Skip to content

පටුනට යන්න

අප්‍රිකාවේ වෙළඳපොළක සංචාරයක් යමුද?

අප්‍රිකාවේ වෙළඳපොළක සංචාරයක් යමුද?

අප්‍රිකාවේ වෙළඳපොළක සංචාරයක් යමුද?

රටක සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර හා කෑම බීම ගැන අවබෝධයක් ලැබීමට හොඳම ක්‍රමය කුමක්ද කියා ඔබ දන්නවාද? එරටේ වෙළඳපොළකට ගොඩ වැදීමයි. එහිදී එරටේ ජනයාව මුණ ගැසීමට, භාණ්ඩ මිල දී ගැනීමට පමණක් නොව ඔවුන්ගේ කෑමවල රස බැලීමටත් ඔබට අවස්ථාවක් ලැබෙයි. ඔබේ භාෂාව කුමක් වුණත් ඔබ සමඟ කෙසේ හෝ අදහස් හුවමාරු කරගැනීමට උත්සාහයක් දරන අමුතුම තාලයේ වෙළඳුන්වද ඔබට හමු වෙයි.

අප්‍රිකාවේ තිබෙන වෙළඳපොළවල් ඇත්තෙන්ම ඉතාමත් සුවිශේෂයි. විශාල ජන සමූහයක් ගැවසෙන එම ස්ථානවලින් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මිල දී ගත හැකියි. එමෙන්ම අප්‍රිකානු ජාතිකයන්ටම ආවේණික වූ ජීවන රටාව තේරුම්ගැනීමටද එය හොඳ අවස්ථාවක්. ඒ සඳහා අපි කැමරූන්වල ඩොයුලා නගරයේ තිබෙන වෙළඳපොළක පොඩි සංචාරයක් යමුද?

යන්නේ කොහොමද?

අප්‍රිකාවේ විශාල නගර බොහොමයක තිබෙන වෙළඳපොළවල්වලට යන්න පුළුවන් ලාභම හා ඉක්මන්ම ක්‍රමය යතුරුපැදියකින් ගමන් කිරීමයි. ඒ සඳහා ඔබ අඬගසන පරක්කුවෙන් ඔබව රැගෙන යෑමට සූදානමින් සිටින යතුරුපැදි දාවකයන් නගරයේ කොහේ බැලුවත් ඔබට සොයාගත හැකියි. නමුත් එසේ යෑමට ඔබට හිතේ හයියකුත් ඕනේ. කෙසේනමුත් කැමරූන් රටේ ලාභම සහ වේගවත්ම ප්‍රවාහණ සේවය එයයි.

නමුත් ඔබ යතුරුපැදියෙන් යෑමට බිය නම් ටැක්සියකින් වුණත් යන්න පුළුවන්. සමහර අය කරන්නේ කිහිපදෙනෙක් එකතු වී එවන් රථයක් කුලියට ගෙන ඊට වැයවන වියදම බෙදාගැනීමයි.

කඩසාප්පු වැහිවැහැලා

මේ වගේ වෙළඳපොළකට පළමු වතාවට පැමිණෙන කෙනෙකුට නම් එහි තිබෙන කඩසාප්පු සහ එහි පැමිණ සිටින විශාල ජනයාව දැක පුදුම හිතෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි කුඩා දරුවන් හා වැඩිහිටියන් තම හිස මත කූඩ තබාගෙන විවිධ දේවල් විකුණන ආකාරයද දකින්න පුළුවන්. ටිකක් ළං වෙලා බැලුවොත් ඔවුන් ගෙන යන කූඩවල කුකුලන්, ලෙලි ගැසූ දොඩම්, විවිධ ඖෂධ වර්ග සහ වෙනත් දේවල්ද දැකගන්න පුළුවන්.

සිය ගණන් ලී තට්ටු මත ඇතිරූ ගෝවා, කැරට්, පිපිඤ්ඤා, වම්බටු, වට්ටක්කා, බෝංචි, අල, බතල හා තක්කාලි වැනි එළවළු වර්ගත් විවිධ සලාද වර්ගත් වෙළඳපොළේ දැකගත හැකියි. නමුත් මෙහි පැමිණෙන විදේශිකයෙකුට නම් මින් සමහරක් නුහුරු නුපුරුදු ඒවා විය හැකියි. ඒ අතරින් කෙනෙකුගේ නෙත් ඉක්මනින් ඇදී යන්නේ රතු සහ කහ වර්ණයෙන් දිදුලන මාළු මිරිස් වෙතටයි. තවත් තැන්වල අලිගැටපේර, කෙසෙල්, ජම්බෝල, කොමඩු, අන්නාසි, දොඩම් වර්ග විකිණීමට තබා තිබෙනවා. ඒවා දැක්කම කන්නමයි හිතෙන්නේ. ගානත් නරක නැහැ. මේ රටේ වැඩිපුරම නිෂ්පාදනය කරන අල වර්ග, මඤ්ඤොක්කා සහ සහල් සෑම තැනකම වගේ දකින්න පුළුවන්. ආනයනය කළ ලූනු සහ සුදු ලූනු සමඟ එම නිෂ්පාදනත් අලෙවිය සඳහා ඉතා කදිමට අතුරා තිබෙනවා.

ඩොයුලා නගරයේ තිබෙන එක වෙළඳපොළක කඩහිමියන්ගෙන් වැඩි හරියක් හවුසා සහ ෆූලා ජාතිකයන්ට අයත් අයයි. එම වෙළඳුන් විශේෂයෙන්ම කැපීපෙනෙන්නේ ඔවුන් ඇඳ සිටින නිල්, සුදු හෝ කහ පාට දිග ඇඳුම නිසයි. ඒ වගේම මිත්‍රශීලී සිනහවක් සමඟින් ඔවුන් තම භාෂාවෙන් කරන ආචාරයද ඊට තවත් හේතුවක්. ඉතාමත් සාමකාමී වාතාවරණයක් පවතින මේ වෙළඳපොළේ අප සංචාරය කරද්දී එක් වෙළෙන්දෙක් වන ඊබ්‍රාහිම්ව අපට හමු වුණා. ඔහු ලොකු ලූනු ගෙඩි තුනක් තෝරලා මට තෑගි කරලා මෙහෙම කිව්වා. “මේවා ඇතුළට කුළු බඩු මිශ්‍ර කළ බත් පුරවලා මද ගින්නේ උයන්න කියලා ඔයාගේ බිරිඳට කියන්න.”

තව ටිකක් ඉස්සරහට යද්දී මස් කඩ කිහිපයක් තියෙනවා අපි දැක්කා. ඒවායෙහි වැඩිපුරම විකුණන්න තියෙන්නේ හරක් මස් සහ එළු මස්. ඒ වෙලාවෙම මිනිසුන් කිහිපදෙනෙක් මරපු සතුන් කරතියාගෙන ඇවිත් උන්ව මේසයක් උඩට දැම්මා. ඒවා මිල දී ගන්න පැමිණි අයට ඔවුන්ගේ කැමැත්තට අනුව අවශ්‍ය මස් ලබා දීමට දැන් ඔවුන් සූදානම්. කැමති අයට පණපිටින් වුණත් එළුවන්, කුකුලන් සහ ඌරන්ව මිල දී ගත හැකියි.

කෑම ටිකක් කාලම යමු!

මෙම වෙළඳපොළේ කෑම වේලක රස බලන්න ඕනෑ තරම් තැන් තිබෙනවා. සමහර තැන්වල මිනිසුන්ගේ අවධානය ගන්න විශාල ශබ්දයකින් සංගීතය ඇසෙන්න සලස්වා තිබෙනවා. එසේ නොවන නිස්කලංක තැන්ද තියෙනවා. එහි ටිකක් පහසුගෙන එම ප්‍රදේශයට ආවේණික වූ ආහාර වේලක රස බැලීමටත් එහි ජනයාව මුණගැසීමටත් අවස්ථාව ලැබෙනවා. සාමාන්‍යයෙන් ඒ ඒ දවසට ලබාගත හැකි කෑම වට්ටෝරුව කළු ලෑල්ලක ලියා තිබෙනවා. නමුත් එය කෙනෙකුට අලුත් දෙයක් නම් එය තේරුම්ගැනීමට කාගේ හෝ උපකාරයක් අවශ්‍ය වෙනවා.

ඔවුන්ගේ ආහාර වේලට ප්‍රධාන වශයෙන් බත් සමඟ මඤ්ඤොක්කා, කෙසෙල් හෝ අල වර්ගයක් එකට පොඩි කර සාදාගත් මිශ්‍රණයක්ද අයත් වෙනවා. එම මිශ්‍රණය ඔවුන් හඳුන්වන්නේ ෆූෆූ යන නමිනුයි. එමෙන්ම පිලිස්සූ මාළු, හරක් මස් සහ කුකුල් මස් පිළිගන්වන විට බණ්ඩක්කා, රටකජු හෝ තක්කාලිවලින් සාදාගත් විශේෂ සෝස් වර්ගයක්ද ලබා දෙයි. එම ආහාරවල රස බලන අතරතුර කතාබහ කරන්නත් ඕනෑ තරම් අවස්ථාව තිබෙනවා.

අපි කෑම ටිකක් කන්න ඒ අසල තිබූ කඩයකට ගොඩ වුණා. අපි ඉඳගත්තාට පස්සේ වේටර් කෙනෙක් ලොකු බන්දේසියක උණු උණු බත් පිඟන් දෙකක් ගෙනාවා. ඒකේ බෝංචි සහ ෆූෆූ මිශ්‍රණයද තිබුණා. ඒ විතරක් නෙවෙයි, බණ්ඩක්කාවලින් සෑදූ සෝස් වර්ගයක් වගේම පිලිස්සූ මස් සහ මාළුත් තිබුණා. කුඩා භාජනයකට දැමූ මිරිස් සෝස්ද ඒ අතර වුණා. ඒ ටිකක් සැරට කන්න කැමති අයටයි. ඊළඟට තවත් වේටර් කෙනෙක් අපේ අත් සෝදාගන්න වතුර බේසමකුයි තුවායකුයි ගෙනාවා. මේ කෑමවල නියම රස භුක්ති විඳින්න නම් අතින්ම කන්න ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක් කෑමට පෙර කෙටි යාච්ඤාවක් කිරීමත් එය අවසානයේදී ඒ අවට මේසවල සිටින අය “ආමෙන්” කියා පැවසීමත් මෙහි අලුත් දෙයක් නෙවෙයි.

ශූභාරංචිය බෙදාගැනීමට හොඳ අවස්ථාවක්

බොහෝ කාලයක් පුරා විවිධ ජන සමාජයන්ට වෙළඳපොළවල් මගින් විශාල සේවයක් සිදු වී තිබෙනවා. භාණ්ඩ මිල දී ගැනීමට හා විකිණීමට පමණක් නොව යම් පණිවිඩ හුවමාරු කිරීමටත් මිතුරන්ව හමු වීමටත් රැකියාවක් සොයාගැනීමටත් එය කදිම ස්ථානයක්. යේසුස්ද එවැනි වෙළඳපොළවල්වලට ගොස් දෙවි පිළිබඳව ජනයාට ඉගැන්වූ අතර බොහෝ සුව කිරීම්ද සිදු කළ බව බයිබලයේ සඳහන් වෙනවා. පාවුල් නමැති දෙවිගේ සේවකයාද “වෙළඳපොළෙහි ගැවසුණු අයට” බයිබලයේ සඳහන් කාරණා අවබෝධ කර දුන්නා. (ක්‍රියා 17:16, 17; මාක් 6:56) කැමරූන් රටේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දේවරාජ්‍ය පිළිබඳ ශුභාරංචිය ජනයාට දැනුම් දීමට එවන් ස්ථාන යොදාගන්නවා.—සපයන ලද්දක්.

[24වන පිටුවේ පින්තූරය]

රතු සහ කහ පාටින් දිදුලන මාළු මිරිස්