Skip to content

පටුනට යන්න

අරමුණක් සහිත නිර්මාණයක්ද? අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද?

අරමුණක් සහිත නිර්මාණයක්ද? අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද?

අරමුණක් සහිත නිර්මාණයක්ද? අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද?

විශ්වයට හා ජීවයට නිර්මාණකරුවෙකු සිටින බව තමන් පිළිගන්නවා කියා පූජකයෙක් වූ විලියම් පේලී 1802දී ප්‍රකාශ කළා. ඊට හේතුව ඔහු විස්තර කළේ මෙසේයි. ඔබ තණ පිට්ටනියක ගමන් කරද්දී ගලක් බිම තිබෙනවා දුටුවොත් එය ස්වභාවයෙන්ම එතැන තිබෙනවා කියා ඔබ සිතයි. නමුත් ඒ වෙනුවට ලස්සන ඔරලෝසුවක් බිම තිබෙනවා ඔබ දුටුවහොත් එය ස්වභාවයෙන්ම එතැන තිබෙන එකක් කියා ඔබ නිගමනය කරන්නේ නැති බව ස්ථිරයි. ඊට හේතුව කුමක්ද? එම ඔරලෝසුව අරමුණක් ඇතුව කවුරුන් හෝ නිර්මාණය කර ඇති බවට එය සාක්ෂි සපයන නිසයි.

විලියම් පේලීගේ එම අදහස චාල්ස් ඩාවින්ට විශාල බලපෑමක් ඇති කළා. ඒ වුණත් පසු කාලෙක ඩාවින් විසින් පේලීගේ තර්කයට පටහැනි අදහසක් ඉදිරිපත් කළා. එනම් ඔහු පැවසුවේ ජීවය පරිණාමයෙන් බිහි වූවා කියායි. ඒ අනුව නිර්මාණකරුවෙක් සිටිය යුතුයි යන අදහස වෙනුවට වැලඳගත්තේ ඩාවින්ගේ මතයයි.

එමනිසා පේලී හා ඩාවින්ගේ කාලයේදී ඒ පිළිබඳව බොහෝ පොත් පත් ලියැවී තිබෙනවා. එක් පැත්තකින් නිර්මාණකරුවෙකු පිළිබඳ අදහසට පක්ෂවත් අනික් පැත්තෙන් පරිණාමවාදයට පක්ෂවත් විවිධ අලුත් තොරතුරු ඉදිරිපත් වී තිබෙනවා. විශ්වයත් එහි ඇති සියල්ලෙත් පැවැත්මට අරමුණක් තිබෙනවාද නැද්ද යන්න මිනිසුන් දැරූ ආකල්පවලට එම තොරතුරු තදින්ම බලපෑවා. ඒ පිළිබඳව ඔබ විශ්වාස කරන දේ එතරම් වැදගත්ද? එය ඔබට බලපාන්නේ කෙසේද?

ඩාවින්ගේ මතය හා එහි ප්‍රතිඵල

ඩාවින්ගේ මතය හේතුවෙන් බොහෝ පිරිසක් තමන්ගේ ජීවිතවලට අරමුණක් නැති බව නිගමනය කර තිබෙනවා. බොහෝදෙනා විශ්වාස කරන පරිදි මෙම මහත් විශ්වයත් එහි ඇති සියල්ලත් ඇති වුණේ මහ පිපිරුම නිසා නම් ඇත්තෙන්ම ජීවිතයට අරමුණක් නැහැ. ඒ ගැන නොබෙල් ත්‍යාගලාභී ජීව විද්‍යාඥ ජැක්වෙස් මොනොඩ් මෙසේ පැවසුවා. “අහම්බෙන් ඇති වුණ මේ දැවැන්ත විශ්වයේ ජීවත් වන අපත් ඇති වී තිබෙන්නේ අහම්බෙන්. එමෙන්ම අපගේ අනාගතය පිළිබඳවත් කිසිම සඳහනක් නැහැ. ඒ නිසා ඒ ගැන සෙවීමට උත්සාහ කිරීමත් තේරුමක් නැති දෙයක්.”

ඒ හා සමාන අදහසක් රසායනික විද්‍යාඥ පීටර් විලියම් ඇට්කින්ස් මෙසේ ප්‍රකාශ කළා. “මෙම විශ්වය ඉතාම අලංකාර තේජවත් එකක් බව ඇත්තයි. ඒ වුණත් මේ විශ්වයට කිසිම අරමුණක් නැහැ.”

කෙසේනමුත් සියලුම විද්‍යාඥයන් ඔහුගේ අදහසට එකඟ නැහැ. ඒ හොඳ හේතු ඇතුවයි.

අරමුණක් ඇති නිර්මාණයක් බවට සාක්ෂි

විශ්වය ඇති වී තිබෙන්නේ අරමුණකින් තොරවයි යන මතය ස්වභාවික නීති හදාරන බොහෝදෙනෙක් ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට මූලික භෞතික බලයන් මගින් විශ්වය පාලනය වන ආකාරය ගැන ඔවුන් මවිත වෙනවා. එම නීති මගින් තහවුරු වන්නේ භෞතික බලයන්ගේ ක්‍රියාකාරිත්වය තුළින් මේ විශ්වය ජීවත් වීමට සුදුසු ආකාරයෙන් තිතටම සකස් වී ඇති බවයි. “එහි සුළු හෝ වෙනසක් සිදු වුණොත් එය ඉතා මාරාන්තිකයි” කියා විද්‍යාඥ පෝල් ඩේවීස් පවසනවා. උදාහරණයකට ප්‍රෝටෝනවල බර නියුට්‍රෝනවලට වඩා යන්තමින් හෝ වැඩි වුවහොත් එසේත් නැත්නම් ඊට ප්‍රතිවිරුද්ධ දේ සිදු වුණොත් සියලුම ප්‍රෝටෝන, නියුට්‍රෝන බවට පත් වෙයි කියාද ඔහු පැවසුවා. එය හානිකරද? ඔව්. “ප්‍රෝටෝන හා එහි ඇති විද්‍යුත් ආරෝපනය නොමැතිව පරමානුවලට පැවතිය නොහැකියි.”

ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනවලට බැඳ තබාගන්නේ එහි ඇති විද්‍යුත් චුම්බක බලය හේතුවෙනුයි. අණු සෑදෙන්නේ ඒ තුළිනුයි. මෙම බලය සැලකිය යුතු අයුරින් දුර්වල වුවහොත් පරමානුවේ කක්ෂය වටා ගමන් කිරීමට ඉලෙක්ට්‍රෝනවලට නොහැකි වෙයි. එසේ වුවහොත් තවදුරටත් අණු සෑදෙන්නේ නැහැ. අනික් අතට එම විද්‍යුත් චුම්බක බලය වැඩි වුවහොත් ඉලෙක්ට්‍රෝන පරමානුවේ න්‍යෂ්ටියට ඇලී පවතියි. එවැනි දෙයක් සිදු වුවහොත් රසායනික ප්‍රතික්‍රියා හා ජීවයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම ඇණ හිටියි.

විද්‍යුත් චුම්බක බලයේ ඉතා සුළු වෙනසක් සිදු වුවහොත් එය සූර්යාටත් එමගින් පොළොවට ලැබෙන බලශක්තියටත් බලපානවා. ඒ තුළින් ප්‍රභාසංශ්ලේෂණයට බාධා ඇති වීමට හෝ එය සම්පූර්ණයෙන්ම ඇණ හිටීමට හේතු වෙයි. පොළොව මත ජීවය පවතිනවාද නැද්ද තීරණය වන්නේ විද්‍යුත් චුම්බක බලය අකුරටම ක්‍රියාත්මක වීම මතයි. *

විශ්වයේ පවතින ප්‍රධාන බලයන් හා පදාර්ථවල සමබරතාව ඉතා සියුම් ආකාරයකින් යුතුව ක්‍රියාත්මක වන ආකාරය එක් පොතක ඉතා කදිමට නිදර්ශනය කර තිබෙනවා. “විශ්වයේ සෑම අංගයක්ම පාලනය කරන පාලක මැදිරියක්” සිතින් මවා ගන්න කියා එහි කර්තෘ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එක් පුද්ගලයෙක් එය නැරඹීමට යන අතර එහි නියමිත අගයන්ට කරකවා සකස් කළ හැකි මීටර කිහිපයක් ඔහු දකියි. විශ්වය තුළ ජීවය පැවතීමට නම් ඒවා තිතටම සකස් කළ යුතු බව ඔහු තේරුම්ගන්නවා. එක් මීටරයක් ගුරුත්වාකර්ශන බලය සඳහාද තවත් එකක් විද්‍යුත් චුම්බක බලය සඳහාද ඊට පහළින් ඇති එක නියුට්‍රෝන හා ප්‍රෝටෝනවල ස්කන්ධ අතර අනුපාතය සඳහාද තිබෙන අතර තවත් මීටර් රාශියක් ඔහු දකිනවා. එම මීටර් පද්ධතිය අධ්‍යයනය කරන ඔහුට වැටහෙන කරුණක් වන්නේ ඒවා කරකවා වෙනස් අගයන්ට සකස් කළ හැකි වුණත් එසේ කළොත් මේ විශ්වය සම්පූර්ණයෙන්ම ජීවයෙන් තොර වන බවයි. ඒ වුණත් දැනටමත් ඒවා විශ්වයේ මනා ක්‍රියාකාරීත්වයටත් ජීවයේ පැවැත්මටත් සුදුසුම අයුරින් නිවැරදිම අගයන්ට සකස් කර ඇති බව ඔහු අවබෝධ කරගන්නවා. ඒ සියල්ල ඉබේම සකස් වුණා කියා ඒ පුද්ගලයා සිතයිද?—එම පොත Science & Christianity—Four Views.

තාරකා විද්‍යාඥ ජෝජ් ග්‍රන්ස්ටීන් පැවසූ අදහසද බලන්න. “විශ්වයේ ඇති සියල්ල සලකා බැලීමෙන් පසු අපි මීට කලින් නොදුටු පැත්තක් දකින්න අපිට හැකි වෙලා තිබෙනවා. එනම් ඒවා පිටුපස අසීමිත බලයක් හෝ එවන් බලයක් ඇති පුද්ගලයෙක් සිටින බවයි.”

තිතටම සකස් වූ අපගේ විශ්වය ගැන කල්පනා කරන විට ඔබ පැමිණෙන නිගමනය කුමක්ද? එය අරමුණක් ඇතිව නිර්මාණය කළ දෙයක්ද?

‘ඒ ඉතිං ඒකේ හැටි’

දෙවි කෙනෙකුගේ පැවැත්ම විශ්වාස නොකරන අයත් විවිධ මතදරනවා. මෙතරම් සංකීර්ණ අපගේ විශ්වය ගැන ඔවුන් පවසන්නේ මෙසේයි. ‘අපගේ පැවැත්මට සුදුසු පරිසරයක් විශ්වයේ සකස් වී තිබෙනවා තමයි. ඒ ඉතිං ඒකේ හැටි. එහෙම වුණේ නැත්නම් අද අපි මෙහි නැහැ. ඒ නිසා ඒ ගැන විස්තර කරන්න දෙයකුත් නැහැ. නමුත් අපිට දැන් මේ පොළොවේ ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන නිසා අපි ජීවත් වෙනවා. එච්චරයි.’ අපගේ ජීවිතය සම්බන්ධයෙන් එය සෑහීම ගෙන දෙන පිළිතුරක් කියා ඔබ සිතනවාද?

තවත් සමහර අය පවසන්නේ විශ්වය පවතින්න නම් ස්වභාවික නීති සියල්ලම තිතටම සකස් වී තිබිය යුතු බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ ඒවා කවුරුන් විසින් හෝ නිර්මාණය කළ දෙයක් නොව ස්වභාවයෙන්ම පවතිනවා කියායි. එම තර්කය සැබෑවක් කියා කෙනෙක් විශ්වාස කළත් ඉන් ඔහුගේ පැවැත්ම ගැනත් ජීවිතයේ අරමුණ ගැන පැහැදිලි විස්තරයක් ඔහුට සපයන්නේ නැහැ. එම තර්කයට අනුව නම් අපගේ ජීවිතයත් එහි පැවැත්මට සරිලන විශ්වයත් අහම්බෙන් ඇති වූ දෙයක්.

මනා සැලැස්මකින් යුත් අපගේ විශ්වය බිහි වුණේ අහම්බෙන් කියා විස්තර කරනවාට අමතරව තවත් අය පවසන්නේ විශ්වයන් බොහොමයක් තිබෙන බවයි. එම මතයට අනුව අප ජීවත් වන්නේ අසංඛ්‍යාත විශ්වයන්ගෙන් එකකයි. එම විශ්වයන් සියල්ලම එකිනෙකට වෙනස් වන අතර ඒ සියල්ලම කිසිම අරමුණක් නැති අහම්බෙන් බිහි වූ ඒවායි. එම තර්කයට අනුව බොහෝ විශ්වයන් පවතින අතර පසු කාලයකදී ඉන් එකක මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති වුණා. කෙසේනමුත් එම මතයට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. එය උපකල්පනයක් පමණයි.

තමන් එම මතයට එකඟ නොවූ බව පවසමින් නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ ක්‍රිස්ත්යාන් ඩ ඩූව මෙසේ සඳහන් කළා. “මිනිසා හා ඔහු සතු බුද්ධිය ඇත්තෙන්ම පුදුමාකාරයි. ඊට පැහැදිලි අරමුණක් තිබෙනවා. බොහෝ විශ්වයන් තිබෙනවා විය හැකි වුණත් ඒවා තුළ ජීවය හා මිනිස් බුද්ධිය බිහි විය නොහැකි යන්න මගේ අදහසයි. පවතිනවා යැයි පවසන ට්‍රිලියන ගණනක් වූ විශ්වයන් සමඟ සැසඳුවත් අපගේ විශ්වය හා ඊට අයත් දේවල් අතින් බලද්දී එය ඇත්තෙන්ම අද්විතීයයි. ඒ නිසා මට සිතෙන්නේ අපගේ විශ්වය බිහි වුණේ නිර්මාණයකින් කියායි.”

මිනිස් මොළය

විශ්වයේ පැවැත්ම සම්බන්ධයෙන් තර්ක කිරීමට අප සතු හැකියාව මොන තරම්ද! නමුත් මේ විශ්වයට අරමුණක් නැති නම්, අපගේ ඒ හැකියාවෙන්ද කිසි පලක් නැහැ. එයද අහඹු සිදුවීමක්. එවන් තර්කයක් සාධාරණයි කියා ඔබ සිතනවාද?

මිනිස් මොළය විස්තර කර තිබෙන්නේ “මුළු මහත් විශ්වයේම තිබෙන අති පුදුමාකාර මෙන්ම ගුප්ත යමක් ලෙසයි.” සිතුවිලි වටහාගැනීමට හා ජීවිතයේ අරමුණ සෙවීමට මිනිසා සතු පුදුමාකාර හැකියාව සම්පූර්ණයෙන්ම විස්තර කිරීමට භෞතික විද්‍යාවටවත් රසායනික විද්‍යාවටවත් තවම හැකි වී නැහැ.

මිනිසා සතු බුද්ධිය හා ගවේෂණය කිරීමේ හැකියාව ඔහුට ලැබුණේ ඔහුට වඩා බුද්ධිමත් බලවේගයකින්ද නැත්නම් අහම්බෙන්ද? ඔබට, වඩාත් තර්කානුකූලව එකඟ විය හැක්කේ ඉන් කුමන අදහස සමඟද?

වෙනස් අදහසක්

අපගේ විශ්වය, පෘථිවිය හා එහි ඇති ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ගැන විද්‍යාව විසින් බොහෝ තොරතුරු අනාවරණය කර තිබෙනවා. එමෙන්ම “අපගේ පැවැත්ම ගැනත් අපට තව බොහෝ දේ දැනගැනීමට තිබෙනවා.” ඔව්, අප මෙහි ජීවත් වන්නේ අහඹු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස නම් අපගේ පැවැත්ම ගැන තව දැනගැනීමට බොහෝ දේ තිබෙනවා. කෙසේනමුත් විද්‍යා රචකයෙක් වන ජෝන් හෝගන් පවසන දේ බලන්න. “අප අවට ඇති සෑම දෙයක්ම ඉතා කදිමට නිර්මාණය කර ඇති බව පෙනෙන්න තිබෙනවා. ඒ අනුව බලද්දී මිනිසා ඇති වූයේ අහම්බෙන් කියා සිතීම දුෂ්කරයි.” භෞතික විද්‍යාඥ ෆ්‍රීමන් ඩේසන්ද ඒ හා සමාන අදහසක් පැවසුවා. “විශ්වය ගැනත් එහි සැකැස්ම ගැනත් මම වැඩි වැඩියෙන් අධ්‍යයනය කරද්දී මට වැටහුණේ මිනිසා ඇති වීමටත් පෙර සිටම විශ්වය ඒ සඳහා සැකසී ඇති බවයි.”

අපගේ සංකීර්ණ විශ්වය, එය තිතටම සකස් වී තිබීම, එහි නිර්මාණාත්මකභාවය හා මිනිස් මොළය වැනි අප මෙතෙක් සලකා බැලූ තොරතුරු අනුව ඒ සියල්ලටම නිර්මාණකරුවෙක් සිටිය යුතු බව සිතීම සාධාරණයි කියා ඔබට සිතෙන්නේ නැද්ද? නිර්මාණකරුවෙකු සිටින බව ඔබ නිගමනය කළොත් අප මේ පොළොවට බිහි වූයේ කෙසේද හා අපගේ ජීවිතයට අරමුණක් තිබෙනවාද යන විද්‍යාවෙන් පිළිතුරු ලැබිය නොහැකි ප්‍රශ්නවලට එම නිර්මාණකරුගෙන් පිළිතුරු ලබාගත හැකියි.

එම ප්‍රශ්නවලට පිළිතුරු ශුද්ධ බයිබලයෙහි සඳහන්ව තිබෙනවා. එහි තොරතුරු ලියැවී ඇත්තේ අප ඇතුළු විශ්වයේ ඇති සියල්ලේ නිර්මාතෘගේ මඟ පෙන්වීම යටතෙයි. එමනිසා එම ප්‍රශ්න ගැන බයිබලයේ සඳහන් තොරතුරු සලකා බලන්න කියා අපි ඔබට ආරාධනා කරනවා.

[පාදසටහන]

^ 12 ඡේ. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන ප්‍රකාශනයේ 10 සිට 26 දක්වා පිටු බලන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිනිස් මොළය අහඹු සිදුවීමක ප්‍රතිඵලයක්ද?

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මේවා නොතිබුණා නම් . . .

මිනිසාට විද්‍යාත්මක තොරතුරු ගවේෂණ කිරීමට හැකි වී තිබෙන්නේ අපගේ විශ්වය මනා සැලැස්මකට අනුව නිර්මාණය වී ඇති නිසා මෙන්ම පදාර්ථ හා ශක්තිය නිශ්චිත තත්වයන් තුළ නිවැරදිම ආකාරයට ක්‍රියා කරන නිසයි. ඒ නිසා ඒවා ගණිතය, භෞතික විද්‍යාව හා රසායනික විද්‍යාව වැනි විද්‍යාත්මක සංසිද්ධීන් තුළින් විස්තර කළ හැකියි. ඒවායෙහි මනා සැලැස්මක් නොතිබෙන්න විද්‍යාත්මක ගවේෂණයන් හා තාක්ෂණික කටයුතු කිරීමට නොහැකි වන අතර ජීවයද පැවැත්මෙන් තොර වෙයි.

ඒ අනුව බලද්දී භෞතික නීති ආරම්භ වුණේ කෙසේද සහ ඒවා එලෙස ක්‍රියාත්මක වන්නේ ඇයි යන ප්‍රශ්න අපට මතු වෙනවා. පිළිගත හැකි හා සාධාරණ පිළිතුරක් ලෙස බොහෝදෙනා එකඟ වන්නේ ඒවා පිටුපස ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු සිටින බවයි. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

[7වන පිටුවේ කොටුව⁄පින්තූර]

එය ආරම්භ වුණේ අහම්බෙන්ද?

සෑම ජීවමාන සෛලයකම ඇති DNA අණු තුළ ඊට අදාළ ජීවියා වර්ධනය වන ආකාරය පිළිබඳව සියලු තොරතුරු සවිස්තරාත්මකව ගබඩා වී තිබෙනවා. ඉතාමත් සංකීර්ණ මෙම DNA අණු තුළ ගබඩා වී ඇති තොරතුරු සරලවම පැවසුවහොත් DVD තැටියක ගබඩා කර ඇති තොරතුරුවලට සමාන කරන්න පුළුවන්. DVD තැටිය යන්ත්‍රය තුළට දමා ක්‍රියාත්මක කරන විට එහි ඇති රූප නරඹන්නට හෝ සංගීතයට සවන් දීමට හැකියි. එලෙසම අඹරන ලද ලණු ඉණිමඟකට සමාන (ද්විත්ව හේලීක්සය) DNA අණු මගින් එම ජීවය පිළිබඳ තොරතුරු එක් සෛල පරම්පරාවක සිට තව එකක් දක්වා ගබඩා කොට සම්ප්‍රේෂණය කරනවා.

සාමාන්‍යයෙන් DVD තැටියක ගබඩා කර ඇති තොරතුරු, එයට අහම්බෙන් ඇතුල් වුණා කියා සිතන්න පුළුවන්ද? එසේනම් ඉතා සංකීර්ණ DNA අණුවක් තුළ ගබඩා වී ඇති තොරතුරු එයට අහම්බෙන් ඇතුල් වුණා කියා නිගමනය කිරීම සාධාරණද?

[6වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Sombrero Galaxy: NASA and The Hubble Heritage Team (STScI/​AURA)