Skip to content

පටුනට යන්න

5 සාරධර්ම කියා දෙන්න

5 සාරධර්ම කියා දෙන්න

“ඉස්සර මම බයිබලයේ උපදෙස්වලට අනුව නෙමෙයි ජීවත් වුණේ. ඒ කාලේ මට දරුවන්ව හදාගන්න අමාරු වුණා. ඒත් දැන් මම බයිබලයේ උපදෙස් පිළිපදින නිසා දරුවන්ව හදාගන්න එක ලේසියි.”—දකුණු අප්‍රිකාවේ එලිසබෙත්.

අභියෝගය.

පාසැලෙන් එල්ල වෙන පීඩනය නිසාත් සමාජයේ සාරධර්ම පිරිහී තිබෙන නිසාත් දරුවන්ව හදා වඩා ගැනීම අභියෝගයක්. දරුවන් ගුණ යහපත් වැඩිහිටියන් බවට පත් වීමට නම් ඔවුන්ට සාරධර්ම කියා දිය යුතුයි.

යෝජනා.

මේ ලිපියේ සඳහන් කළ අය ඇතුළුව තනිවම දරුවන්ව හදා වඩා ගන්නා බොහෝ මව්වරු සහ පියවරු මඟ පෙන්වීම් ලබාගන්නේ බයිබලයෙනුයි. ඔවුන් එසේ කරන්නේ දෙවිගේ උපදෙස් එහි තිබෙන බව දන්නා නිසයි. උදාහරණයකට බයිබලයේ සඳහන් වන්නේ අපට තිබිය යුතු වැදගත්ම ගුණාංගය ප්‍රේමය කියායි. ඒ ගැන එහි මෙසේ සඳහන් වෙනවා.

‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත. ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි. ඔහු සියල්ල ඉවසා දරාගනියි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි. සියල්ල විඳදරාගනියි. ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.’—1 කොරින්ති 13:4-8.

දෙමාපියන් දරුවන්ට එලෙස ප්‍රේමය පෙන්වන විට දරුවනුත් ගුණ යහපත් ලෙස හැදී වැඩෙයි. කලින් සඳහන් කළ ප්‍රංශයේ වෙසෙන කොලෙට් මෙසේ පවසනවා. “මම නිතරම දරුවන්ට කියනවා මම ඒගොල්ලන්ට ආදරෙයි කියලා. දරුවෝ දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක් නිසා එයාලව රැකබලා ගැනීම මගේ වගකීමක් කියලත් කියනවා. අනික් අතට තාත්තා අපිත් එක්ක ජීවත් වුණේ නැතත් මට වගේම එයාටත් ගෞරවයෙන් සලකන එක එයාලගේ යුතුකමක් කියලා මම පෙන්නලා දෙනවා. මේ දේවල් එයාලට පෙන්නලා දුන්න නිසා විශ්වාසය, ගෞරවය වගේ ගුණාංග වර්ධනය කරගන්න එයාලට පුළුවන් වුණා.”—ගීතාවලිය 127:3.

පෝලන්තයේ වෙසෙන ආනා මෙසේ පවසනවා. “යේසුස් කිව්වේ කවුරු හරි අපිට හොඳ දෙයක් කරනවාට ආස නම් අපිත් ඒ දේම ඒ අයට කරන්න ඕනේ කියලයි. ළමයි අතරේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒක මතක් කරගන්න කියලා මම කියනවා.” (මතෙව් 7:12) තනිවම දරුවන් හදා වඩා ගන්නා අය මුහුණ දෙන තත්වයක් ගැන කලින් සඳහන් කළ රොබෙටො මෙසේ පවසනවා. “මං එකක් කියද්දී දරුවාගෙ අම්මා තව එකක් කියනවා. දරුවට බයිබල් ප්‍රතිපත්ති පෙන්නන්නේ මං නිසා මම නරක මිනිහා වෙනවා. අම්මා තෑගි දීලා ළමයගේ හිත දිනාගන්න හදනවා. ඒ වෙලාවට හරි අමාරුයි. හැබැයි දරුවත් එක්ක හොඳ බැඳීමක් තියාගත්තොත් තෑගිවලට වඩා වටින්නේ දෙවිගේ ප්‍රමිතියි කියලා දරුවා තේරුම්ගන්නවා.”

බයිබල් ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරන එක සෑමවිටම ලෙහෙසි නැහැ. නමුත් එසේ කරනවා නම් බොහෝ ප්‍රයෝජන අත් වෙයි. දකුණු අප්‍රිකාවේ වෙසෙන සේරා නමැති මව මෙසේ පවසනවා. “මගේ දරුවන්ව යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව හදපු එක ගැන මම සතුටු වෙනවා. අපිට ප්‍රශ්න ගැටලු තිබුණත් ඒවා විසඳගන්න යෙහෝවා දෙවිගේ උපකාරය ලැබුණා.”