Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

මත්පැන්

මත්පැන්

මත්පැන් බීම වැරදිද?

“සිත් සතුටු කරන වයින්ද මුහුණු පැහැපත් කරන තෛලයද පෝෂණය ලබා දෙන ආහාරද ඔබ සපයා දෙන්නෙහිය.”—ගීතාවලිය 104:15.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර රටවල මත්පැන් බීම සාමාන්‍ය දෙයක්. එයාලගේ කෑම වේලේ මත්පැන් අනිවාර්ය අංගයක්. ඒත් තවත් සමහරු මත්පැන් එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ වෙනස් මත තියෙන්නේ ඇයි? සංස්කෘතිය, සෞඛ්‍යය සහ ආගම වැනි දේවල් නිසයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

බේබදුකම සහ අධික ලෙස මත්පැන් බීම දෙවියන් හෙළා දකිනවා. ඒත් සීමාවක් ඇතුව මත්පැන් බීම වැරදි නෑ. (1 කොරින්ති 6:9, 10) පුරාණයේ හිටපු දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ද වයින් බිව්වා. බයිබලයේ වයින් කියන වචනය වාර 200කටත් වඩා සඳහන් වෙනවා. (උත්පත්ති 27:25) “ප්‍රීතියෙන් කෑම කන්න. සතුටින් වයින් බොන්න” කියලා දේශනාකාරයා 9:7හි කියනවා. වයින් ටිකක් බිව්වම හිතට සතුටක් දැනෙන නිසා ඒ කාලේ විවාහයක් වැනි විශේෂ අවස්ථාවලදී වයින් පානය කළා. යේසුස් තමන්ගේ පළමු ආශ්චර්යය වන වතුර “හොඳ වයින්” බවට හැරෙව්වෙත් ඒ වගේ අවස්ථාවක. (යොහන් 2:1-11) එදා වයින් බෙහෙතක් විදිහටත් පාවිච්චි කළා.—ලූක් 10:34; 1 තිමෝති 5:23.

 පානය කළ යුතු ප්‍රමාණය බයිබලේ කියලා තියෙනවාද?

‘බොහෝ වයින් පානයට ඇබ්බැහි නොවන්න.’—තීතස් 2:3.

පිළිතුරු දැනගැනීම වැදගත්ද?

මව, පියා හෝ දෙදෙනාම මත්පැන්වලට ඇබ්බැහි වීම නිසා හුඟක් පවුල්වල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අධික මත්පැන් පානය නිසා මාර්ග අනතුරු ඇතුළු විවිධ අනතුරුවලටත් මිනිස්සු ගොදුරු වෙනවා. මොළයේ, හෘදයේ, අක්මාවේ හා උදරයේ ආබාධ වැනි හුඟක් ලෙඩවලටත් මත්පැන් හේතු වෙන්න පුළුවන්.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

කෑදර විදිහට කෑම බීම ගැනීම දෙවියන් අනුමත කරන්නේ නෑ. (හිතෝපදේශ 23:20; 1 තිමෝති 3:2, 3, 8) මේ සම්බන්ධයෙන් තමාව හික්මවා නොගන්නා කෙනෙක් දෙවිගේ අප්‍රසාදයට ලක් වෙනවා. බයිබලයේ කියන්නේ “වයින් සමච්චල් කරන්නෙකි. මත්පැන් කෝලහල ඇති කරන්නෙකි. එයින් මුළාව යන්නෝ අඥානයෝය.”—හිතෝපදේශ 20:1.

මත්පැන් නිසා කෙනෙක් ‘මුළා වෙන්නේ’ හරි දේ සහ වැරදි දේ තේරුම්ගැනීමට ඇති හැකියාව ඔහුට නැති වෙන නිසයි. බයිබලේ කියන්නේ ‘පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන් සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි’ කියලයි. (හොෂෙයා 4:11) මේ අද්දැකීම බලන්න. දවසක් ජෝන් බිරිඳත් එක්ක බහින් බස් වෙලා හෝටලේකට ගිහින් හොඳටම බිව්වා. * කොච්චර සිහි විකල් වුණාද කිව්වොත් ඔහු අනාචාරයේ පවා යෙදුණා. පසුව තම වරද ගැන හොඳටම පසුතැවී ආයෙත් ඒ වගේ නොබී ඉන්න ඔහු තීරණය කළා. මත්පැන් අධික ලෙස පානය කිරීම කෙනෙකුගේ ශරීරයටත්, සදාචාර ප්‍රමිතිවලටත්, දෙවි සමඟ ඇති බැඳීමටත් හානි කරනවා. සදාකාල ජීවනයත් එවැනි කෙනෙක්ට ලැබෙන්නේ නෑ.—1 කොරින්ති 6:9, 10.

මත්පැන් බීම සුදුසු නැත්තෙ මොන වගේ අවස්ථාවලදීද?

“බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

පිළිතුරු දැනගැනීම වැදගත්ද?

“මත්පැන් ප්‍රබල මත් කරවන ද්‍රව්‍යයක්” කියලා විශ්වකෝෂයක සඳහන් වෙනවා. (World Book Encyclopedia) ඒ නිසා සමහර අවස්ථාවලදී ටිකක් ගැනීමත් සුදුසු නෑ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

හුඟක් වෙලාවට මිනිසුන් අවදානම් තත්වයන්ට මුහුණ දෙන්නේ නුසුදුසු අවස්ථාවලදී මත්පැන් බොන නිසයි. බයිබලේ කියන්නේ “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” කියායි. (දේශනාකාරයා 3:1) උදාහරණෙකට නියමිත වයසක් එන තුරු කෙනෙකුට මත්පැන් බීමට නීතියෙන් අවසර නෑ. මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙක් එයින් මිදීමට උත්සාහ කරන කාලයේදීත් මත්පැන් බීම සුදුසු නෑ. කෙනෙක් ලෙඩකට බෙහෙත් ගන්නා අතරතුර මත්පැන් බීමෙන් එය ශරීරයට විෂ විය හැකියි. රැකියාවට යන්න කලින් හෝ රැකියාව කරන අතරතුර මත්පැන් ගැනීමත් සුදුසු නෑ. අනතුරුදායක යන්ත්‍රෝපකරණ පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ජීවිතය සහ නිරෝගිකම දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන තෑග්ගක්. (ගීතාවලිය 36:9) මත්පැන් ගැන බයිබලේ තියෙන උපදෙස අපි පිළිපදිනවා නම් ඒකෙන් පෙන්වන්නේ දෙවිගෙන් ලැබුණු තෑග්ග අපි අගය කරනවා කියන එකයි.

^ par. 11 නම වෙනස් කර ඇත.