Skip to content

පටුනට යන්න

ගෞරව කිරීමේදී ඔබ පෙරමුණ ගන්නවාද?

ගෞරව කිරීමේදී ඔබ පෙරමුණ ගන්නවාද?

ගෞරව කිරීමේදී ඔබ පෙරමුණ ගන්නවාද?

“ඔබේ සහෝදර ප්‍රේමයට සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

1, 2. (අ) පාවුල් රෝමවරුන්ට දුන් උපදෙස කුමක්ද? (ආ) අප සලකා බලන ප්‍රශ්න මොනවාද?

ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනා එකිනෙකාට ප්‍රේම කිරීමේ ඇති වැදගත්කම පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ සඳහන් කළා. අපගේ ප්‍රේමය “කුහකකමින් තොර” විය යුතු බව ඔහු අපට මතක් කරනවා. ඒ වගේම අප “සහෝදර ප්‍රේමය” පෙන්විය යුත්තේ ‘ගැඹුරු ස්නේහයකින්’ යුතුව බවද ඔහු එහි සඳහන් කළා.—රෝම 12:9, 10අ.

2 සහෝදරයන්ට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔවුන් කෙරෙහි හොඳ හැඟීමක් තිබීම පමණක් නොවෙයි. එය ක්‍රියාවලින්ද පෙන්විය යුතුයි. මන්ද එසේ නොවුණොත් අප අන් අයට ප්‍රේම කරන බව ඔවුන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසා පාවුල් අපට මෙසේ උනන්දු කළා. “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න.” (රෝම 12:10ආ) ගෞරව කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද? ගෞරව කිරීමේදී පෙරමුණ ගැනීම වැදගත් වන්නේ ඇයි? අපට එය කරන්න පුළුවන් කොහොමද?

ගෞරව කිරීමට ඇතුළත් වන දේ

3. ගෞරව කරන්න කියා බයිබලයේ සඳහන් වන විට ඉන් අදහස් කරන්නේ කුමක්ද?

3 “ගෞරවය” යන්නට යොදා ඇති මුල් හෙබ්‍රෙව් වචනයට සැහැල්ලුවට නොගැනීම යන අදහස ඇතුළත් වෙනවා. කෙනෙකුට ගෞරව කරන්න කියා බයිබලයේ සඳහන් වන විට ඉන් අදහස් වන්නේ ඔහුට ලබා දිය යුතු උසස් සැලකිල්ල ලබා දීමයි. (උත්. 45:13) “ගෞරවය” යන්නට යොදා ඇති ග්‍රීක වචනයටද ඒ හා සමාන අදහසක් එනම්, අගය කිරීම හා වටිනා කෙනෙක් ලෙස සැලකීම යන අදහස ඇතුළත් වෙනවා. (ලූක් 14:10) ඉන් පැහැදිලි වන ආකාරයට අප කෙනෙකුට ගෞරව කරනවා කීමෙන් අදහස් වන්නේ ඔහුව උසස්කොට සැලකීම හා වටිනා පුද්ගලයෙකු ලෙස සැලකීමයි.

4, 5. ගෞරව කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද?

4 ගෞරව කිරීමට ඇතුළත් වන්නේ කුමක්ද? මුලින්ම අපගේ සහෝදර සහෝදරියන් ගැන අපට ගෞරවනීය හැඟීමක් තිබිය යුතුයි. එය ඔවුන්ව ගෞරවයෙන් සැලකීමට අපව පොලඹවනවා.

5 අප කෙනෙකුට ගෞරව කළ යුත්තේ හදවතින්මයි. (3 යොහ. 9, 10) ඒ ගැන නිදර්ශනයක් සලකා බලමු. පැළයක් හොඳින් වර්ධනය වී කාලයක් පැවතීමට නම් එය සාරවත් පසක මුල් ඇද තිබිය යුතුයි. ඒ හා සමානව අප කෙනෙකුට දක්වන ගෞරවය සැමදා පවතින්නේ අප හදවතින්ම ඔහුට ගෞරව කරනවා නම් පමණයි. නමුත් ගෞරව කරන බව මවාපානවා නම් එය වැඩි කල් පවතින්නේ නැහැ. එය හරියට හොඳින් මුල් ඇද නැති පැළයක් ටික කාලයකට පසු මැළ වෙනවා හා සමානයි. ‘ප්‍රේමය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවයි’ කියා පාවුල් පැවසුවේ ඒ නිසයි.රෝම 12:9; 1 පේතෘස් 1:22 කියවන්න.

‘දෙවි හා සමාන ගතිලක්ෂණ ඇති මිනිසුන්ට’ ගෞරව කරන්න

6, 7. අප අන් අයට ගෞරව කළ යුත්තේ ඇයි?

6 කෙනෙකුට ගෞරව කළ යුත්තේ හදවතින්ම බව අප සලකා බැලුවා. එලෙස අපගේ සහෝදර සහෝදරියන්ට ගෞරව කිරීමට ශුද්ධ ලියවිල්ලේ ලබා දී ඇති හේතු දෙකක් දැන් අපි සලකා බලමු.

7 දෙවි මිනිසාව නිර්මාණය කළේ “දෙවි හා සමාන ගතිලක්ෂණ” ඇතුවයි. (යාකො. 3:9) ඒ නිසා අපට ප්‍රේමය, ප්‍රඥාව හා යුක්තිය යන දෙවිගේ ගතිලක්ෂණ තිබෙනවා. ඊට අමතරව දෙවිගෙන් අපට ලැබී තිබෙන තවත් දෙයක් ගැන ගීතිකාකරු මෙසේ සඳහන් කරනවා. ‘යෙහෝවා දෙවියනි, ඔබේ බලමහිමය මොන තරම්ද කියා මුළු අහස්තලය නැවත නැවත ප්‍රකාශ කරයි. ඔබ [මිනිසාව] දේවදූතයන්ට වඩා මදක් පහත් කළෙහිය. ඉන්පසු ඔබ ගෞරවය සහ තේජස නමැති ඔටුන්න ඔහුට පැළඳෙව්වෙහිය.’ (ගීතා. 8:1, 4, 5; 104:1) * දෙවි සෑම මිනිසෙකුටම යම් ප්‍රමාණයක ගෞරවයක් දී තිබෙනවා. ඒ නිසා අප කෙනෙකුට ලැබිය යුතු ගෞරවය ඔහුට දෙනවා නම් ඒ ගෞරවය එම තැනැත්තාට ලබා දුන් දෙවිට අප ගෞරව කරනවා කියා පැවසිය හැකියි. අප සෑම මිනිසෙකුටම ගෞරව කළ යුතු නම් අපගේ සහෝදර සහෝදරියන්ට ඊට වඩා කොපමණ වැඩියෙන් අප ගෞරව කළ යුතුද!—යොහ. 3:16; ගලා. 6:10.

එක පවුලක සාමාජිකයන්

8, 9. සෙසු ක්‍රිස්තියානීන්ට ගෞරව කිරීමට තිබෙන හේතුව ගැන පාවුල් සඳහන් කළේ කුමක්ද?

8 අප අපගේ සහෝදර සහෝදරියන්ට ගෞරව කළ යුතු තවත් හේතුවක් පාවුල් සඳහන් කළා. ඔහු පැවසුවේ, “ඔබේ සහෝදර ප්‍රේමයට සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න” කියායි. “ගැඹුරු ස්නේහය” කියා පරිවර්තනය කර ඇති ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ එකිනෙකාට සහයෝගය දක්වන ප්‍රේමණීය පවුලක් තුළ ඇති ශක්තිමත් බැඳීමයි. පාවුල් එම වචනය යොදාගැනීමෙන් අවධාරණය කළේ ක්‍රිස්තියානි සභාවේ සිටින සියලුදෙනා අතරත් එවැනි ශක්තිමත් හා ප්‍රේමණීය බැදීමක් තිබිය යුතු බවයි. (රෝම 12:5) නමුත් පාවුල් එම වචන ලිව්වේ යෙහෝවා දෙවි විසින් තම දරුවන් සේ පිළිගන්න අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටයි. ඒ නිසා ඔවුන් ඇත්තෙන්ම එකමුතු පවුලක් කියා පැවසිය හැකියි. ඔවුන් එකිනෙකාට ගෞරව කළ යුතු වීමට එය හොඳ හේතුවක් වුණා. අද දින සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ටද එය අදාළයි.

9 එකිනෙකාට ගෞරව කිරීමට ‘වෙනත් බැටළුවන්ටත්’ හොඳ හේතුවක් තිබෙනවා. (යොහ. 10:16) දෙවි ඔවුන්ව තවමත් ඔහුගේ දරුවන් ලෙස පිළිගෙන නොතිබුණත් ඔවුන් ලෝක ව්‍යාප්ත එකමුතු ක්‍රිස්තියානි පවුලක සාමාජිකයන් නිසා එකිනෙකාට සහෝදර සහෝදරියන් ලෙස ඇමතිය හැකියි. (1 පේතෘ. 2:17; 5:9) වෙනත් බැටළුවන් එකිනෙකාට සහෝදර සහෝදරියන් කීමෙන් ඇත්තටම අදහස් කරන දේ තේරුම්ගෙන තිබෙනවා නම් හදවතින්ම එකිනෙකාට ගෞරව කිරීමට ඔවුන්ට හොඳ හේතුවක් තිබෙනවා කියා පැවසිය හැකියි.1 පේතෘස් 3:8 කියවන්න.

ගෞරව කිරීම වැදගත් ඇයි?

10, 11. ගෞරව කිරීම එතරම් වැදගත් වන්නේ ඇයි?

10 ගෞරව කිරීම එතරම් වැදගත් වන්නේ ඇයි? එසේ කිරීමෙන් අපට සභාවේ යහපතට මෙන්ම එක්සත්කමට දායක විය හැකියි.

11 දිගටම ජීවන මාර්ගයේ ප්‍රීතියෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ගමන් කිරීමට අපට ශක්තිය ලැබෙන්නේ යෙහෝවා දෙවි සමඟ තිබෙන බැඳීමෙන් හා ඔහුගේ බලයෙනුයි. (ගීතා. 36:7; යොහ. 14:26) ඊට අමතරව සෙසු නමස්කාරකයන් අපව වටිනා අය ලෙස සලකා අපට ගෞරව කරද්දී අප ඉන් දිරිගැන්වීමක් මෙන්ම ශක්තියක් ලබනවා. (හිතෝ. 25:11) ඔබටත් එලෙස දැනී ඇති බවට කිසිම සැකයක් නැහැ.

12. සභාවේ ප්‍රේමණීය බැඳීමට දායක වන්න අප එක් එක් කෙනාට පුළුවන් කොහොමද?

12 යෙහෝවා දෙවි මිනිසාව නිර්මාණය කර ඇත්තේ ගෞරවය ලැබීමේ අවශ්‍යතාව ඇතුවයි. “එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී පෙරමුණ ගන්න” කියා දේවවචනයේ සඳහන් කර තිබෙන්නේ ඒ නිසයි. (රෝම 12:10; මතෙ. 7:12) සදහටම වැදගත් වන ඒ උපදෙස පිළිපැදීමෙන් සහෝදර සහෝදරියන් අතර තිබෙන ප්‍රේමණීය බැඳීම ශක්තිමත්ව තබාගත හැකියි. ඒ නිසා අප අපගෙන්ම මෙසේ අසාගනිමු. ‘මම අවසාන වතාවට සභාවේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට ගරු කරන බව පැවසුවේ හෝ ක්‍රියාවලින් පෙන්නුවේ කවදාද?’—රෝම 13:8.

සියලුදෙනාම කළ යුතු දෙයක්

13. (අ) ගෞරව කිරීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කළ යුත්තේ කවුරුන්ද? (ආ) පාවුල් රෝම 1:7හි සඳහන් කරන දෙයින් පැහැදිලි වන්නේ කුමක්ද?

13 වැඩිමහල්ලන් “පෙරමුණ ගෙන ක්‍රියා කරන” බව පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේ සඳහන් කළා. (හෙබ්‍රෙ. 13:17) ඔවුන් විවිධ ක්‍රියාකාරකම්වල පෙරමුණ ගන්නවා. රැළ රැකබලා ගන්නන් ලෙස ඔවුන් සෙසු වැඩිමහල්ලන් ඇතුලු සභාවේ සියලුදෙනාටම ගෞරව කිරීමේදීද පෙරමුණ ගත යුතුයි. උදාහරණයකට සභාවේ කාරණයක් ගැන කතා කිරීමට රැස් වන විට සෙසු වැඩිමහල්ලන් දක්වන අදහස්වලට සවන් දීමෙන් ඔවුන් එකිනෙකාට ගෞරව කරන බව පෙන්විය හැකියි. ඒ වගේම යම් තීරණයක් ගැනීමට පෙර සෙසු වැඩිමහල්ලන් දක්වන අදහස් සැලකිල්ලට ගැනීමෙන්ද ඔවුන් එකිනෙකාට ගෞරව කරනවා. (ක්‍රියා 15:6-15) කෙසේවෙතත් පාවුල් එම ලිපිය ලියනු ලැබුවේ සභාවේ වැඩිමහල්ලන්ට පමණක් නොව සියලුදෙනාටම බව මතක තබාගන්න. (රෝම 1:7) ඉන් පැහැදිලි වන්නේ අප සියලුදෙනාම එකිනෙකාට ගෞරව කිරීමේදී පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බවයි.

14. (අ) ගෞරව කිරීම සහ ගෞරව කිරීමේදී පෙරමුණ ගැනීම අතර වෙනස කුමක්ද? (ආ) අපගෙන් අසා ගත යුතු ප්‍රශ්නය කුමක්ද?

14 පාවුල් රෝමවරුන්ගෙන් ඉල්ලා සිටියේ එකිනෙකාට ගෞරව කරන්න කියා පමණක් නොව ගෞරව කිරීමේදී පෙරමුණ ගන්න කියායි. එහි වෙනස හඳුනාගැනීමට අපි උදාහරණයක් සලකා බලමු. කියවීමේ හැකියාව තිබෙන ශිෂ්‍යයන්ට කියවන්න ඉගෙනගන්න කියා ගුරුවරයෙක් උනන්දු කරයිද? නැහැ. මන්ද දැනටමත් ඔවුන් එය දන්නවා. ඒ වෙනුවට කියවීමේ දක්ෂතා දියුණු කරගැනීමට ගුරුවරයා ඔවුන්ට උනන්දු කරනවා. ඒ හා සමානව සැබෑ ක්‍රිස්තියානීන් වන අප එකිනෙකාට ගෞරව කරනවා. ඒ, අප ඔවුන්ට ප්‍රේම කරන නිසයි. (යොහ. 13:35) නමුත් කියවීමට හැකි ශිෂ්‍යයන්ට එය දියුණු කරගැනීමට උනන්දු කරනවා හා සමානව අපටද ගෞරව කිරීමේදී පෙරමුණ ගන්න කියා පාවුල් උනන්දු කළා. (1 තෙස. 4:9, 10) එය අප සෑමදෙනාගේම වගකීමක්. ඒ නිසා අපගෙන් මෙසේ අසා ගනිමු. ‘මම සභාවේ සිටින අයට ගෞරව කිරීමේදී පෙරමුණ ගන්නවාද?’

“දුප්පතාට” ගෞරව කරන්න

15, 16. (අ) ගෞරව කිරීමේදී අප නොසලකා නොහැරිය යුත්තේ කාවද? ඒ ඇයි? (ආ) අප සියලු සහෝදර සහෝදරියන්ට හදවතින්ම ගෞරව කරන බව දැනගන්න පුළුවන් කොහොමද?

15 ගෞරව කිරීමට පෙරමුණ ගැනීමේදී අප නොසලකා නොහැරිය යුත්තේ කාවද? බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි. ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.” (හිතෝ. 19:17) ගෞරව කිරීමට පෙරමුණ ගැනීමේදී එම වචනවල තිබෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න පුළුවන් කොහොමද?

16 තමන්ට වඩා උසස් නිලයක් දරන කෙනෙකුට ගෞරව කිරීමට බොහෝදෙනා පෙලඹෙන බවත් තමන්ට වඩා පහත් යයි සිතන අයට අඩු ගෞරවයක් දක්වන බවත් නැත්නම් කිසිසේත් ගෞරවය නොදක්වන බවත් ඔබ සමහරවිට දැක ඇති. නමුත් යෙහෝවා දෙවි එසේ නොවේ. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “මට ගෞරව කරන අයට මමත් ගෞරව කරමි.” (1 සාමු. 2:30; ගීතා. 113:5-7) තමාට සේවය කරන හා ගෞරව කරන සියලුදෙනාටම දෙවි ගෞරව කරනවා. ‘දුප්පත්’ අයද ඊට ඇතුළත්. (යෙසායා 57:15 කියවන්න; 2 ලේක. 16:9) අප සෑමදෙනාගේම ආශාව වන්නේ යෙහෝවා දෙවිව අනුකරණය කිරීමයි. අප හදවතින්ම අන් අයට ගෞරව කරනවාද කියා දැනගැනීමට මේ ප්‍රශ්නය සලකා බැලීම වැදගත්. ‘සභාවේ වගකීම් දරන්නේ නැති හා ප්‍රසිද්ධියක් උසුලන්නේ නැති අයට මම සලකන්නේ කොහොමද?’ (යොහ. 13:14, 15) අප ඊට ලබා දෙන පිළිතුරෙන් අප හදවතින්ම අන් අයට ගෞරව කරනවාද යන්න ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි.ෆිලිප්පි 2:3, 4 කියවන්න.

කාලය දීමෙන් ගෞරවය පෙන්වමු

17. ගෞරව කිරීමේදී පෙරමුණ ගත හැකි ප්‍රධාන ක්‍රමය කුමක්ද? අප එසේ පවසන්නේ ඇයි?

17 සභාවේ සිටින සෑම කෙනෙකුටම ගෞරව කිරීමේදී පෙරමුණ ගත හැකි ප්‍රධාන ක්‍රමය කුමක්ද? අන් අය වෙනුවෙන් අපගේ කාලය දීමයි. එය ඒ තරම්ම වැදගත් ඇයි? අප සියලුදෙනා ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ක්‍රිස්තියානීන් වන අප සභාවේ බොහෝ ක්‍රියාකාරකම්වල යෙදෙන නිසා අපට ඒ සඳහා කාලය අවශ්‍යයි. ඒ නිසා අපට කාලය හුඟක් වටිනවා. එය අප තේරුම්ගෙන තිබෙන නිසා අපගේ සහෝදර සහෝදරියන් අප වෙනුවෙන් බොහෝ කාලයක් වැය කළ යුතුයි කියා බලාපොරොත්තු වීම සාධාරණ දෙයක් නොවෙයි. එමෙන්ම සභාවේ සිටින අනික් අයද අපගේ කාලය එලෙස බලාපොරොත්තු නොවීම අප අගය කරනවා.

18. දහඅටවන පිටුවේ ඇති පින්තූරයට අනුව අප සෙසු නමස්කාරයෙකුට කාලය දීමට කැමති බව පෙන්වන්නේ කොහොමද?

18 කෙසේවෙතත් අප (විශේෂයෙන්ම සභාවේ පෙරමුණ ගෙන ක්‍රියා කරන අය) යම් කාර්යයක් නතර කර සෙසු නමස්කාරකයෙක් වෙනුවෙන් කාලය දෙනවා නම් ඉන් පෙන්වන්නේ අප ඔහුට ගෞරව කරන බවයි. එය ගෞරව කිරීමක් වන්නේ අප කරන කාර්යයට වඩා ඔහුව හෝ ඇයව අපට ඉතා වටිනා බව ඉන් පෙන්වන නිසයි. (මාක් 6:30-34) අනික් අතට අන් අය වෙනුවෙන් කාලය දීමට අප අකමැති වෙනවා නම් ඔහුව අපට එතරම් වටින්නේ නැති බව ඔහුට පවසනවා හා සමානයි. සමහර අවස්ථාවලදී අප කරමින් සිටින්නේ හදිසි කාර්යයක් නම් එය නතර කිරීමට අපට නොහැකි වෙන්න පුළුවන්. නමුත් අපගේ සහෝදර සහෝදරියන්ට අප කොතරම් ගෞරව කරනවාද කියා හෙළි වන්නේ අප ඔවුන්ට කාලය දීමට හෝ නොදීමට තීරණය කිරීම මතයි.—1 කොරි. 10:24.

පෙරමුණ ගැනීමට අධිෂ්ඨාන කරගන්න

19. අපගේ කාලය ලබා දෙනවාට අමතරව සෙසු නමස්කාරකයන්ට ගෞරව කරන බව පෙන්වන්න පුළුවන් කොහොමද?

19 සෙසු නමස්කාරකයන්ට ගෞරවය පෙන්විය හැකි තවත් ආකාර තිබෙනවා. උදාහරණයකට අප ඔවුන් වෙනුවෙන් අපගේ කාලය වැය කරද්දී අපගේ මුළු අවධානයත් ඔවුන්ට ලබා දිය යුතුයි. එහිදීත් අපට යෙහෝවා දෙවිව ආදර්ශයට ගත හැකි බව දාවිත් පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ.” (ගීතා. 34:15) අප යෙහෝවා දෙවිව අනුකරණය කිරීමට වෑයම් කරන අය ලෙස අපගේ සහෝදර සහෝදරියන් සමඟ විශේෂයෙන්ම අපගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අය සමඟ කතා කරන විට අපගේ සම්පූර්ණ අවධානය ඔහුට හෝ ඇයට ලබා දිය යුතුයි. එසේ කිරීමෙන් අප ඔවුන්ට ගෞරවය පෙන්වනවා.

20. ගෞරව කිරීම ගැන අප මතක තබාගත යුත්තේ කුමක්ද?

20 අප මෙතෙක් සලකා බැලූ ආකාරයට අපගේ සෙසු නමස්කාරකයන්ට හදවතින්ම ගෞරවය පෙන්වීමට අපට බොහෝ හේතු තිබෙනවා. අප සෑම තරාතිරමකම අයට ගෞරව කිරීමට පෙරමුණ ගත යුතුයි. එසේ කිරීමෙන් සහෝදරයන් අතර තිබෙන ප්‍රේමය හා එකමුතුකම වැඩි කිරීමට අපට දායක විය හැකියි. ඒ නිසා අප සියලුදෙනාම ගෞරව කිරීමට පමණක් නොව ගෞරව කිරීමේදී පෙරමුණ ගැනීමට වෑයම් කළ යුතුයි. ඔබ එසේ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවාද?

[පාදසටහන]

^ 7 ඡේ. අටවන ගීතිකාවේ ඇති තොරතුරු පරිපූර්ණව සිටි යේසුස්ටද අදාළ වෙනවා.—හෙබ්‍රෙ. 2:6-9.

ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද?

• අන් අයට ගෞරව කරනවා කීමට ඇතුළත් වන්නේ කුමක්ද?

• සහෝදර සහෝදරියන්ට ගෞරව කිරීමට අපට තිබෙන හේතු මොනවාද?

• එකිනෙකාට ගෞරව කිරීම වැදගත් ඇයි?

• ගෞරවය පෙන්විය හැකි ක්‍රම මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

සෙසු නමස්කාරකයන්ට ගෞරවය පෙන්වන්න පුළුවන් කොහොමද?