Skip to content

පටුනට යන්න

ඔහුට සහ ඇයට හිමි ගෞරවනීය තැන

ඔහුට සහ ඇයට හිමි ගෞරවනීය තැන

ඔහුට සහ ඇයට හිමි ගෞරවනීය තැන

යෙහෝවා දෙවි මුලින්ම මැව්වේ ආදම්වයි. ඔහු කාලයක් තනිවම ජීවත් වුණා. මේ කාලය අතරතුර දී ඔහු ජීවිතය පිළිබඳ බොහෝ අද්දැකීම් ලැබූ අතර යෙහෝවා දෙවිගෙන් ඔහුට යම් යම් උපදෙස්ද ලැබුණා. (උත්පත්ති 2:15-20) දෙවි ආදම්ට ඒවව ලබා දුන්නේ ඉන් කාලයකට පසුවයි. මේ නිසා ආදම් දෙවිගෙන් ලබාගත් උපදෙස් තම බිරිඳට කියා දිය යුතු වුණා. මින් පැහැදිලි වන ආකාරයට නමස්කාරය හා සම්බන්ධ කාරණාවලදී මූලිකත්වය දැරීමේ වගකීම තිබුණේ ඔහුටයි.

ක්‍රිස්තියානී සභාවේ තිබෙන්නෙත් ඒ හා සමාන සැලැස්මක් නිසා මේ ගැන සොයා බැලීම අපට ප්‍රයෝජනවත්. පාවුල් පැවසූ දේ සලකා බලමු. “නිශ්ශබ්දව සිටීමට මිස. . . පුරුෂයා කෙරෙහි අධිකාරිය ඇතිව සිටීමට ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. මන්ද, පළමුවෙන් සාදන ලද්දේ ආදම්වය. ඉන්පසු ඒවවය.” (1 තිමෝති 2:12, 13) මින් අදහස් කරන්නේ ක්‍රිස්තියානී රැස්වීම්වලදී ස්ත්‍රීන් නිශ්ශබ්දව සිටිය යුතු බව නෙවෙයි. ස්ත්‍රිය නිශ්ශබ්දව සිටිය යුතුයි කීමෙන් අදහස් කරන්නේ ඇය පුරුෂයන් සමඟ ආරවුල් ඇති කර ගැනීමෙන් හෝ ඔවුන්ගේ වරප්‍රසාදයන් සුළු කොට තැකීමෙන් හෝ සභාවට ඉගැන්වීමට උත්සහ කිරීමෙන් හෝ වැළකී සිටිය යුතු බවයි. පුරුෂයන්ගෙන් දෙවි බලාපොරොත්තු වන්නේ සභාව රැක බලා ගනිමින් ඉගැන්වීමේ කටයුතුවල යෙදීමයි. ඒත් ස්ත්‍රීන්ට සභාවේ රැස්වීම්වලදී පිළිතුරු දීමෙන් හා තවත් නොයෙක් ආකාරවලින් සහයෝගය දැක්විය හැකියි.

දෙවිගේ සැලැස්මට අනුව පුරුෂයාට හා ස්ත්‍රීයට හිමි තැන ගැන පාවුල් මෙසේ පැවසුවා. ‘පුරුෂයා ස්ත්‍රියගෙන් නොව, ස්ත්‍රිය පුරුෂයාගෙන්ය. ඊට අමතරව ස්වාමීන් තුළ, පුරුෂයා නැතිව ස්ත්‍රියවත් ස්ත්‍රිය නැතිව පුරුෂයාවත් නැත. මන්ද, ස්ත්‍රිය පුරුෂයාගෙන් වූ ලෙසින්ම, පුරුෂයාද ස්ත්‍රිය මාර්ගයෙන්ය. නමුත් සියල්ල දෙවිගෙන්ය.’ (1 කොරින්ති 11:8-12) දෙවි ස්ත්‍රියට දී ඇති තැන ගැන දැන් අපි සළකා බලමු.

ස්ත්‍රීන් භුක්ති විඳින ආශිර්වාද

දෙවි ඊශ්‍රායෙල් ජාතියට දුන් නීතිය යටතේ ස්ත්‍රීන්ට බොහෝ වරප්‍රසාද මෙන්ම යම් දේවල් තීරණය කිරීමේ නිදහසද දී තිබුණා. උදාහරණයක් ලෙස හිතෝපදේශ 31:10-31හි (නව ලොව පරිවර්තනය, NW) “දක්ෂ බිරිඳක්” ගැන කතා කර තිබෙනවා. ඇය හොඳ රෙදි පිළි සොයා තම ගෙයිවැසියන්ට ඇඳුම් මසා දෙයි. ඒ විතරක් නෙවෙයි “ඇය යට ඇඳුම් පවා සාදා ඒවා විකුණන්නීය.” (13, 21-24 ඡේද) “වෙළඳ නැවක්” හා සමාන ඇය හොඳම ආහාර මිලදී ගැනීම සඳහා ඈතකට යන්න සිදු වුණත් එසේ කරන්න අදි මදි කරන්නේ නැහැ. (14වෙනි ඡේදය) “ඇය ඉඩමක් ගැන සොයා බලා එය මිල දී” ගෙන “මිදිවත්තක් වවන්නීය.” (16වෙනි ඡේදය) ඇගේ “වෙළඳාම හොඳ” නිසා ඇය ඉන් ලාභ ලබයි. (18වෙනි ඡේදය) යෙහෝවා දෙවි කෙරෙහි ගරු බියක් දක්වන එවැනි දක්ෂ බිරිඳක් තමන්ගේ “ගෙයි වැසියන්ගේ ක්‍රියාකාරකම් ගැන” සොයා බලනවා පමණක් නොව අන් අයටද උපකාර කරයි. (20, 27 ඡේද) මෙවැනි බිරිඳක් ඇත්තෙන්ම ප්‍රශංසාව ලැබීමට වටිනවා.—31වෙනි ඡේදය.

මෝසෙස් මාර්ගයෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය යටතේ යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය වර්ධනය කර ගැනීමට ස්ත්‍රීන්ටත් සෑම ප්‍රස්තාවක්ම දී තිබුණා. උදාහරණයක් ලෙස යෝෂුවා 8:35හි මෙසේ සඳහන් වෙනවා. “ස්ත්‍රීන් හා ළදරුවන්ද ඔවුන් අතරෙහි වාසය කළ විදේශීන් හා මුළු ඊශ්‍රායෙල් සමුදාවද ඉදිරිපිට මෝසෙස් විසින් අණ කළ සියල්ලෙන් යෝෂුවා නොකියෙවූ වචනයක් නොවීය.” එස්රාගේ කාලය ගැනත් බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “[ඔහු] හත්වෙනි මාසේ පළමුවෙනිදා අසා තේරුම්ගන්ට පුළුවන් සියල්ලන් සහ ස්ත්‍රී පුරුෂයන්ගෙන් යුක්ත වූ සමුදාව ඉදිරිපිටට ව්‍යවස්ථා පොත ගෙනවුත් වතුර දොරටුව ඉදිරියේ තිබුණු එළිමහන් ඉඩමේ ස්ත්‍රී පුරුෂයන් සහ තේරුම්ගන්ට පුළුවන් වූ සියල්ලන්ගෙන්ද යුක්තවූ සමුදාව ඉදිරිපිට අලුයම සිට මද්දහන් වේලාව දක්වා කියෙව්වේය. මුළු සෙනඟ ව්‍යවස්ථා පොත කියවද්දී අසාගෙන උන්නෝය.” (නෙහෙමියා 8:2, 3) දෙවිගේ නීතිය කියවන විට එය අසා ප්‍රයෝජන ගැනීමට ස්ත්‍රීන්ටත් අවස්ථාව තිබුණා. ඒ වගේම ඔවුන් ඊශ්‍රායෙලයේ පැවති මංගල්‍යවලටද සහභාගි වුණා. (ද්විතීය කතාව 12:12, 18; 16:11, 14) වඩා වැදගත්ම දෙය වන්නේ ඊශ්‍රායෙලයේ සිටි ස්ත්‍රීන්ට යෙහෝවා දෙවි සමඟ මිත්‍රකමක් ඇතුව සිටීමටත් ඔහුට පුද්ගලිකව යාච්ඤා කරන්නත් අවස්ථාවක් තිබීමයි.—1 සාමුවෙල් 1:10.

දෙවිට ගරු බිය දැක් වූ ස්ත්‍රීන්ට පළවෙනි සියවසේදී යේසුස්ට උපස්ථාන කිරීමට අවස්ථාව ලැබුණා. (ලූක් 8:1-3) යේසුස් බෙතානියේ කෑමකට ගොස් සිටින විට ස්ත්‍රියෙක් ඔහුගේ හිස හා පාද තෙල්වලින් ආලේප කළා. (මතෙව් 26:6-13; යොහන් 12:1-7) නැවත නැඟිටුණු යේසුස්ව දුටු අය අතර ස්ත්‍රීන්ද සිටියා. (මතෙව් 28:1-10; යොහන් 20:1-18) යේසුස් ස්වර්ගයට ගිය පසු රැස් වූ 120දෙනා අතර “ඇතැම් ස්ත්‍රීන්ද යේසුස්ගේ මව වූ මරියාද” සිටි බව වාර්තා වෙනවා. (ක්‍රියා 1:3-15) මෙහි සඳහන් කළ ස්ත්‍රීන් හැමෝම වාගේ ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී යෙරුසලමේ උඩු මහල් කාමරයේ රැස් වී සිටියා. එදා දෙවිගේ බලය ලැබූ ඔවුන් විවිධ භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා.—ක්‍රියා 2:1-12.

යෝවෙල් 2:28, 29හි පවසා තිබූ අනාවැකිය පෙන්තකොස්ත දවසේදී ඉටු වන විට පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද සිටි බව පේතෘස් පැවසූ දෙයින් පැහැදිලියි. යෙහෝවා වන “මම මාගේ ආත්මයෙන් කොටසක් සියලු ආකාරයේ මිනිසුන් පිට වගුරුවන්නෙමි. එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියන්නෝය. . . . මම මාගේ දාසයන් හා දාසියන් පිට පවා ඒ දවස්වලදී මාගේ ආත්මයෙන් කොටසක් වගුරුවන්නෙමි.” (ක්‍රියා 2:13-18) පෙන්තකොස්ත දවසින් පසු යම් කලකට දෙවිගේ බලය නමැති මහත් වරප්‍රසාදය ලැබු එම ස්ත්‍රීන් බයිබලයේ පුරෝකථනය කර තිබූ සත්‍යයන් අන්‍ය භාෂාවලින් සෙනඟට පැවසුවා.

පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට ෆීබි නම් තැනැත්තියව හඳුන්වා දුන්නේ “අපේ සහෝදරි ෆීබි” කියායි. ඒ වගේම ත්‍රිෆේනා හා ත්‍රිෆෝසාව හැඳින්වූයේ “ස්වාමීන් තුළ වෙහෙසී වැඩ කරන ස්ත්‍රීන්” ලෙසයි. (රෝම 16:1, 2, 12) මේ ස්ත්‍රීන් මුල් සියවසේ පිහිටි ක්‍රිස්තියානී සභාවල වගකීම් දැරුවේ නැති වුණත් යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගික රාජ්‍යයේ පාලනය කිරීමට මොවුන්ව මෙන්ම වෙනත් බොහෝ ස්ත්‍රීන්වද දෙවි තෝරාගෙන තිබෙනවා.—රෝම 8:16, 17; ගලාති 3:28, 29.

ක්‍රිස්තියානී ස්ත්‍රීන් අද දිනත් මොන තරම් කදිම ආශිර්වාද භුක්ති විඳිනවාද! ‘යෙහෝවා වචනය දෙන්නේය. ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීන් මහත් සේනාවක්ය’ කියා ගීතාවලිය 68:11හි පවසා තිබෙනවා. එවැනි සේවයක් කරන ස්ත්‍රීන් ඇත්තෙන්ම ප්‍රශංසනීයයි. ඔවුන් දක්ෂ ලෙස බයිබල් පාඩම් පැවැත්වීම නිසා බොහෝ දෙනෙකුට සත්‍යය ඉගැන්වීම් පිළිගැනීමට හැකි වී තිබෙන අතර එය දෙවි ඉදිරියේ ඉතා අනර්ඝයි. දෙවිට සේවය කිරීම සඳහා තම දරුවන්ව පුහුණු කරන, තමන්ගේ ස්වාමිපුරුෂයන්ට සභාවේ වගකීම් ඉසිලීමට සහය වන විවාහක ක්‍රිස්තියානී ස්ත්‍රීන් මොනතරම් ආශිර්වාදයක්ද! (හිතෝපදේශ 31:10-12, 28) දෙවිගේ සංවිධානයේ අවිවාහක ක්‍රිස්තියානී කාන්තාවන්වද ඉතා අගය කොට සළකනවා. “වැඩිහිටි ස්ත්‍රීන්ව මව්වරුන් මෙන්ද, තරුණියන්ව සහෝදරියන් මෙන්ද, පවිත්‍ර සිතින් සලකන්න” කියා ක්‍රිස්තියානී පුරුෂයන්ට පවසා තිබෙන්නේ ඒ නිසයි.—1 තිමෝති 5:1, 2.

පුරුෂයෙකු සතු විවිධ වගකීම්

සෑම ක්‍රිස්තියානී පුරුෂයෙකුටම දෙවි යම් කාර්යයන් පවරා තිබෙන අතර ඒවා හොඳින් කිරීම දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. පාවුල් මෙසේ පැවසුවා. “සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස් බවත්, ස්ත්‍රියකගේ හිස පුරුෂයා බවත්, ක්‍රිස්තුස්ගේ හිස දෙවි බවත් ඔබ දැනගන්නවාට මම කැමැත්තෙමි.” (1 කොරින්ති 11:3) සෑම පුරුෂයෙකුගේම හිස ක්‍රිස්තුස්. ඒනිසා සෑම පුරුෂයෙක්ම තමන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් යේසුස්ටත් අවසානයේදී දෙවිටත් ගණන් දිය යුතුයි. ඒ වගේම තමන්ගේ මූලිකත්වය ප්‍රේමණීය ආකාරයකින් හෙබවීම සෑම පුරුෂයෙකුගෙන්ම දෙවි බලාපොරොත්තු වෙනවා. (එෆීස 5:25) මෙය මිනිස් ඉතිහාසයේ මුල පටන්ම දෙවි අපේක්ෂා කළ දෙයක්.

දෙවිගේ සැලැස්ම වුණේ පුරුෂයන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමයි. ඒ සැලැස්මට අනුව යෙහෝවා දෙවි ජලගැල්මෙන් බේරීමට නෝවාට නැවක් සාදන්න කියා පැවසුවා. (උත්පත්ති 6:9–7:24) ඒ වගේම ආබ්‍රහම් මාර්ගයෙන් සියලුම පවුල් හා ජාතීන් ආශිර්වාද ලබන බව දෙවි පොරොන්දු වුණා. ඔහුගෙන් පැවැතෙන්නන්ගේ ප්‍රධාන තැනැත්තා වුණේ යේසුස්. (උත්පත්ති 12:3; 22:18; ගලාති 3:8-16) ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවා ගැනීමට යෙහෝවා දෙවි මෝසෙස්ව යොදා ගත්තා. (නික්මයාම 3:9, 10, 12, 18) යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගේ නීතිය දුන්නේ මෝසෙස් මාර්ගයෙන්. (නික්මයාම 24:1-18) ඒ වගේම බයිබලයේ සියලුම පොත් ලියා තිබෙන්නේ පුරුෂයන් විසිනුයි.

ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස යේසුස් “පුරුෂයන්ව තෑගි වශයෙන්” දී තිබෙනවා. (එෆීස 1:22; 4:7-13) අවේක්ෂකයන්ට තිබිය යුතු සුදුසුකම් ගැන සඳහන් කළ පාවුල් ඒවා යොමු දැක් වූයේ පුරුෂයන්ට පමණයි. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) මේ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානී සභා රැක බලා ගන්නේ වැඩිමහල්ලන් හා සභා සේවකයන් ලෙස හඳුන්වන පුරුෂයන් විසිනුයි. (ෆිලිප්පි 1:1, 2; 1 තිමෝති 3:8-10) ක්‍රිස්තියානී සභාවක එඬේරුන් ලෙස එලෙස ක්‍රියා කළ හැක්කේ පුරුෂයන්ට පමණයි. (1 පේතෘස් 5:1-4) කෙසේවෙතත් අපි කලින් සාකච්ඡා කළ පරිදි ස්ත්‍රීන්ටද දෙවි යම් වරප්‍රසාද දී තිබෙනවා.

ඔවුන්ගේ කාර්යයන්හි ප්‍රීතිමත්ව

දෙවි පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට දී තිබෙන කාර්යයන්වල නිරත වීමෙන් ඔවුන් මහත් ප්‍රීතියක් අද්දකිනවා. ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් යේසුස් සහ ඔහුගේ සභාව ක්‍රියා කරන ආකාරය ගැන සිතට ගන්නවා නම් ඔවුන්ටද තම විවාහ ජීවිතය තුළ ප්‍රීතිය භුක්ති විඳිය හැකියි. පාවුල් ස්වාමිපුරුෂයන්ට මෙලෙස උපදෙස් දුන්නා. “ස්වාමිපුරුෂයෙනි, ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කර ඒ වෙනුවෙන් තම ජීවිතය දුන්නාක් මෙන්, ඔබත් ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. . . . ඔබ එකිනෙකාත් තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය.” (එෆීස 5:25-33) ස්වාමිපුරුෂයන් පවුල තුළ මූලිකත්වය දැරිය යුතු අතර එය ආත්මාර්ථකාමී ලෙස නොව ප්‍රේමණීය ලෙස හෙබවිය යුතුයි. ක්‍රිස්තුස්ගේ සභාව සෑදී තිබෙන්නේ කිසිම පාපයක් නොකරන පරිපූර්ණ අයගෙන් නෙවෙයි. ඒත් යේසුස් සභාවට ප්‍රේමකරන අතර එය ආදරයෙන් රැක බලා ගන්නවා. ඒ හා සමානව ක්‍රිස්තියානී ස්වාමිපුරුෂයෙක් තම භාර්යාව ප්‍රේමයෙන් රැක බලා ගත යුතුයි.

ක්‍රිස්තියානී භාර්යාවක්ද “තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.” (එෆීස 5:33) මේ සම්බන්ධයෙන් ක්‍රිස්තුස්ගේ සභාව ඇයට කදිම ආදර්ශයක්. එෆීස 5:21-24දක්වා මෙසේ පවසා තිබෙනවා. “ක්‍රිස්තුස් කෙරෙහි භය ඇතිව එකිනෙකාට යටත්ව සිටින්න. භාර්යාවෙනි, ස්වාමීන්ට මෙන් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. මන්ද, ක්‍රිස්තුස් සභාව වන ශරීරයේ ගැලවුම්කාරයාද හිසද වන්නාක් මෙන් ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය. ඉතින්, සභාව ක්‍රිස්තුස්ට යටත්ව සිටින්නාක් මෙන්, භාර්යාවන්ද තම ස්වාමිපුරුෂයන්ට සියලු කාරණාවලදී යටත් විය යුතුය.” සමහර අවස්ථාවලදී භාර්යාවකට තම ස්වාමිපුරුෂයාට කීකරු වීම අමාරු කාර්යයක් වූවත් ඇය එසේ කළ යුත්තේ එය ‘ස්වාමීන් තුළ සුදුසු’ දෙයක් වන නිසයි. (කොලොස්සි 3:18) තමන්ගේ ස්වාමිපුරුෂයාට කීකරු වෙනවා යන්නෙන් අදහස් කරන්නේ තමන් යේසුස් ක්‍රිස්තුස්ට කීකරු වීමයි. මෙය නිතරම මතකා තබා ගැනීමෙන් එසේ කිරීමට ඇයට පහසු වෙනවා.

තමාගේ ස්වාමිපුරුෂයා දෙවිට නමස්කාර කරන කෙනෙකු නොවුණත් භාර්යාවක් ඔහුගේ මූලිකත්වයට යටත් විය යුතුයි. පේතෘස් මෙසේ පවසා තිබෙනවා. “භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න. එමගින්, ඔවුන්ගෙන් සමහරෙකු වචනයට කීකරු නොවී සිටියත්, වචනයක්වත් නොපවසා ඔබේ හැසිරීම මාර්ගයෙන් ඔවුන්ව දිනාගැනීමට හැකි වේ. මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම සහ ගැඹුරු ගෞරවය දකින්නෝය.” (1 පේතෘස් 3:1, 2) සාරා තම ස්වාමිපුරුෂයා වූ ආබ්‍රහම්ට කීකරු වූ නිසා ඇයට ඊසාක්ව මොලොවට බිහි කිරීමට හැකි වූ අතර යේසුස් ක්‍රිස්තුස්ගේ මිත්තණියක් වීමේ වරප්‍රසාදයද ලැබුණා. (හෙබ්‍රෙව් 11:11, 12; 1 පේතෘස් 3:5, 6) සාරා මෙන් තම පුරුෂයන්ට කීකරු වන භාර්යාවන්ට දෙවිගේ ආශිර්වාද ලැබෙනවා නියතයි.

ස්වාමිපුරුෂයන්ට හා භාර්යාවන්ට දෙවි දී තිබෙන තැන අගය කරමින් දේව වචනයට එකඟව පවරා ඇති කාර්යයන් නිසි අයුරින් ඉටු කරන විට එය පවුලේ සාමයට හා එකමුතුකමට දායක වෙනවා. මෙයින් ප්‍රීතිය මෙන්ම තෘප්තියද ලැබෙනවා. එපමණක් නොව දෙවිගේ සංවිධානයේ ඔවුන්ට හිමි ගෞරවනීය තැනත් ඔවුන්ට අනිවාර්යයෙන් ලැබෙනවා.

[7වන පිටුවේ කොටුව]

දෙවි තමන්ට දී තිබෙන තැන ගැන ඔවුන්ට හැඟෙන දේ

සූසන් තම සැමියා ගැන පැවසුවේ මෙසේයි. “ඔහු ගෙදර මූලිකත්වය දැරුවේ හරිම ප්‍රේමණීය හා කරුණාවන්ත ආකාරයටයි. අපි තීරණ ගත්තේ එකට කතා වෙලයි. එයා පවුල වෙනුවෙන් මොනවා හරි තීරණයක් ගත්තොත් මම දන්නවා ඒක පවුලේ යහපත වෙනුවෙන් ගත්ත තීරණයක් කියලා. යෙහෝවා දෙවි පවුල තුළ ක්‍රිස්තියානී භාර්යාවන්ට දීලා තියෙන තැන ගැන මම ගොඩාක් සතුටු වෙනවා. ඒ සැලැස්ම නිසා පවුල හුඟක් ශක්තිමත් වෙනවා. අපි එකිනෙකා අතර තිබෙන ප්‍රේමණීය බැඳීම නිසා අපේ නමස්කාරයට සම්බන්ධ කාරණාවලදී යම් යම් ඉලක්ක අත් කර ගන්න අපි දෙන්නට එකට වැඩ කරන්න හැකි වී තිබෙනවා.”

මින්ඩි නම් කාන්තාවක් ඇගේ අදහස් පළ කළේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ සේවිකාවන් වන අපට දී තිබෙන තැන ඔහු අපට ප්‍රේම කරන බවට කදිම සාක්ෂියක්. මගේ මහත්තයාට ගෞරව කිරීමෙන් හා සභාවේ ඔහු දරන වගකීම්වලට සහය වීමෙන් යෙහෝවා දෙවි මට විවාහය තුළ දී තිබෙන තැන මම අගය කරන බව මට පෙන්වන්න පුළුවන් වෙලා තියෙනවා.”

[5වන පිටුවේ පින්තූර]

පුරුෂයන් මූලිකත්වය දැරීම නමැති දෙවිගේ සැලැස්මට එකඟව ඔහු නෝවා ආබ්‍රහම් සහ මෝසෙස්ට විවිධ වගකීම් බාර දුන්නා

[7වන පිටුවේ පින්තූරය]

‘ශුභාරංචිය ප්‍රකාශ කරන ස්ත්‍රීන් මහත් සේනාවක්ය’