරන විට එය ඔවුන්ගේ නිදහසට බාධා කිරීමක් ලෙස නොව ප්‍රේමණීය සැලකිල්ලක් ලෙස දරුවන් තේරුම්ගනියි.

“ඒ වුණත් දරුවන් භාවිත කරන නවීන උපකරණ ගැන මට අවබෝධයක් නැති නිසා ඔවුන් කරන දේවල් ගැන හොයලා බලන්නේ කොහොමද” කියා ඔබට සිතෙන්න පුළුවන්. සම්පූර්ණ අවබෝධයක් ලබාගත නොහැකි වුණත් ඒවා පිළිබඳ මූලික දැනුම ලබාගන්න උත්සාහ කරන්න. අනූගණන්වල පසුවන මෙල්බා නමැති කාන්තාව වයස අවුරුදු 80ක් ගත වන තුරුම පරිගණකයක් භාවිත කර තිබුණේ නැහැ. ඒ ගැන දැන් ඇය මෙසේ පවසනවා. “මුල් වතාවට මම ඒක පාවිච්චි කරන්න ගත්තාම ඒක අල්ලලා විසි කරන්න මට හිතුණා. ඒ වුණත් මාසයක් දෙකක් අමාරුවෙන් මම ඒ ගැන ඉගෙනගත්තා. ඊ-මේල් යවන්න වගේම තවත් පොඩි පොඩි දේවල් කරන්න දැන් මට පුළුවන්.”

සාධාරණ සීමාවන් පනවන්න. ඔබේ දරුවා තනිවම රූපවාහිනිය නැරඹීමට, අන්තර්ජාලය භාවිත කිරීමට හෝ පරිගණක ක්‍රීඩා කිරීමට පැය ගණනාවක් ගත කරනවා නම් ඔබට කුමක් කළ හැකිද? ඒ සම්බන්ධයෙන් යම් සාධාරණ සීමා පැනවීම ගැන සිතා බලන්න. ඒ තුළින් බයිබලයේ සඳහන් “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” යන ප්‍රතිපත්තියෙහි ඇති වටිනාකම තේරුම්ගැනීමට ඔබගේ දුවට හෝ පුතාට හැකි වෙයි. (දේශනාකාරයා 3:1NW) ඉන් අදහස් කරන්නේ පවුලක් හැටියට එකට දේවල් කරන්න, මිතුරන්ව ඇසුරු කරන්න, පාසැලේ දෙන පැවරුම් ඉටු කරන්න, කන්න බොන්න හා ව්‍යායාම් කිරීම වැනි දේවලට නියමිත කාලයක් තිබෙන බවයි. එසේ පවුලක් තුළ සාධාරණ නීතිරීති පැනවීම ඉතා ප්‍රයෝජනවත්. ඒ තුළින් පවුල් බැඳීම ශක්තිමත් වන අතර ආචාරසම්පන්නව කටයුතු කිරීමටද දරුවන් ඉගෙනගනියි.

මෙම ලිපි මාලාවේ අවසාන ලිපියෙහි අපි සාකච්ඡා කරන්නේ තාක්ෂණය භාවිත කිරීමේදී අප සියලුදෙනාට උපකාරවත් වන ප්‍රතිපත්ති කිහිපයක් ගැනයි. එනම් අන් අය ගැන සැලකිල්ලක් දක්වන අතරතුර කාලය හා මුදල් ගැනද සැලකිලිමත් වන ආකාරය ගැනයි.

[පාදසටහන්වල]

^ 12 ඡේ. යෞවනයන්ට උපකාර කිරීම සඳහා දෙමාපියන්ට ප්‍රයෝජනවත් තොරතුරු පහත සඳහන් පිබිදෙව්! කලාපවල පළ වී තිබෙනවා. ඒ සඳහා 2008 ඔක්තෝබර් කලාපයේ පළ වූ “දරුවා අන්තර්ජාලය භාවිත කරනවා නම් ඔබ දැන සිටිය යුතු දේ” යන ලිපිය සහ 2007 මාර්තු හා දෙසැම්බර් මෙන්ම 2008 ජනවාරි කලාපද බලන්න.

^ 12 ඡේ. සමහර යෞවනයන් තමන්ගේම අසභ්‍ය ඡායාරූප ජංගම දුරකථන හරහා තම මිතුරන්ට යවනවා. ඔවුන් ඒවා තවත් මිතුරන්ට යවනවා. එම ක්‍රියාව ඉතා පහත් දෙයක් මෙන්ම අනුවණ දෙයක්.

[7වන පිටුවේ පින්තූරය]

දරුවන් තම අවබෝධය පුළුල් කරගන්නේත් ඉවසීම හා අධිෂ්ඨානය වැනි ගුණාංග වර්ධනය කරගන්නේත් විවිධ ක්‍රියාකාරකම්වල හවුල් වන විටයි