Skip to content

පටුනට යන්න

“ඔබ සැලසුම් කරන දේ සාර්ථකව ඉටු කරගත හැකි වෙයි”

“ඔබ සැලසුම් කරන දේ සාර්ථකව ඉටු කරගත හැකි වෙයි”

“ඔබ සැලසුම් කරන දේ සාර්ථකව ඉටු කරගත හැකි වෙයි”

ගීතිකාකාර දාවිත් ලියූ ගීතිකාවක මෙසේ සඳහන් කර තිබෙනවා. “අනේ දෙවියනි, මට නිර්මල සිතක් ලබා දෙන්න. මට නැවත විශ්වසනීයව සිටීමට හැකි වන පිණිස අලුත් ආකල්පයක් මා තුළ ඇති කරන්න. ඔබ සලසා දෙන ගැලවීමෙන් ඇති වන ප්‍රීතිය මට අද්දකින්නට සලස්වන්න. දිගටම ඔබේ කැමැත්ත කිරීමට මා තුළ ආශාවක් ඇති කොට මට උපකාර කරන්න.” (ගීතාවලිය 51:10, 12 නව ලොව පරිවර්තනය, NW) දාවිත් බැත්ෂෙබා සමඟ අනාචාරයේ යෙදීමෙන් පසු පසුතැවිලි වූ ඔහු හරි දේ කිරීමට අවශ්‍ය නිර්මල සිතක් හා අලුත් ආකල්පයක් තමන් තුළ ඇති කරන්න කියා යෙහෝවා දෙවිගෙන් බැගෑපත්ව කළ ඉල්ලීමක් එහි සඳහන් වෙනවා.

අප තුළ නිර්මල සිතක් හා දෙවිගේ කැමැත්ත කිරීමට ආශාවක් ඇත්තටම දෙවි ඇති කරනවාද? එසේත් නැත්නම් නිර්මල සිතක් ඇති කරගෙන එය ආරක්ෂා කිරීමට අප වෑයම් කළ යුතුද? “යෙහෝවා සිත් පරීක්ෂා කර බලන්නේය” කියා බයිබලයේ පවසා තිබෙනවා. එහෙත් ඔහු අපේ සිතේ තිබෙන දේවල් පාලනය කිරීමට කොතෙක් දුරට මැදිහත් වෙනවාද? (හිතෝපදේශ 17:3; යෙරෙමියා 17:10) අපේ ජීවිත, ආකල්ප හා ක්‍රියා නිවැරදි කර ගැනීමට දෙවි කොතෙක් දුරට උපකාර කරනවාද?

‘අපි සැලසුම් කරන දේ සාර්ථකව ඉටු කරගැනීම’ සඳහා දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව අපේ ජීවිත ගොඩනඟා ගත යුතුයි. මෙය කළ හැකි ආකාරය දෙවිගේ නාමය අට වතාවක් සඳහන් වන හිතෝපදේශ 16වෙනි පරිච්ඡේදයේ පළවෙනි ඡේද නවයේ පෙන්වා තිබෙනවා. (හිතෝපදේශ 16:3) පාලකයෙක් හා රජ කෙනෙක්ගේ වගකීම් ගැන 10වෙනි ඡේදයේ සිට 15වෙනි ඡේදය දක්වා සඳහන් කර තිබෙනවා.

“සිත පාලනය කරගත යුත්තේ” කවුද?

“සිත පාලනය කරගත යුත්තේ මිනිසාය” කියා හිතෝපදේශ 16:1හි [NW] පවසා තිබීමෙන් පැහැදිලි වන්නේ එය අප විසින්ම කළ යුතු යමක් බවයි. යෙහෝවා දෙවි ආශ්චර්යවත් ලෙස අපේ සිත වෙනස් කරන්නේවත් එසේ කර ගැනීමට අප තුළ ආශාවක් ඇති කරන්නේවත් නැහැ. අපගේ සිත පාලනය කර ගැනීමට නම් අපි දේවවචනය පිළිබඳව නිවැරදි දැනුමක් ලබා ගැනීමත් ඒවා මෙනෙහි කිරීමත් ඒ වගේම අපේ සිතුවිලි දෙවිගේ සිතුවිලි හා සමාන කර ගැනීමට උත්සහ කිරීමත් අවශ්‍යයි.—හිතෝපදේශ 2:10, 11.

තමන් තුළ “නිර්මල සිතක්” හා “අලුත් ආකල්පයක්” ඇති කරන්න කියා දාවිත් කළ ඉල්ලීමෙන් පැහැදිලි වන්නේ ඔහු තම පාපතර ස්වභාවය තේරුම්ගෙන තිබුණු බව සහ ඔහුගේ සිත පවිත්‍ර කර ගැනීමට දෙවිගේ උපකාරය අවශ්‍ය බව ඔහු වටහාගෙන තිබූ බවයි. පාපය උරුම කරගත් අය හැටියට අපත් “මාංසයේ ක්‍රියා” කිරීමට පෙළඹෙන්න පුළුවන්. (ගලාති 5:19-21) “වේශ්‍යාකම, අපවිත්‍රකම, ලිංගික තෘෂ්ණාව, අනතුරුදායක ආශා සහ රූප වන්දනාවක් වන තණ්හාව වැනි කාරණා හා බැඳි” අපේ සිතුවිලි නසා දමන්න යෙහෝවා දෙවිගේ උපකාරය අපට අවශ්‍යයි. (කොලොස්සි 3:5) වරදට හසු නොවී සිටීමටත් අපේ සිතේ ඇතිවන නරක සිතුවිලි ඉවත් කර ගැනීමටත් දෙවිගේ උපකාරය ඉල්ලා යාච්ඤා කිරීම කොතරම් වැදගත්ද!

අපිට අන් අයගේ “සිත පාලනය” කරගැනීමට උපකාර කරන්න පුළුවන්ද? “නොසැලකිලිමත් ලෙස කතා කරන්නාගේ වචන කඩුවෙන් අනින්නාක් මෙනි. නමුත් ප්‍රඥාවන්තයන්ගේ වචන සුවය ගෙන දෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 12:18, NW) අපේ දිවෙන් සුවයක් හට ගන්නේ අපි දෙන “පිළිතුර යෙහෝවා දෙවිගෙන්” පැමිණෙනවා නම්, එනම් බයිබලයේ සඳහන් සත්‍යයයන්ට එකඟව අපි කතා කරනවා නම් පමණයි.—හිතෝපදේශ 16:1ආ, NW.

“සිත සැම දේටම වඩා වංචා සහිතය; ඉතා රෝගාතුරය; ඒක කාට දැනගන්ට පුළුවන්ද?” (යෙරෙමියා 17:9) අපේ සිත නිතරම නැඹුරු වන්නේ නිදහසට කරුණු කියමින් අපවම රවටා ගැනීමටයි. මේ ගැන සාලමොන් රජ මෙසේ අනතුරු ඇඟෙව්වා. “මිනිසෙකුට තමාගේ සියලු ක්‍රියා හරියයි පෙනේ. නමුත් යෙහෝවා දෙවි චේතනා සෝදිසි කර බලයි.”හිතෝපදේශ 16:2, NW.

තමන් ගැන වුවමනාවට වඩා සැලකිල්ලක් දක්වන කෙනෙක් තමන් අතින් වන වැරදි සාධාරණීකරණය කරන අතර ඒවා වසා ගැනීමටද උත්සහ කරයි. එපමණක්ද නොව තමන්ගේ වැරදි ඉදිරියේ ඇස් පියා ගෙන සිටීමටද ඔහු උත්සහ කරයි. කෙසේවෙතත් යෙහෝවා දෙවි චේතනා පරීක්ෂා කර බලන නිසා ඔහුව රවටන්න කාටවත් බැහැ. අපේ සිතුවිලි, හැඟීම් සහ චේතනා ඇති වන්නේ සිතෙන්. ඒ නිසා අපි අපේ චේතනා ගැන සැලකිලිමත් විය යුතුයි. ඊට හේතුව යෙහෝවා දෙවි “සිත් පරීක්ෂා” කරන බව බයිබලයේ පවසා තිබෙන නිසයි. ඔහු සිත් පරීක්ෂා කර ලබා දෙන විනිශ්චයන් අපක්ෂපාතියි.

“ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න”

යමක් සැලසුම් කිරීමට හොඳින් කල්පනා කර බැලීම අවශ්‍යයි. අපේ සැලසුම් සාර්ථක වෙයිද? මේ ගැන සාලමොන් රජ මෙසේ පැවසුවා. “ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔබ සැලසුම් කරන දේ සාර්ථකව ඉටු කරගත හැකි වෙයි.” (හිතෝපදේශ 16:3, NW) යෙහෝවා දෙවිට අපේ වැඩ භාර දෙනවා යන්නෙන් අදහස් කරන්නේ ඔහු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීම සහ ඔහු කෙරෙහි රඳා සිටිමින් ඔහුට යටත්ව සිටීමයි. එය හරියට අපේ කර පිට තිබෙන බරක් යෙහෝවා දෙවි මත තබනවා හා සමානයි. මේ සම්බන්ධයෙන් ගීතිකාකරු ගායනා කළේ මෙසේයි. “ඔබේ මාර්ගය යෙහෝවාට භාර දෙන්න; ඔහු කෙරෙහි විශ්වාස කරන්න; ඔහු එය ඉෂ්ට කරන්නේය.”—ගීතාවලිය 37:5.

අපේ සැලසුම් සාර්ථක වෙන්න නම් ඒවා දේවවචනයට එකඟ විය යුතු අතර එම සැලසුම් හොඳ චේතනා මත පදනම් විය යුතුයි. එපමණක්ද නොව දෙවිගේ උපකාරය ඉල්ලා දිගටම යාච්ඤා කළ යුතු අතර බයිබලයේ සඳහන් උපදෙස්වලට අනුව අපේ උපරිමය කරන්නත් දැඩි වෑයමක් දැරිය යුතුයි. අප දුක් පීඩාවලට මුහුණ දෙන අවස්ථාවලදී ‘අපේ බර යෙහෝවා පිට’ විශ්වාසයෙන් යුතුව තැබිය හැක්කේ ඔහු ‘අපව උසුලන’ බවට අපට ස්ථිර නිසයි. ඇත්තෙන්ම “ඔහු කිසිකලකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය”—ගීතාවලිය 55:22.

“යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කිරීම සඳහා සියල්ල සාදා ඇත”

යෙහෝවා දෙවිට අපේ සියලු කාර්යයන් භාර දීමෙන් ලැබෙන තවත් ප්‍රතිඵලයක් කුමක්ද? දෙවි “තම අරමුණ ඉටු කිරීම සඳහා සියල්ල සාදා ඇත” කියා ප්‍රඥාවන්ත රජ පැවසුවා. (හිතෝපදේශ 16:4අ, NW) මේ මුළු විශ්වයේම නිර්මාතෘ වන යෙහෝවා දෙවි සෑමවිටම අරමුණක් ඔස්සේ ක්‍රියා කරන දෙවි කෙනෙක්. අපි අපේ කාර්යයන් යෙහෝවා දෙවිට භාර දුන් විට අපේ ජීවිත අර්ථාන්විත වෙනවා මෙන්ම අරමුණක් ඔස්සේ ක්‍රියා කරන්නත් පටන් ගන්නා නිසා ජීවිතයේ හිස්බවක් දැනෙන්නේ නැහැ. මේ පොළොව සඳහා මෙන්ම මනුෂ්‍යයා කෙරෙහි යෙහෝවා දෙවිට තිබෙන්නේ සදාකාලික අරමුණක්. (එෆීස 3:11) දෙවි පොළොව නිර්මාණය කළේ “විසීමට” සුදුසු ස්ථානයක් ලෙසයි. (යෙසායා 45:18) දෙවි මනුෂ්‍යයන් සඳහා මුලින්ම අරමුණු කළ දේ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා නියතයි. (උත්පත්ති 1:28) අපේ ජීවිත සැබෑ දෙවිට කැප කිරීම මගින් අපේ ජීවිතවලට අරමුණක් ලැබෙනවා වගේම එය සදාකාලික එකක් වෙනවා ස්ථිරයි.

යෙහෝවා දෙවි “දුෂ්ටයාව විපත්ති දවසට නියම” කර තිබෙනවා. (හිතෝපදේශ 16:4ආ, NW) “දෙවිගේ වැඩ සම්පූර්ණ” නිසා ඔහු කිසිදාක දුෂ්ටයන්ව මැව්වේ නැහැ. (ද්විතීය කතාව 32:4) කෙසේවෙතත් තමන්ගේ නියමිත කාලයේදී විනිශ්චය ගෙනෙන තෙක් දෙවි දුෂ්ටයන්ට ජීවත් වීමට ඉඩ හැර තිබෙනවා. උදාහරණයක් ලෙස යෙහෝවා දෙවි පාරාවෝ රජට පැවසුවේ මෙසේයි. “ඔබට මාගේ බලය පෙන්වන පිණිසද මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශ වන පිණිසද ඔබ සිටින්ට සැලැස්වීමි.” (නික්මයාම 9:16) ඊජිප්තු දේශයට ගෙනා පීඩා දහය මගින් මෙන්ම පාරාවෝ හා ඔහුගේ හමුදාව රතු මුහුදේ විනාශ කිරීම මගිනුත් දෙවි තමන් සතු අසීමිත බලය විදහා පෙන්නුවා.

දෙවිට තත්වයන් වෙනස් කිරීම මගින් දුෂ්ටයන් මාර්ගයෙන් පවා තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට හැකියාව තිබෙනවා. ගීතිකාකරු මෙසේ පැවසුවා. “සැබවින් මනුෂ්‍යයාගේ උදහස ඔබට ප්‍රශංසා කරන්නේය; උදහසේ ඉතිරි කොටස ඔබ යුද්ධායුධ කොට බැඳගන්නේය.” (ගීතාවලිය 76:10) සමහර අවස්ථාවලදී දෙවි තම සේවකයන්ට විරුද්ධව කටයුතු කරන්න දුෂ්ටයන්ට ඉඩ හරින්න පුළුවන්. එමගින් දෙවිගේ සෙනඟට අවශ්‍ය තරමට හික්මවීම ලබා දීමටත් ඒ තුළින් ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීමටත් හැකි වෙනවා. නමුත් සීමාව ඉක්මවා දුෂ්ටයන්ට තම සෙනඟට පීඩා කිරීමට දෙවි ඉඩ හරින්නේ නැහැ.

දෙවි තම යටහත් පහත් සේවකයන්ට උපකාර කරනවා. නමුත් දෙවි උඩඟු පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ගැන සාලමොන් රජ පැවසුවේ මෙසේයි. “උඩඟු සිත් ඇති සියල්ලෝ යෙහෝවා දෙවිට පිළිකුලක්ය. අතට අත දුන්නත් යමෙක් දඬුවමෙන් නිදහස් නොවන්නේය.” (හිතෝපදේශ 16:5, NW) “උඩඟු සිත්” ඇති අය එකිනෙකාට උපකාර කළත් දෙවිගේ දඬුවමින් ඔවුන් කිසිදාක ගැලවෙන්න බැහැ. ඒ නිසා අපට කොතරම් දක්ෂකම් තිබුණත් අප කොතරම් ඥානවන්ත වුණත් අප කුමන ආකාරයේ වගකීම් දැරුවත් යටහත් පහත් ලෙස ක්‍රියා කිරීම කොතරම් ඥානවන්ත දෙයක්ද!

“යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය”

අපට පාපය උරුම වී තිබෙන නිසා අපේ අතින් වැරදි වෙන්න තිබෙන ඉඩ කඩ වැඩියි. (රෝම 3:23; 5:12) පාපයට හසු වන දේවල්වලින් වැළකී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? හිතෝපදේශ 16:6හි [NW] පවසා තිබෙන්නේ මෙසේයි. “ප්‍රේමණීය කරුණාව සහ සැබෑකම දැක්වීමෙන් යමෙකුට වරද නිවැරදි කළ හැක. යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති තැනැත්තා නපුරෙන් ඉවත් වෙයි” යෙහෝවා දෙවි ඔහුගේ ප්‍රේමණීය කරුණාව හා සැබෑකම තුළින් අපේ පාපවලට කමාව ලබා දුන්නද අපි පව් කිරීමෙන් වැළකී සිටින්නේ දෙවි කෙරෙහි තිබෙන ගරුබිය නිසයි. එසේ නම් දෙවි කෙරෙහි ප්‍රේමය දැක්වීමටත් ඔහුගේ ප්‍රේමණීය කරුණාව අගය කිරීමටත් දෙවිගේ සිත රිදවන ආකාරයෙන් කිසිවක් නොකිරීමටත් අප වග බලා ගත යුතු නැද්ද!

දේවගරුබිය අප තුළ ඇති වන්නේ දෙවි කෙරෙහි ගැඹුර ගෞරවයක් හා ඔහුගේ අති මහත් බලය කෙරෙහි විශ්වාසයක් තිබෙනවා නම් පමණයි. දෙවි සියලු දේ නිර්මාණය කරන විට ඔහු විදහා පෙන්වූ බලය ගැන සිතා බලන්න. යෝබ් යෙහෝවා දෙවි සතු නිර්මාණාත්මක බලය ගැන මෙනෙහි කළ නිසා ඔහුට ඔහුගේ සිතුවිලි නිවැරදි කර ගැනීමට හැකි වුණා. (යෝබ් 42:1-6) යෙහෝවා දෙවි මනුෂ්‍යයන් සමඟ කටයුතු කළ ආකාරය ගැන බයිබලයේ සඳහන් කර තිබෙන දේවල් කියවා මෙනෙහි කිරීම මගින් අපටත් යෝබ්ට හා සමාන බලපෑමක් ඇති වන්නේ නැද්ද? ගීතිකාකරු මෙසේ ගායනා කළා. “එන්න, දෙවිගේ වැඩ බලන්න; ඔහු මනුෂ්‍යය පුත්‍රයන්ට ක්‍රියා කළ හැටි භයානකය.” (ගීතාවලිය 66:5) දෙවිගේ ප්‍රේමණීය කරුණාව අපි සැහැල්ලුවට නොගත යුතුයි. ඊශ්‍රායෙලිතයන් “කැරලි ගසා ඔහුගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙව්වෝය; ඒ නිසා ඔහු ඔවුන්ට සතුරෙක් වූවේය; ඔහුම ඔවුන්ට විරුද්ධව සටන් කළේය.”(යෙසායා 63:10) අනිත් අතට “මිනිසෙකුගේ ක්‍රියාමාර්ගය යෙහෝවා දෙවිට ප්‍රසන්න වූ විට ඔහු ඒ තැනැත්තාගේ සතුරන්ට පවා ඔහු හා සමාදාන වීමට සලස්වයි.” (හිතෝපදේශ 16:7, NW) යෙහෝවා දෙවි කෙරෙහි ගරු බියක් ඇති කරගැනීම මොන තරම් වටිනා දෙයක්ද!

“අයුතුකමින් ලත් මහත් ආදායමට වඩා ධර්මිෂ්ඨකමින් ලත් ස්වල්ප දෙය යහපත” යැයි ප්‍රඥාවන්ත රජ පැවසුවා. (හිතෝපදේශ 16:8) හිතෝපදේශ 15:16හි [NW] මෙසේ පවසා තිබෙනවා. “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇතිව දේවල් ස්වල්පයක් තිබීම, කරදර ඇතිව බොහෝ දේ තිබීමට වඩා හොඳය.” මෙයින් පැහැදිලි වන්නේ ධර්මිෂ්ඨ මාර්ගයේ ගමන් කිරීමට දේවගරුබිය අත්‍යවශ්‍ය බවයි.

‘මිනිසෙකු තම ගමන ගැන සිතින් සැලසුම් කරයි’

මිනිසාව මවා තිබෙන්නේ හරි වැරැද්ද තෝරාගැනීමේ නිදහස ඇතිවයි. (ද්විතීය කතාව 30:19, 20) ‘මිනිසෙකු තම ගමන ගැන සිතින් සැලසුම් කරයි’ කියා සාලමොන් රජ පැවසීමෙන් අදහස් කළේ තේරීම් කිරීම අපේ වගකීම බවයි. නමුත් අපි දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව තේරීම් කරනවා නම් ‘ඔහු අපේ පියවර හසුරුවයි’ කියා සාලමොන් තවදුරටත් පැවසුවා. (හිතෝපදේශ 16:9, NW) අපට නිසි මගපෙන්වීම සැපයීමට යෙහෝවා දෙවිට හැකි නිසා ‘අප සැලසුම් කරන දේ සාර්ථකව ඉටු කරගත හැකි වීම’ සඳහා දෙවිගේ උපකාරය පැතීම කොතරම් ඥානවන්තද!

අපි කලින් සලකා බැලූ පරිදි සිත රැවටිලිකාර වන අතර තමන්ගේ වාසිය සඳහා කරුණු ඉදිරිපත් කිරීමටද පුළුවන. උදාහරණයක් ලෙස කෙනෙක් වැරැද්දක් කළත් ඔහුගේ සිත එය සාධාරණීයකරණය කරන්න පුළුවන්. තමාගේ එම වැරදි මාර්ග අත්හරිනවා වෙනුවට කෙනෙක් දෙවි ප්‍රේමණීය, කරුණාවන්ත දායනුකම්පිත මෙන්ම සමාව දෙන දෙවි කෙනෙක් කියා සිතා “දෙවිට මතක නැති විය; ඔහු මුහුණ හරවාගන්නේය; කිසි කලකත් දෙවි ඒක නොදන්නේය” කියා තීරණය කරන්න පුළුවන්. (ගීතාවලිය 10:11) දෙවිගේ කරුණාව ගැන එලෙස සිතීම කොතරම් වැරදිද හා භයානකද කියා ඉන් පැහැදිලි වෙනවා.

“නිවැරදි මිනුමද තරාදියද යෙහෝවා දෙවිගේය”

පුද්ගලයෙකුගේ සිතේ කල්පනාවන් ගැන කතා කිරීමෙන් පසු රජෙකු සතු වගකීම් ගැන සාලමොන් රජ පෙන්වා දෙයි. “රජෙකුගේ තොල්වලින් දෙවිගේ තීරණ නික්මිය යුතුය. ඔහු තීන්දුවක් දෙන විට ඔහුගේ මුඛයේ කිසි අවිශ්වාසවන්තකමක් නොතිබිය යුතුය.” (හිතෝපදේශ 16:10, NW) මෙය යේසුස්ගේ පාලන කාලයේදී සීයයට සීයක් ඉටු වෙයි. ඔහු පාලනය කරන්නේ දෙවිගේ කැමැත්තට අනුවයි.

යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ මූලාරම්භය ගැන කතා කරමින් ප්‍රඥාවන්ත රජ මෙසේ පැවසුවා. “නිවැරදි මිනුමද තරාදියද යෙහෝවා දෙවිගේය. මල්ලේ සියලු ගල් පඩිද ඔහුගේ නිර්මාණයන්ය.” (හිතෝපදේශ 16:11, NW) නිවැරදි මිනුම් හා තරාදි සපයා දුන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා රජෙකුට තමන් කැමති ආකාරයට ප්‍රමිති වෙනස් කරන්න බැහැ. යේසුස් මේ පොළොවේ සිටියදී මෙසේ පැවසුවා. “මාගේම අදහසට අනුව මට කිසිවක් කළ නොහැක. මට ඇසෙන පරිදි මම විනිශ්චය කරමි. තවද, මා මාගේම කැමැත්ත නොව, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කරන්න සොයන හෙයින් මා දෙන විනිශ්චය ධර්මිෂ්ඨය.” “විනිශ්චය කිරීම සම්පූර්ණයෙන්ම” තම පුත්‍රයාට දෙවි පවරා දී තිබෙන අතර පුත්‍රයා එය සීයයට සීයක්ම නිවැරදිව කරයි කියා අපට ස්ථිර විය හැකියි.—යොහන් 5:22, 30.

යෙහෝවා දෙවිව නියෝජනය කරන රජ කෙනෙකුගෙන් අපට තවත් බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? “දුෂ්ටකම් කිරීම රජවරු හෙළා දකිති. මන්ද ධර්මිෂ්ඨකම නිසා සිංහාසනය ස්ථිර වන්නේය.” (හිතෝපදේශ 16:12, NW) යේසුස්ගේ පාලන සමයේදී එම පාලනය දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති මත ගොඩනැඟුණු පාලනයක් වෙනවාට සැකයක් නැහැ. එහි “පනතෙන් නපුර” යෙදවීමට කිසිම ඉඩක් නැහැ.—ගීතාවලිය 94:20; යොහන් 18:36; 1 යොහන් 5:19.

රජගේ අනුමැතිය දිනාගැනීම

මහිමාන්විත රජ කෙනෙකු යටතේ සිටින යටත් වැසියන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? සාලමොන් රජ මෙසේ පැවසුවා. “ධර්මිෂ්ඨකමේ තොල් උතුම් රජෙකුට ප්‍රසන්නය. යහපත් දේ කතා කරන්නාට ඔහු ප්‍රේම කරයි. රජෙකුගේ කෝපය මරණ පණිවුඩ ගෙනෙන දූතයන් මෙනි. නමුත් ප්‍රඥාවන්තයා එම කෝපය සංසිඳුවන්නේ කෙසේද කියා දන්නේය.” (හිතෝපදේශ 16:13, 14, NW) යෙහෝවා දෙවිගේ සේවකයන් මෙම උපදෙස සිතට ගෙන රාජ්‍ය ප්‍රචාරය කිරීමේ හා යේසුස්ගේ ගෝලයන් වීමට අන් අයට උපකාර කිරීමේ වැඩෙහි කාර්යබහුල ලෙස නියැලෙනවා. (මතෙව් 24:14; 28:19, 20) ඔවුන් දන්නවා ඔවුන් මෙලෙස කරන සේවය දේවරාජ්‍යයේ රජට ඉතා ප්‍රසන්න දෙයක් බව. බලවත් මනුෂ්‍ය රජ කෙනෙකුගේ උදහසට ලක් නොවී ඔහුගේ අනුමැතිය දිනා ගැනීමට ක්‍රියා කිරීම වැදගත් දෙයක් නොවෙයිද? එසේ නම් දේවරාජ්‍යයේ රජගේ අනුමැතිය දිනාගැනීමට ක්‍රියා කිරීම ඊටත් වඩා කොතරම් ඥානවන්ත දෙයක්ද!

“රජෙකුගේ මුහුණේ එළියෙන් ජීවනය ලැබේ. ඔහුගෙන් ලැබෙන ප්‍රසාදය වසන්තයේ වැසි ගෙනෙන වලාකුළු මෙනි” (හිතෝපදේශ 16:15, NW) “රජෙකුගේ මුහුණේ එළිය” යන්නෙන් අදහස් කරන්නේ ඔහුගේ අනුමැතිය ලැබීමයි. ‘යෙහෝවා දෙවිගේ මුහුණේ එළියෙන්’ කීමෙන් අදහස් කරන්නේ දිව්‍ය අනුමැතියයි. (ගීතාවලිය 44:3; 89:15) වැහි වලාකුළු වර්ෂාව පැමිණෙන බවට සහතිකයක් වන අතර එයින් බෝග වගාව සශ්‍රීක වෙනවා. ඒ හා සමානව යහපත් රජ කෙනෙක්ගෙන් යහපත් දේවල් ඉටු වෙන බව නියතයි. සාලමොන් රජගේ පාලන සමයේදී සෙනඟ යම් ආශිර්වාද හා සශ්‍රිකත්වය අද්දුටුවා. දේවරාජ්‍යයේ රජගේ පාලන සමයේදී එය සම්පූර්ණ වශයෙන් භුක්ති විඳින්න යනවා.—ගීතාවලිය 72:1-17.

මේ පොළොවේ සෑම දෙයක්ම දේවපාලනයට යටත් වෙන කාලය පැමිණෙන තුරු බලා සිටින අතරතුරේදී අපි අපේ සිත පවිත්‍රව තබා ගැනීමට සෑම උත්සහයක්ම දරමු. දෙවි කෙරෙහි විශ්වාසය තබා දේවගරුබිය ඇති කර ගනිමු. අපි එසේ කරනවා නම් ‘අපේ සැලසුම් සාර්ථක’ වන බවට කිසිම සැකයක් නැහැ.—හිතෝපදේශ 16:3, NW.

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දෙවි “දුෂ්ටයාව විපත්ති දවසට නියම කර” තිබෙන්නේ කුමන අර්ථයෙන්ද?