‘මනස ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න’
“ඔබේ මනස පොළොවේ තිබෙන දේවලට නොව ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න.”
1, 2. (අ) කොලොස්සි සභාවේ අය හිටියේ මොන වගේ අනතුරකද? (ආ) එකමුතුව ඉන්න ඔවුන්ට උදව් වුණේ පාවුල් දුන්න මොන උපදෙසද?
කොලොස්සි සභාවේ එකමුතුකමට තර්ජනයක් එල්ල වෙලා තිබුණා. එහේ හිටපු සමහරු මෝසෙස්ගේ නීතියට කීකරු වෙන්න ඕනෙ කියලා තදින්ම කිව්වා. තවත් පිරිසක් කිව්වේ ජීවිතේට සතුටක් ගේන දේවල් කරන එක කොහෙත්ම සුදුසු නැහැ කියලයි. ඒත් ඒ වගේ විවිධ අදහස් පතුරුවන එකේ තියෙන භයානකකම ගැන අනතුරු අඟවමින් පාවුල් මෙහෙම කිව්වා. “ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට යම් කෙනෙක් දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය. නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.”
2 එදා හිටපු ඒ අභිෂේක ලත් අය මිනිසුන්ගේ මත පිළි අරගෙන වැඩ කළා නම් ඒක දෙවිගේ පුත්‍රයන් විදිහට ඔවුන්ට ලැබිලා තියෙන වරප්‍රසාදයට පයින් ගහනවා වගේ දෙයක්. (කොලො. 2:20-23) පාවුල්ට ඕන වුණේ දෙවි එක්ක තිබුණු බැඳීම දිගටම තියාගන්න ඔවුන්ට උදව් කරන්නයි. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. “ඔබේ මනස පොළොවේ තිබෙන දේවලට නොව ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න.” (කොලො. 3:2) තමන්ට ස්වර්ගයේ සදහටම ජීවත් වෙන්න ලැබිලා තියෙන වටිනා වරප්‍රසාදය නිතරම මතක් කරගන්න එක අභිෂේක ලත් අය කළ යුතුම දෙයක් වුණා.
3. (අ) අභිෂේක ලත් අය මනස යොමු කරන්නේ මොන දේටද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්න ගැනද?
3 අද ඉන්න අභිෂේක ලත් අයත් නිතරම ඔවුන්ගේ මනස් යොමු කර තබාගන්නේ දේවරාජ්‍යය සහ “ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න” ඔවුන්ට තියෙන වරප්රසාදයටයි. (රෝම 8:14-17) පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් පාවුල්ගේ වචන අදාළද? “ස්වර්ගයේ තිබෙන දේවලට” මනස යොමු කර තබාගන්න ඔවුන්ට පුළුවන් කොහොමද? (යොහ. 10:16) ආබ්‍රහම් සහ මෝසෙස් කියන්නේ අමාරු කාලවලදීත් තම මනස් ස්වර්ගයේ තියෙන දේවලට යොමු කර තබාගත්ත දෙන්නෙක්. ඒ අයව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
ස්වර්ගයේ තියෙන දේවලට මනස යොමු කරන්නේ කොහොමද?
4. ස්වර්ගයේ තියෙන දේවලට මනස යොමු කර තබාගන්න වෙනත් බැටළුවන්ට පුළුවන් කොහොමද?
4 පොළොවේ සදහටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයත් නිතරම ස්වර්ගයේ තියෙන දේවලට මනස යොමු කර තියාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ යෙහෝවා දෙවිටත් ඔහුගේ රාජ්‍යයටත් ජීවිතේ මුල් තැන දුන්නොත් විතරයි. (ලූක් 10:25-27) යේසුස් එහෙම කළා. අපි කරන්න ඕනෙත් ඒ දේමයි. (1 පේතෘ. 2:21) පළවෙනි සියවසේ ක්‍රිස්තියානීන් හිටියේ ධන සම්පත් පස්සේ හඹා යන අයගෙන්, බොරු තර්ක විතර්කවලින්, දර්ශනවාදයෙන් වට වුණු සමාජයකයි. ඒ දේවල් අදත් සාතන්ගේ දුෂ්ට සමාජයේ ඒ විදිහටම තියෙනවා. (2 කොරින්ති 10:5 කියවන්න.) ඒ නිසා අපි නිතරම යේසුස්ව ආදර්ශයට අරන් යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම නැති කරන්න පුළුවන් ඕනම දේකින් අපිව ආරක්ෂා කරගන්න ඕනේ.
5. සල්ලි සහ බඩු මුට්ටු ගැන අපිට තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද කියලා දැනගන්න පුළුවන් කොහොමද?
5 සල්ලි හම්බ කරන එක ගැන, එන එන අලුත්ම බඩු මුට්ටු ගන්න එක ගැන අද සමාජයේ අයට තියෙන අදහස් අපේ මනසෙත් වැඩ කරනවද? අපි හිතන දේවලිනුත් අපි කරන දේවලිනුත් අපිට ඇත්තටම වටින්නේ මොනවද කියලා පේනවා. ඒ ගැන යේසුස් කිව්වේ මෙහෙමයි. “ඔබේ වස්තුව කොතැනද ඔබේ සිතත් ඇත්තේ එතැනමයි.” (මතෙ. 6:21) ‘මට වැඩියෙන්ම වටින්නේ මොනවද’ කියලා අපෙන්ම අහලා බලමු. සල්ලි හොයන එක ගැන, හොඳ රස්සාවක් හොයන එක ගැන, මීට වඩා සැප පහසු ජීවිතයක් ගත කරන එක ගැන හිතන්න අපි ලොකු කාලයක් වැය කරනවද? එහෙම නැත්නම් අපේ ජීවිතේ තවත් සරල කරගෙන දෙවි එක්ක තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න එක ගැන හිතනවද? (මතෙ. 6:22) යේසුස් කිව්වේ ‘මෙලොවෙහි වස්තු රැස් කරන්න’ උත්සාහ කළොත් අපිට දෙවි එක්ක තියෙන බැඳීම නැති වෙන්න ඉඩ තියෙනවා කියලයි.
6. අපි තුළ ඇති වෙන වැරදි සිතුවිලි එක්ක කරන සටන ජය ගන්න පුළුවන් කොහොමද?
6 පාපය උරුම කරගත්ත මිනිසුන් විදිහට අපි අතින් වැරදි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. (රෝම 7:21-25 කියවන්න.) දෙවිගේ බලයේ උපකාර පැතුවේ නැත්නම් අපිත් දෙවිගේ නීති ප්‍රතිපත්ති පැත්තකට දාලා “ඝෝෂාකාරී උත්සව, බේබදුකම, අනාචාරය, නින්දිත ක්‍රියා” වගේ දේවලට යොමු වෙන්න ඉඩ තියෙනවා. (රෝම 13:12, 13) ඒ නිසා වැරදි සිතුවිලි එක්ක අපි දිගටම සටන් කරන්න ඕනේ. ඒ සටන ජය ගන්න අපිට පුළුවන් වෙන්නේ ස්වර්ගයේ තියෙන දේවලට අපේ මනස යොමු කළොත් විතරයි. ඒත් එහෙම කරන එක ලේසි නැහැ. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි” කියලා පාවුල් කිව්වේ ඒ නිසයි. (1 කොරි. 9:27) අපිත් අපේ සිතුවිලි පාලනය කරගන්න ඒ වගේ වෙහෙසක් දරන්න ඕනේ. දැන් අපි දෙවිව සතුටු කරපු දෙන්නෙක් ගැන බලමු.
ආබ්‍රහම් යෙහෝවා දෙවිව විශ්වාස කළා
7, 8. (අ) ආබ්‍රහම්ට සහ සාරාට මුහුණ දෙන්න වුණේ මොන වගේ අභියෝගවලටද? (ආ) ආබ්‍රහම්ගේ මනසේ නිතරම තිබුණේ මොකක්ද?
7 තමන් ජීවත් වුණු නගරය අත්හැරලා කානාන් දේශයට යන්න කියලා දෙවි කිව්වම ආබ්‍රහම් කැමැත්තෙන්ම ඒකට කීකරු වුණා. ආබ්‍රහම්ගේ විශ්වාසයට සහ කීකරුකමට දෙවි ආශීර්වාද කළේ ඔහු එක්ක ගිවිසුමක් ඇති කරගෙනයි. “මම ඔබට ආශීර්වාද කර ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි” කියලා දෙවි ඔහුට කිව්වා. (උත්. 12:2) අවුරුදු ගාණක් ගෙවිලා ගියත් ආබ්‍රහම්ටයි සාරාටයි දරුවෙක් ලැබුණේ නැහැ. දෙවිට ඒ පොරොන්දුව අමතක වෙලාවද්ද කියලා ආබ්‍රහම් හිතුවද? ඒ වෙනකොට ඔහු ගත කරමින් හිටියේ දුෂ්කර ජීවිතයක්. ඌර් කියන ධනවත් නගරේ ගත කරපු සැප පහසු ජීවිතේ අත්හැරලා ආවා විතරක් නෙමෙයි කි.මී. 1,600කට වඩා වැඩි, දුෂ්කර ගමනක් යන්නත් ඔහුට සිද්ධ වුණා. ඒ කාලය පුරාම ඔහුටත් ඔහු සමඟ සිටි අයටත් නවතින්න වුණේ කූඩාරම්වල. සමහර වෙලාවට ඇති තරම් කන්න බොන්න තිබුණෙත් නැහැ. සොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් ඔවුන්ට සිද්ධ වුණා. (උත්. 12:5, 10; 13:18; 14:10-16) ඒ මොන අමාරුකම් තිබුණත් අත්හැරලා ආපු සැප පහසු ජීවිතේ හොයාගෙන ආපහු හැරිලා යන්න නම් ඔවුන් හිතුවේ නැහැ.
8 ආබ්‍රහම් “පොළොවේ තිබෙන දේවලට” මනස යොමු කරනවා වෙනුවට “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබුවා.” (උත්. 15:6) දෙවි දුන්න පොරොන්දු ගැන ඔහු නිතරම හිතුවා. ආබ්‍රහම්ගේ විශ්වාසය දැකපු දෙවි ඔහුට මෙහෙම කිව්වා. “අහස දෙස බලා තාරකා ගණන් කරන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ඔබට ඒවා ගණන් කළ හැකි නම් එසේ කරන්න. ඔබෙන් පැවතෙන අයත් එලෙසම වන්නෝය.” (උත්. 15:5) ඒක අහපුවම දෙවි තමන්ට දුන්න පොරොන්දුව අමතක කරලා නැහැ කියලා ආබ්‍රහම්ට තේරුණා. අහසේ තරු දිහා බලන වාරයක් ගානේ තමන්ගෙන් විශාල සෙනඟක් බිහි කරනවා කියලා දෙවි දුන්න පොරොන්දුව ඔහු මතක් කරගන්න ඇති. පොරොන්දු වුණා වගේම නියමිත කාලෙදී දෙවි ආබ්‍රහම්ට පුතෙක් ලබා දුන්නා.
9. ආබ්‍රහම්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?
9 දෙවි දීලා තියෙන පොරොන්දු ඉටු වෙනකල් අපිත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. (2 පේතෘ. 3:13) අපි අපේ මනස් ස්වර්ගයේ තියෙන දේවලට යොමු කළේ නැත්නම් ඒවා ඉටු වෙන්න පරක්කු වෙනවා කියලා අපිට හිතෙයි. එතකොට දෙවිට සේවය කරන්න අපිට තිබුණු උද්යෝගය ටිකෙන් ටික අඩු වෙලා යයි. පුරෝගාමි සේවය කරන්න නැත්නම් වෙනත් විදිවලින් දෙවිට වැඩියෙන් සේවය කරන්න අතීතයේදී ඔයා කැප කිරීම් කරන්න ඇති. ඒත් දැන් ඔයා මොනවද කරන්නේ? ඔයාත් පුළුවන් හැම දේම දෙවි වෙනුවෙන් කරන අතරේ අනාගත ආශීර්වාද දිහා බලාගෙන හිටපු ආබ්‍රහම් වගේද? (හෙබ්‍රෙ. 11:10) ආබ්‍රහම් ‘දෙවිව විශ්වාස කරලා’ වැඩ කරපු නිසා දෙවි ඔහුව සැලකුවේ තමන්ගේ මිතුරා විදිහටයි.
මෝසෙස් ‘නොපෙනෙන තැනැත්තාව දැක්කා’
10. මෝසෙස් හැදී වැඩුණේ මොන වගේ පරිසරයකද?
10 ස්වර්ගයේ දේවලට මනස යොමු කරලා තියාගත්ත තවත් කෙනෙක් තමයි මෝසෙස්. ඊජිප්තුව ලෝක බලයක්ව පැවතුණ කාලේ ඊජිප්තු රජ පවුලේ සාමාජිකයෙක් විදිහට මෝසෙස් හැදී වැඩුණා. බයිබලේ කියන්නේ “ඊජිප්තුවරුන් ලැබූ දැනුම් සම්භාරය ලබාගන්න මෝසෙස්ටත් හැකි වුණා” කියලයි. ඒ උසස් අධ්‍යාපනය නිසා “ඔහු දැනුමෙන් හා ක්‍රියාවෙන් ඉතා දක්ෂ කෙනෙක්” වුණා. (ක්‍රියා 7:22) ඔහුගේ පවුල් පසුබිමත් ඔහු ලබපු අධ්‍යාපනයත් නිසා බලවත්, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න අවස්ථාව තිබුණත් මෝසෙස්ට වැදගත් වුණේ වෙනත් දෙයක්.
11, 12. මෝසෙස්ට වැදගත් වුණේ ඔහු ලබපු මොන අධ්‍යාපනයද? අපි ඒක දන්නේ කොහොමද?
11 පුංචි කාලෙදී මෝසෙස්ගේ අම්මා හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා ගැන එයාට උගන්නලා තිබුණා. දෙවි ගැන අම්මාගෙන් ඉගෙනගත්ත ඒ පාඩම් අනිත් හැම දේටම වඩා මෝසෙස්ට වැදගත් වුණා. වස්තුව, බලය ලබාගන්න ඔහුට තිබුණු අවස්ථාව පැත්තකට දාලා දෙවිට සේවය කරන්න ඔහු තෝරගත්තේ හරිම කැමැත්තෙන්. (හෙබ්‍රෙව් 11:24-27 කියවන්න.) පුංචි කාලෙදී මෝසෙස්ට ලැබුණු පුහුණුවත් යෙහෝවා දෙවි ගැන ඔහුට තිබුණු විශ්වාසයත් ස්වර්ගයේ දේවලට මනස යොමු කරලා තියාගන්න ඔහුට ලොකු උදව්වක් වුණා.
12 ලෝකෙ තියෙන හොඳම අධ්‍යාපනය හැදෑරුවත් ඒ අධ්‍යාපනය යොදාගෙන ඊජිප්තුවේ බලවත්, ධනවත්, ජනප්‍රිය කෙනෙක් වෙන්න මෝසෙස්ට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ඔහු “පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළ අතර, පව්කාර දේවල් කරමින් තාවකාලික සැප භුක්ති විඳිනවා වෙනුවට දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තේය” කියලා බයිබලේ කියනවා. දෙවි බලාපොරොත්තු වුණු විදිහට දේවල් කරන්න මෝසෙස්ට උදව් වුණේ යෙහෝවා දෙවි ගැන ඔහු ලබපු දැනුමයි.
13, 14. (අ) දෙවිගේ සෙනඟව බේරගන්න කලින් මෝසෙස් ඉගෙනගන්න ඕන වුණේ මොනවද? (ආ) ඔහු වගේ අපිත් ඉගෙනගන්න ඕනෙ මොනවද?
13 යෙහෝවා දෙවිටත් ඒ කාලේ වහලුන් වෙලා හිටපු දෙවිගේ සෙනඟටත් මෝසෙස් හුඟක් ආදරේ කළා. වයස 40දී මෝසෙස් හිතුවේ තමන්ගේ සෙනඟව බේරගන්න ඔහුට පුළුවන් කියලයි. (ක්‍රියා 7:23-25) ඒත් මෝසෙස් තාමත් ඒකට සූදානම් නැහැ කියලා දෙවි දැනගෙන හිටියා. නිහතමානිකම, ඉවසීම, මෘදුකම, තමන්වම පාලනය කරගැනීම වගේ ගුණාංග මෝසෙස් ඉගෙනගන්න ඕන කියලා දෙවි දැක්කා. (හිතෝ. 15:33) ඉදිරියේදී එන ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දෙන්න මෝසෙස්ට හොඳ පුහුණුවක් අවශ්‍ය වුණා. අවුරුදු 40ක් එඬේරෙක් විදිහට ගත කරපු ජීවිතෙන් ඔහුට ඒ පුහුණුව අඩුවක් නැතුව ලැබුණා.
14 දෙවිගෙන් ලබපු ඒ පුහුණුව නිසා ‘මෘදු ගුණැති කෙනෙක් වෙන්න’ මෝසෙස්ට පුළුවන් වුණා. (ගණන්. 12:3) විවිධ පුද්ගලයන් එක්ක ඉවසීමෙන් වැඩ කරන්නත් ඔවුන්ට තිබුණු ප්‍රශ්න තේරුම්ගන්නත් මෝසෙස්ට පුළුවන් වුණේ ඔහු නිහතමානිකම ඉගෙනගෙන තිබුණු නිසයි. (නික්. 18:26) ළඟ ළඟම එන “මහත් පීඩාවෙන්” බේරිලා පාරාදීසයේ ජීවත් වෙන්න අපිට උදව් වෙන ගුණාංග අපිත් වර්ධනය කරගන්න ඕනේ. (එළි. 7:14) සමහරුන් ඉක්මනටම හිත රිද්දවගන්නවා, අමනාප වෙනවා කියලා අපිට හිතෙයි. ඒ අය එක්කත් සහයෝගයෙන්, ආදරෙන් වැඩ කරන්න අපිට පුළුවන්ද? ඒක කරන්න පාවුල්ගේ මේ වචන අපිට උදව් වෙනවා. “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න. ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.”
ස්වර්ගයේ තියෙන දේවලට අපේ මනස දිගටම යොමු කර තියාගමු
15, 16. (අ) අපේ මනස යහපත් දේවලට යොමු කරලා තියාගන්න ඕනෙ ඇයි? (ආ) අපි නිතරම යහපත් ලෙස හැසිරෙන එක අත්‍යවශ්‍ය ඇයි?
15 අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයකයි.” (2 තිමෝ. 3:1) ඒ නිසා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න නම් අපි දිගටම මනස යහපත් දේවලට යොමු කරලා තියාගන්න ඕනේ. (1 තෙස. 5:6-9) ඒක කරන්න පුළුවන් විදි තුනක් ගැන දැන් බලමු.
16 අපේ හැසිරීම: දෙවි කියලා තියෙන විදිහට අපි ජීවත් වෙද්දී ලැබෙන ප්‍රතිඵලය ගැන පේතෘස් මෙහෙම කියනවා. “මේ සමාජයේ සිටින ජනයා අතරෙහි දිගටම යහපත් ලෙස හැසිරෙන්න. එවිට . . . ඔබේ යහපත් ක්‍රියා දැක දෙවි සියල්ල සෝදිසි කිරීමට පැමිණෙන කාලයේදී ඔවුහු ඔහුට ගෞරවය දෙනු ඇත.” (1 පේතෘ. 2:12) අපි ගෙදර හිටියත් රැකියාවට ගියත් පාසැලට ගියත් විනෝද වුණත් දේවසේවයේ ගියත් දෙවිට ප්‍රශංසාවක් ගේන විදිහට හැසිරෙන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. ඇත්ත, අසම්පූර්ණ අය විදිහට අපි අතින් අඩුපාඩු වෙයි. (රෝම 3:23) ඒත් අපි අධෛර්යය වෙන්න හොඳ නැහැ. “සත්‍ය ඉගැන්වීම්වලට එකඟව විශ්වාසවන්තව කටයුතු කිරීම සඳහා සටන් කරන්න. එය යහපත් සටනකි” කියලා බයිබලේ කියනවා. යෙහෝවා දෙවිගේ උදව් තියෙන නිසා ඒ සටන කරන්න අපිට පුළුවන්.
17. යේසුස් තුළ තිබුණු ආකල්පය අපිට අනුකරණය කරන්න පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
17 අපේ ආකල්ප: අපේ හැසිරීම හොඳ වෙන්නේ අපි හිතන විදිහ හොඳ වුණොත් විතරයි. පාවුල් මෙහෙම කිව්වා. “යේසුස් තුළ තිබුණු ආකල්පයම ඔබ තුළත් තිබිය යුතුයි.” (ෆිලි. 2:5) යේසුස්ට තිබුණේ මොන වගේ ආකල්පයක්ද? ඔහු නිහතමානියි. ඒ නිසා යෙහෝවා දෙවිට උපරිමයෙන් සේවය කරන්න ඔහුට ඕන වුණා. ඔහු නිතරම හිතුවේ ශුභාරංචිය දේශනා කරන එක ගැනයි. (මාක් 1:38; 13:10) ඔහු දෙවි කියලා තියෙන දේට එහායින් කිසිම දෙයක් කළේ නැහැ. (යොහ. 7:16; 8:28) ශුද්ධ ලියවිලි උනන්දුවෙන් අධ්‍යයනය කරපු නිසා ඒවා උපුටා දක්වන්නත් ඒවා වැරදි විදිහට යොදාගන්න අයව නිවැරදි කරන්නත් ලියවිලි හොඳින් පැහැදිලි කරන්නත් ඔහුට පුළුවන් වුණා. අපි නිහතමානී නම්, උද්යෝගයෙන් දේශනා සේවයේ හවුල් වෙනවා නම්, දේවවචනය හොඳින් අධ්‍යයනය කරනවා නම් අපිටත් පුළුවන් යේසුස් තුළ තිබුණු ආකල්පය ඇති කරගන්න.
18. දෙවිගේ කැමැත්ත වෙනුවෙන් අපේ සහයෝගය දෙන්න පුළුවන් කොහොමද?
18 දෙවිගේ කැමැත්ත වෙනුවෙන් දෙන අපේ සහයෝගය: ‘ස්වර්ගයෙහිද පොළොවෙහිද සිටින සියලුදෙනා’ යේසුස්ට යටත් වෙන එක දෙවිගේ අරමුණයි. (ෆිලි. 2:9-11) යේසුස් මොන තරම් උසස් තනතුරක් දැරුවත් නිහතමානීව දෙවි භාර දෙන හැම දේම කරනවා. අපි කරන්න ඕනෙත් ඒකමයි. (1 කොරි. 15:28) “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න” කියලා යේසුස් භාර දීපු වැඩේට අපේ උපරිමයෙන් සහය දුන්නොත් අපිට ඒක කරන්න පුළුවන්. (මතෙ. 28:19) ඒ වගේම ‘සියලුදෙනාටම යහපත් දේවල් කරන’ එකත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. අපේ අසල්වැසියන්ටත් අපේ සහෝදර සහෝදරියන්ටත් උදව් කරලා අපිට ඒක කරන්න පුළුවන්.
19. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?
19 ස්වර්ගයේ තියෙන දේවලට මනස යොමු කරලා තියාගන්න කියලා අපිට නිතරම මතක් කරන එක ගැන අපි යෙහෝවා දෙවිට මොන තරම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! අපිට තියෙන “ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවන්න” අපිට පුළුවන් හැම දේම කරමු. (හෙබ්‍රෙ. 12:1) දෙවි එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරන යහපත් දේවල් ගැන නිතරම හිතමු. ඒ වගේම අපි කරන හැම යහපත් දෙයක්ම “යෙහෝවා දෙවිට කරන්නා සේ මුළු හදවතින්ම කරන්න” අධිෂ්ඨාන කරගමු. (කොලො. 3:23, 24) එහෙම කළොත් දෙවි අපිට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.