Skip to content

පටුනට යන්න

බොලිවියාවේ සැඟවුණු සුන්දරත්වය

බොලිවියාවේ සැඟවුණු සුන්දරත්වය

බොලිවියාවේ සැඟවුණු සුන්දරත්වය

වර්ෂ 1906දී බ්‍රිතාන්‍යයයේ රාජකීය භූ ගෝලීය විද්‍යා ආයතනයේ සභාපති සහ කර්නල් පර්සි හැරිසන් ෆොසෙට් අතර දකුණු ඇමරිකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳව සාකච්ඡාවක් පැවතුණා. සභාපති, ෆොසෙට් ඉදිරියට සිතියමක් දික් කරමින් මෙසේ පැවසුවා. “බලන්න මේ ප්‍රදේශය දිහා! මෙහි අප නොදන්නා ස්ථාන තව කොච්චර තියෙනවාද?” ඉන්පසුව ඔහු ඒ ප්‍රදේශය ගැන ගවේශනය කිරීමේ පැවරුම ෆොසෙට්ට භාර දුන්නා.

ඝන වනාන්තරයෙන් ගහණ වූ කඳු බෑවුම් සහිත බොලිවියාවේ වාන්චාකා සානුව ගැන ෆොසෙට් තම කෘතියේ මනාව විස්තර කර තිබෙනවා. ඔහු එම ප්‍රදේශය හැඳින්වූයේ ‘සැඟවුණු ලෝකය’ යන අර්ථය ඇති නමකිනුයි. * සමහරුන් විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍යයයේ ජනප්‍රිය ලේඛකයෙක් වූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් රචනා කළ භයානක ඩයිනෝසරයන් වෙසෙන මිථ්‍යා ලෝකයක් පිළිබඳ නව කතාව වන ද ලොස්ට් වර්ල්ඩ් රචනා කිරීමට පාදක වූයේ ෆොසෙට් වාර්තා කළ තොරතුරු සහ ඡායාරූප බවයි. වර්තමානයේ නොයෙල් කෙම්ප්ෆ් මර්කාඩෝ ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ ඇමසෝනියාවට අයත් බොලිවියාවෙයි. එය වර්ෂ 2000දී ලෝක උරුමයක් ලෙස නම් කළා. *

බොලිවියාවේ ඊසාන දිගින් මෙන්ම බ්‍රසීලයේ දේශසීමාවට සමාන්තරව පිහිටා තිබෙන මෙම උද්‍යානයට අයත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 15,000කට වඩා වැඩියි. එමෙන්ම ඊට විවිධත්වයකින් යුත් පරිසර පද්ධති පහක් ඇතුළත්. ඒවා නම් උස්බිම් සහිත සදාහරිත වනාන්තර, පතනශීලි වනාන්තර, උස්බිම් සහිත වියළි ප්‍රදේශ, තෙත් බිම් හා වගුරු බිම් සහිත වනාන්තරයි. වාන්චාකා සානුවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 5,180ක් පමණ වන අතර එය තැනිතලාවේ සිට අඩි 1,800ක් පමණ උසයි. එමෙන්ම එහි දිග කිලෝමීටර් 150ක් පමණ වන අතර එය මෙම උද්‍යානයේ නැඟෙනහිර සීමාවට සමාන්තරව දිව යයි. මෙම සානුවේ සිට ගංඟා කිහිපයක් පටන්ගන්නා අතර සානුව අවට ප්‍රදේශයේ තිබෙන දිය ඇළි 20ක් පමණ පෝෂණය වන්නේ එහි ජලයෙනුයි. එම දිය ඇළි අතරට සැල්ටෝ සුසානා, ආකෝ අයිරිස්, ෆෙඩරිකෝ ආල්ෆල්ඩ්, ජෙමිලාස් සහ එල් එන්කන්ටෝ යන දිය ඇළිද අයත්.

අපේ ගමනේ සුලමුල

මෙම වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ ජනගහනයෙන් තොර ප්‍රදේශයක නිසා එය ආරක්ෂා වී තිබෙනවා. මෙය පරිසර හිතකාමීන්ගේ නෙත් සිත් ඇදගන්නා ස්ථානයක්. බොහෝදෙනා මෙහි පැමිණෙන්නේ ගුවනින්. ඒ බොලිවියාවේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි සැන්ටා කෲස්වල සිටයි. නමුත් අපි නම් ඒ කිලෝමීටර් 700 වාහනයෙන් ගමන්ගත් නිසා බොලිවියාවේ පිටිසර ප්‍රදේශත් හොඳින් දැක බලා ගන්න පුළුවන් වුණා. අපි මෙසේ ඉදිරියට යද්දී එක් ගහක විවිධ වර්ණයෙන් යුත් කොළ සෙලවෙන්නාක් මෙන් දිස් වුණා. නමුත් අපි තවත් ආසන්නයට යද්දී ඒ සමනල්ලු රංචුවක් බව අපි තේරුම්ගත්තා. උන් දෙස බලා සිටියේ අපි විතරක් නෙවෙයි. බඩගිනි කටුස්සන් කිහිපදෙනෙක්ද උන්ව තම ගොදුර කරගන්න මාන බලමින් සිටියා.

අපි වනෝද්‍යානයට පැමිණි විට පැරගුවේ ගඟ ආශ්‍රිත ගම්මානයක් වන ලා ෆ්ලොරිඩාවලදී අපේ මඟ පෙන්වන්නා වන ගීඩෝ අපට මුණ ගැසුණා. ඔහු අපිවත් අපේ වාහනයත් පාරුවකින් එගොඩට අරගෙන ගියා. එතැන් සිට අපි අපේ නවාතැන තියෙන ලොස් ෆේරොස්වලට වාහනයෙන් පිටත් වුණා. මඟදී අපි හිවලෙක් දැක්කා. ඊට පස්සේ පුංචි බිම් බස්සෙකුට සමාන කුරුල්ලෙක් හෙමිහිට පාර මාරුවෙනවාත් අපි දැක්කා.

එදා රාත්‍රියේ සුව නින්දකින් පසුව උදෑසන අපි අවදි වුණේ නිල් සහ කහ පැහැති මැකෝ ගිරවුන් හතරදෙනෙකුගේ ඝෝෂාකාරී ශබ්දයටයි. එය හරියට “ඔබව සාදරයෙන් පිළිගනිමු” කියා පවසනවා වගේ අපිට දැනුණා. උදෑසනම අපිට ලැබුණු එම පිළිගැනීම නිසා ඉදිරියට තවත් රසවත් දේවල් අත්විඳින්න ලැබෙයි කියා අපට සිතුණා.

සත්ව පාරාදීසයක්

නොයෙල් කෙම්ප්ෆ් මර්කාඩෝ ජාතික වනෝද්‍යානයේ කුරුලු විශේෂ 600කට වැඩියෙනුත්, ක්ෂීරපායි සත්ව විශේෂ 139කුත් (උතුරු ඇමරිකාවේ සිටින සියලු ක්ෂීරපායින්ට වඩා වැඩියෙන්), උරගයන් වර්ග 74කුත් ජීවත් වෙනවා. එමෙන්ම සමනල්ලු විශේෂ 3,000ක් පමණ එහි ජීවත් වන බවත් ගණන් බලා තිබෙනවා. එහි වෙසෙන කෘමීන් වර්ග සංඛ්‍යාව නොකිවමනායි. කුරුලු වර්ග අතරින් ගිරවුන් වර්ග 20කට වැඩි සංඛ්‍යාවකුත්, දැවැන්ත උකුස්සන් හා වෙනත් කුරුලු විශේෂද එහි දැකගත හැකියි. කුරුල්ලන් සංරක්ෂණය කිරීමේ කාර්යයේ නියුතු නික් ආකිසන් අපිට පැවසුවේ ‘මෙහි ඉතා දුර්ලභ ගණයේ කුරුල්ලන් සිටින නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවලින් කුරුල්ලන් ගැන උනන්දුවක් දක්වන අය මෙහි පැමිණෙනවා’ කියායි.

එහි වාසය කරන බොහෝ ක්ෂීරපායින් අතර විශාල ඈයන්, වෘකයන්, දිවියන්, ටැපියර් ලෙස හඳුන්වන සොඬ ඌරන් හා මුවන් දැකගත හැකියි. එමෙන්ම වනෝද්‍යානය වටා ඇති ගංඟාද විවිධ ජීවීන්ගෙන් පිරී පවතිනවා. එහි උභයජීවීන් වර්ග 62ක්, මසුන් වර්ග 254ක්, කිඹුලන්, විශාල දිය බල්ලන් සහ අලංකාර ඩොල්ෆින් මසුන්ද දැකගත හැකියි. ඇත්තෙන්ම මෙම වනෝද්‍යානය පරිසර හිතකාමීන්ට නම් පාරාදීසයක්!

නමුත් ඇමසෝනියාවේ වෙසෙන බළල් පවුලට අයත් විශාල සතුන් නිසා බොහෝ සංචාරකයන් බියෙන් පසු වෙනවා. අපටත් එය දැනුණා. අපි නවාතැන් ගත් ස්ථානයේ පරිපාලක, ඔහු මෙහි ගත කළ පළමු රාත්‍රිය ගැන අපට මෙසේ පැවසුවා. “මම මහ රෑ එකපාරටම ගැස්සිලා ඇහැරුණා. මගේ දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා මට තේරුණා. ජනේලයෙන් එළිය බලද්දී මම දැක්කා දිවියෙක් මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒක වීදුරු ජනේලයකුත් නෙවෙයි. ඒක ආවරණය කරලා තිබුණේ නිකම්ම නිකම් මදුරු දැල් කෑල්ලකිනුයි. මම කොච්චර භය වුණාද කියනවා නම් මම නාන කාමරයට දුවලා එළිවෙනකං දොර වහගෙන හිටියා.” ඒක අහලා අපි තවත් භය වුණා.

නමුත් පසුව ඔහු මෙහෙමත් කිව්වා. “මේ දිවියා රාත්‍රි කාලයේදී නිතරම වගේ නවාතැන කිට්ටුවට එනවා කියලත් උගෙන් අපිට හානියක් නැහැයි කියලත් පස්සේ මම තේරුම්ගත්තා. ඒ වගේම රස්නෙ දවස්වල රෑට ඌ අපේ නවාතැනේ ටයිල් පොළොවේ සීතලට වැතිරිලා ඉන්නවා කියලත් මම දැනගත්තා. ඒ වගේ දෙයක් මෙතැනට එන අලුත් කෙනෙකුට නම් ත්‍රාසය ඇති කරන දර්ශනයක්! ඉස්සර නම් අපි රාත්‍රියේ සංචාරය කරද්දී තුවක්කුවක් අරගෙනයි යන්නේ. දැන් නම් එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුව සතුන් වෙනස් වෙලා නිසා නෙවෙයි, අපි සතුන් ගැන හිතපු විදිහ වෙනස් කරගත් නිසයි.” ඒ කොහොමවුණත් කැලේ සතුන් සියලුදෙනාටම හොඳින් සලකන්න කියා ඔහු අපිට උපදෙස් දුන්නා.

එල් එන්කන්ටෝ දිය ඇල්ල සොයා

මෙහි ඇති බොහෝ දිය ඇළි ඉතා සිත්ගන්නා සුළුයි. අපි ගීඩෝ සමඟ එල් එන්කන්ටෝ දිය ඇල්ල බලන්න උදෙන්ම පිටත් වුණා. වාන්චාකා සානුවෙන් පටන් ගන්නා එය අඩි 262ක් උසයි. අපි කිලෝමීටර් හයක් පමණ ඝණ වනාන්තරය මැදින් ගියාට පසුව අපිට වඳුරු විශේෂ දෙකක් (spider monkeys, howler monkeys) දැකගන්න ලැබුණා. එක් වර්ගයක වඳුරන්ගේ අත පය හරිම දිගයි. අනික් වර්ගය විශාල ශබ්දයක් නිකුත් කරනවා. එය කිලෝමීටර් තුනක් දක්වා පැතිර යනවා. අපි ඉදිරියට යද්දී තවත් කුරුලු විශේෂ දෙකක් උන්ගේ උදෑසන ආහාරය සොයමින් සිටිනවා දැක ගන්න ලැබුණා. ඒ අතර අසල තිබූ ගං ඉවුරක සතුන්ගේ අඩි සලකුණු ගීඩෝ අපිට පෙන්නුවා. ඒවා මුවන් වර්ග දෙකකගේ, සොඬ ඌරන්ගේ, දිවියෙකුගේ සහ අඳුන් දිවියෙකුගේ බව ඔහු පළපුරුද්දෙන් අපිට කිව්වා. අපි මහ කැලය අතරින් යද්දී බොහෝ සතුන් සැඟවී අප දෙස බලා සිටින බව අපිට තේරුණා. දවල් රෑ දෙකේම කොහේ බැලුවත් ජීවීන් නැති තැනක් නැති තරම්! අපිට දැනුණේ මුළු කැලෑවටම පණ තියෙනවා වගෙයි.

මෙම වනෝද්‍යානයේ තිබෙන විවිධ ගස් කොළන්, භූමියේ පිහිටීම හා ස්වභාවික වාසස්ථාන නිසා සතුන්ට සැඟවීමට ඕනෑ තරම් ස්ථාන තිබෙනවා. ගණන් බලා ඇති ආකාරයට මෙහි ඕකිඩ් වර්ග 100ක්, මීවන වර්ග, බ්‍රොමිලියාඩ් වර්ග (කටු සහිත කොළ ඇති ශාක) හා වැල් වර්ග ඇතුළු ශාක වර්ග 4,000ක් පමණ තිබෙනවා. අවට පරිසරයේ ඇති විවිධ වර්ණයන් හා සුළඟ සමඟ මුසු වී හමා ආ මල් සහ පලතුරුවල සුවඳ අපගේ ගතටත් මනසටත් නැවුම් ප්‍රබෝධයක් ලබා දුන්නා. බැලූ බැලූ අත ගස් වැල් පලතුරුවලින් බර වෙලා!

අවසානයේදී අපි දිය පාරකින් එගොඩ වූ අතර ඈතින් අපට දිය ඇල්ලක ශබ්දයක් ඇසෙන්න පටන්ගත්තා. අපි ඉදිරියට ඇදෙනවාත් සමඟ එහි ශබ්දයත් එන්න එන්නම වැඩි වුණා. ඉන්පසුව අපි එකවරම එළිපෙහෙළි කළ ප්‍රදේශයකට පැමිණියා. දැන් අප ඉදිරියේ දිස්වන්නේ ඒ තේජවත් එල් එන්කන්ටෝ දිය ඇල්ලයි. එහි පහත කොටස මීදුමෙන් වැහිලා. දිය ඇල්ල පාමුල විශාල ගල්වලින් වට වී පොකුණක් නිර්මාණය වී ඇති අතර එම ගල් මීවන හා බ්‍රොමිලියාඩ් ශාකවලින් අලංකාර වී තිබෙනවා. එතනදී ගීඩෝ අපිට මෙහෙම කිව්වා. “රස්නෙ දවස්වලට වඳුරෝ ඇවිල්ලා මේකේ බැහැලා නානවා.” ඒක නම් හොඳ අදහසක් නිසා අපිත් බැහැලා නෑවා. ඒ අතරතුරේ අපි මෙම අලංකාර වන ලැහැබේ සුන්දරත්වය විඳිමින් කඩා හැලෙන ජලධාරාවේ සෞම්‍ය හඬට සවන් දෙමින් සිටියා.

වනෝද්‍යානයේ සංරක්ෂණය

මෙහි සංරක්ෂණය වෙනුවෙන් කැපවී කටයුතු කළ නොයෙල් කෙම්ප්ෆ් මර්කාඩෝ 1986දී මිය ගියා. ඒ වුණත් එහි කටයුතු තවමත් එලෙසම සිදු වෙනවා. මෑතකදී එනම් 1996දී බොලිවියා රජය සහ ඇමරිකාව එක්ව වැසි වනාන්තර අක්කර මිලියන 2.2ක් සංරක්ෂණය කිරීමටත් පෘතුවියේ උෂ්ණත්වය ඉහළ දමන අහිතකර වායූ අවම කිරීමටත් එකඟතාවයකට පැමිණියා. ඊළඟ අවුරුද්දේදී බොලිවියා රජය හා බලශක්ති සමාගම් තුනක් එක් වී නොයෙල් කෙම්ප්ෆ්ගේ නමින් පරිසර සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඊට අමතරව වනාන්තර අක්කර මිලියන 2.2ක ගස් කැපීම තහනම් කිරීමද එහි ප්‍රතිඵලයක්. එම ප්‍රදේශයත් වනෝද්‍යානයට එකතු කිරීම නිසා එහි විශාලත්වය දෙගුණ වී තිබෙනවා.

අපගේ මෙම සංචාරය නිසා මිහිමත ඇති විවිධත්වයෙන් යුත් බොහෝ අලංකාර නිර්මාණ දැකීමට අපට අවස්ථාව ලැබුණා. ඒ තුළින් ඒවායෙහි නිර්මාතෘ කෙරෙහි අපගේ අගය තවත් වැඩි වුණා. බයිබලයේ ඒ ගැන පවසන මෙම වදන් මොන තරම් සත්‍යයද! “යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.” (ගීතාවලිය 104:24, නව ලොව පරිවර්තනය) එම පිවිතුරු වන ලැහැබේ ගමන් කරද්දී ඊට කිසිදු හානියක් නොවන්නට අපි වගබලා ගත්තා. ඒ වගේම එහි සුන්දරත්වය භුක්ති වින්දත් අපගේ කැමරාවලට හසු කරගත් ඡායාරූප හා හදවතේ තැන්පත් කරගත් මතක සටහන් හැරෙන්නට ඉන් වෙන කිසිවක් රැගෙන නොඑන්න අපි වගබලා ගත්තා.

[පාදසටහන්වල]

^ 3 ඡේ. ෆොසෙට් තම සංචාරය පිළිබඳව 1925 මැයි මාසයේදී තම භාර්යාවට ලිපියක් ලියූ අතර එය ඔහු ඇය සමඟ අදහස් හුවමාරු කරගත් අවසන් වතාවයි. ඔහුගේ අතුරුදහන් වීම තවමත් අභිරහසක්.

^ 3 ඡේ. වර්ෂ 1979දී නිර්මාණය කළ එම උද්‍යානය මුලින්ම නම් කළේ වාන්චාකා ජාතික වනෝද්‍යානය ලෙසයි. නමුත් භූ විද්‍යාඥ නොයෙල් කෙම්ප්ෆ් මර්කාඩෝට ගෞරව පිනිස එය 1988දී ඔහුගේ නමින් නම් කළා. මත්ද්‍රව්‍ය නිපදවන ස්ථානයක් මෙම ඝන වනාන්තරයේදී ඔහුට අහම්බෙන් හමු වූ අතර එහි ජාවාරම් කරුවන් විසින් මර්කාඩෝව එම ප්‍රදේශයේදීම ඝාතනය කළා.

[16වන පිටුවේ පින්තූරය]

දම් සහ රතු පාට හුරු ඕකිඩ්

[16, 17වන පිටුවේ පින්තූරය]

වනෝද්‍යානය තුළ ඇති ආල්ෆල්ඩ් දිය ඇල්ල

[17වන පිටුවේ පින්තූරය]

මැකෝ ගිරවුන්

[17වන පිටුවේ පින්තූරය]

එල් එන්කන්ටෝ දිය ඇල්ල

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Aerial: ® 2004 Hermes Justiniano/​BoliviaNature.com

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Orchid, Ahlfeld Falls, and macaws: ® 2004 Hermes Justiniano/​BoliviaNature.com