Skip to content

පටුනට යන්න

දුක් කරදර මැද නොසැලී

දුක් කරදර මැද නොසැලී

දුක් කරදර මැද නොසැලී

සෝලෙඩාඩ් කාස්ටියෝ

මගේ සැමියා මිය යද්දී මට වයස අවුරුදු 34යි. ඊට අවුරුදු හයකට පස්සේ මගේ තාත්තා මිය ගියා. ඉන් මාස අටකට පස්සේ මගේ පුතාට දරුණු රෝගයක් වැලඳී ඇති බව වෛද්‍යවරුන් පැවසුවා.

මගේ නම සෝලෙඩාඩ්. ඒකේ තේරුම “තනිකම.” ඒත් මම කවදාවත් තනිකමක් අද්දැකලා නැහැ. මම විපත්තිවලට මුහුණ දෙද්දී මට දැනුණේ යෙහෝවා දෙවි ‘මගේ දකුණතින් අල්ලාගෙන මට උපකාර කරනවා වගෙයි. ඒ නිසා මම භය වුණේ නැහැ.’ (යෙසායා 41:13) මම මුහුණ දුන් විපත්ති ගැනත් ඒ තුළින් යෙහෝවා දෙවිට තව තවත් ළං වුණු විදිහ ගැනත් මම දැන් ඕගොල්ලන්ට කියන්නම්.

මගේ ළමා විය

මම ඉපදුණේ 1961 මැයි 3වනදා ස්පාඤ්ඤයේ බාසිලෝනාවලයි. මම තමයි අපේ පවුලේ එකම දරුවා. මගේ අම්මගේ නම හෝසේ. තාත්තගේ නම සෝලෙඩාඩ්. මගේ අම්මා පල්ලි යන කෙනෙක් වුණත් ආගම ගැන අම්මට හුඟක් ප්‍රශ්න තිබුණා. ඒත් ඒ ප්‍රශ්නවලට පිළිතුරු පල්ලියෙන් ලැබුණේ නැහැ. නමුත් එක දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදරට ආපු වෙලාවේ අම්මට තිබුණ හැම ප්‍රශ්නයකටම ඒ අය බයිබලයෙන් පිළිතුරු දුන්නා. එදාම අම්මා කැමති වුණා ඒ අය එක්ක බයිබලය ගැන ඉගෙනගන්න. ඒ වෙද්දී මට වයස අවුරුදු නවයයි.

ටික කාලෙකට පස්සේ අම්මා බව්තීස්ම ලත් සාක්ෂිකරුවෙක් වුණා. අවුරුදු කිහිපයකට පස්සේ තාත්තත් සාක්ෂිකරුවෙක් වුණා. අම්මට බයිබලය ගැන කියලා දුන්නේ එලියානා කියන සහෝදරියයි. එයා තේරුම්ගත්තා මමත් බයිබලය ගැන ඉගෙනගන්න කැමතියි කියලා. ඒ නිසා ඇය මටත් බයිබලය ගැන කියලා දෙන්න පටන්ගත්තා. එලියානා මට දක්වපු සහයෝගය නිසාත් මගේ අම්මගෙන් ලැබුණු දිරිගැන්වීම් නිසාත් මට පුළුවන් වුණා වයස අවුරුදු 13දී බව්තීස්ම වෙන්න.

මම පොඩි කාලේ ඉඳලා නිතරම විශේෂයෙන් තීරණ ගන්න වෙන අවස්ථාවලදී යෙහෝවා දෙවිට යාච්ඤා කළා. මගේ සභාවේ මට යාළුවෝ හුඟක් හිටියා. ඒ වගේම මට අම්මයි තාත්තයි එක්ක කිට්ටු බැඳීමක් තිබුණා. වර්ෂ 1982දී මම විවාහ වුණෙත් යෙහෝවා දෙවිට නමස්කාර කරන කෙනෙක් සමඟමයි. එයාගේ නම ෆෙලීපෙ. මම වගේම එයත් කැමති වුණේ යෙහෝවා දෙවිට සේවය කරන්නයි.

දරුවාව පුහුණු කිරීම

අපි විවාහ වෙලා අවුරුදු පහකට පස්සේ අපිට ලස්සන පුංචි පුතෙක් ලැබුණා. එයාගේ නම සාවූල්. එදා මමයි මහත්තයයි හුඟක් සතුටු වුණා. අපිට ඕනෙ වුණේ අපේ පුතා දෙවිට ප්‍රේම කරමින් නිරෝගී දරුවෙක් ලෙස වැඩෙනවා දකින්නයි. අපි පුතාට යෙහෝවා දෙවි ගැන කියලා දෙන්නත් එකට කෑම කන්නත් ළමා උද්‍යානවලට එක්කන් යන්නත් එයා එක්ක සෙල්ලම් කරන්නත් හුඟක් කාලය ගත කළා. ෆෙලීපෙ එක්ක දේශනා සේවයේ යන්න පුතා හරිම කැමතියි. දේශනා සේවයේ ගියාම ගෙවල්වල සීනු නාද කරන්නත් ඔවුන්ට පත්‍රිකා දෙන්නත් ෆෙලීපෙ පුතාව පොඩි කාලේදීම පුහුණු කළා.

අපෙන් ලැබුණු ආදරය සහ පුහුණුව සාවූල්ට හුඟක් ප්‍රයෝජනවත් වුණා. අවුරුදු හයේ ඉඳලා පුතා අපි එක්ක දිගටම සේවයේ හවුල් වුණා. බයිබල් කතන්දර අහන්නත් අපි පවුලක් හැටියට කරපු බයිබල් පාඩමට හවුල් වෙන්නත් සාවූල් ලොකු උනන්දුවක් දැක්වුවා. එයා පාසැල් යන්න පටන්ගත්ත මුල් කාලයේ ඉඳලාම එයාට තිබුණු බයිබල් දැනුම නිසා හරි තීරණ ගන්න එයාට පුළුවන් වුණා.

මේ විදිහට කාලය ගෙවී යද්දී ෆෙලීපෙගේ පෙණහලුවල වයිරස් ආසාදනයක් ඇති වුණා. ඒ වෙද්දී පුතාට වයස අවුරුදු හතයි. ඒ අසනීපය නිසා ෆෙලීපෙ මාස 11ක් තිස්සේ දුක් වින්දා. ඒ කාලයේදී එයාට කිසිම වැඩක් පලක් කරගන්නවත් පුළුවන් වුණේ නැහැ. මේ නිසා අපි ගත කරමින් සිටි ජීවිතය වෙනස් වුණා. කනගාටුදායක ලෙස අවුරුදු 36දී ෆෙලීපෙ මිය ගියා.

ඒ කාලය මතක් වෙද්දී මට තාමත් ඇඬෙනවා. වයිරස් ආසාදනය නිසා මගේ සැමියා දුක් විඳිනවා මම දැක්කත් මට ඒ වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. මම බලාපොරොත්තුවෙන් හිටපු පවුල් ජීවිතය මට භුක්ති විඳින්න බැරි වුණත් මම නිතරම උත්සාහ කළේ ෆෙලීපෙව දිරිගන්වන්නයි. ඒ නිසා මම එයාට ඇහෙන්න අපේ ක්‍රිස්තියානි පොත් පත් කියෙව්වා. සමහර දවස්වලදී රැස්වීම් අතපසු වෙද්දී අපි කියවපු ඒ තොරතුරු අපට ශක්තියක් වුණා.

දේවල් දරාගන්න දෙවිගේ උපකාරය ඉල්ලා මම නිතරම දෙවිට යාච්ඤා කරනවා. ඇත්තටම ඔහු මාව ශක්තිමත් කළා. ඒ වගේම අවුරුදු ගාණක් මටයි ෆෙලීපෙටයි සතුටෙන් පවුල් ජීවිතය ගත කරන්න දුන් අවස්ථාව ගැනත් නැවත නැඟිටීමේදී ෆෙලීපෙව දකින්න ලබා දී තිබෙන බලාපොරොත්තුව ගැනත් මම දෙවිට ස්තුති කරනවා. මගේ විවාහ ජීවිතයේ සුමිහිරි මතකයන් සමඟ සතුටින් ඉන්නත් යෙහෝවා දෙවිට ප්‍රේම කරන දරුවෙක් හැටියට මගේ පුතාව හදා වඩා ගන්නත් උපකාර කරන්න කියලා මම දෙවිට යාච්ඤා කළා. එතකොට මට ලොකු සහනයක් දැනුණා.

මගේ දෙමව්පියන් වගේම මගේ ආගමේ අයත් මට හුඟක් උපකාර කළා. ඒ වුණත් පුතාට බයිබලයේ තියෙන දේවල් ඉගැන්වීමෙත් දෙවිට සේවය කළ යුතු ආකාරය ගැන කියා දීමෙත් වගකීම තියෙන්නේ මට කියලා මම තේරුම්ගත්තා. මට කාර්යාලයක සේවය කරන්න අවස්ථාව ලැබුණත් පුතා පාසැල් ගිහින් ගෙදර ආවම එයා එක්ක ඉන්න ඕනේ නිසා මම තීරණය කළා පිරිසිදු කිරීමේ රැකියාවක් කරන්න.

දෙවිට කීකරුව ජීවත් වෙන දරුවෙකු ලෙස පුතාව පුහුණු කිරීමේ ඇති වැදගත්කම එක බයිබල් පදයකින් මට තදින්ම කාවැදුණා. ඒ පදයේ සඳහන් වුණේ මෙහෙමයි. “දරුවෙකුට නිසි මඟ පෙන්වීම දෙන්න. එවිට ඔහු වැඩුණු කලද එයින් අහක්ව යන්නේ නැත.” (හිතෝපදේශ 22:6, නව ලොව පරිවර්තනය, NW) මම දැනගත්තා සාවූල්ව නිසි මාර්ගයේ පුහුණු කරන්න මම දරන වෙහෙසට යෙහෝවා දෙවි ආශීර්වාද කරන කියලා. මගේ පුතා එක්ක වැඩිපුර කාලයක් ගත කරන්න ඕනෙ නිසා මම හුඟක් දේවල් කැප කළා.

සාවූල්ට වයස අවුරුදු 14දී මගේ තාත්තා මිය ගියා. ඒ අවස්ථාවේදී පුතාට එයාගේ තාත්තගේ මරණය මතක් වුණු නිසා එයා හුඟක් දුක් වුණා. මගේ තාත්තා යෙහෝවා දෙවිට ප්‍රේම කරමින් කදිම ආදර්ශයක් තබා තිබෙනවා. තාත්තගේ මරණයත් එක්කම සාවූල් තේරුම්ගත්තා අම්මවයි ආච්චිවයි බලාගැනීමේ වගකීම ඔහු සතු බව.

ලියුකේමියාව සමඟ සටන

තාත්තගේ මරණයෙන් මාස අටකට පස්සේ අපේ පවුලේ වෛද්‍යවරයා කිව්වා සාවූල්ට හුඟක් තෙහෙට්ටුව දැනෙන නිසා ඔහුව රෝහලකට ගෙනියන්න කියලා. රෝහලේදී පරීක්ෂණ කිහිපයක් කළාට පස්සේ පුතාට ලියුකේමියාව වැලඳී ඇති බව වෛද්‍යවරුන් පැවසුවා. *

ඊළඟ වසර දෙකහමාර තුළදී සාවූල්ට විටින්විට රෝහල්ගත වෙන්න සිදු වුණා. එහිදී වෛද්‍යවරුන් පිළිකාව සුව කරන්න විකිරණ චිකිත්සා ප්‍රතිකාර මාස හයක් පුරා ලබා දුන්නා. ඊටපස්සේ අවුරුදු එකහමාරක් විතර එයා හොඳින් හිටියා. ඒත් නැවත පිළිකාව මතු වුණ නිසා වෛද්‍යවරුන් එම ප්‍රතිකාර ලබා දුන්නා. ටික කාලයක් එම ප්‍රතිකාරවලින් සහනයක් ලැබුණත් මෙවර ඔහුගේ ශරීර සෞඛ්‍යය දුර්වල වී තිබුණා. ඒ නිසා තුන්වෙනි වරට එම ප්‍රතිකාර ලබා දීමට හැකි වුණේ නැහැ. ඒ වෙද්දී සාවූල් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න තිබුණු ආශාවත් පළ කරලා තිබුණා. නමුත් කනගාටුදායක ලෙස ඔහු මිය ගියා. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 17යි.

විකිරණ චිකිත්සාවෙන් සිදු වෙන අතුරු ආබාධ අවම කරගැනීමට ලේ ගැනීම ප්‍රයෝජනවත් බව වෛද්‍යවරුන් පැවසුවා. නමුත් ලේ ගැනීමෙන් පවා එම රෝගය සුව කරන්න බැහැ. ‘ලෙයින් වැළකී සිටින්න’ කියලා දෙවි දී තිබෙන නීතියට කීකරු වෙන්න ඕනෙ නිසා අපි ලේ ශරීරගත කරන්නේ නැහැ කියලා වෛද්‍යවරුන්ට පැහැදිලිව කිව්වා. (ක්‍රියා 15:19, 20) මට රෝහලට යන්න බැරි වුණු අවස්ථා ගණනකදී සාවූල් එම තීරණය ගත්තේ තමා විසින්ම බව වෛද්‍යවරුන්ට පවසා තිබුණා. (31වන පිටුවේ ඇති කොටුව බලන්න.)

වෛද්‍යවරුන් පසුව තේරුම්ගත්තා සාවූල් තමන්ට වැලඳී තිබෙන රෝගය ගැන හොඳින් වටහාගෙන ඇති බව. මුලදී අපේ තීරණය වෙනස් කරන්න කියා පීඩනයක් එල්ල කළ ඔවුන් පසුව රුධිරය රහිත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගත්තා. සාවූල් රුධිරය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ගැන වෛද්‍යවරුන්ට පවසද්දී මට හරිම සතුටක් දැනුණා. ඇත්තටම ඔහු දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගෙන තිබුණා.

සාවූල්ට ලියුකේමියා රෝගය වැලඳී ඇති බව ආරංචි වූ කාලයේම යෙහෝවාට ළං වන්න නමැති මාතෘකාවෙන් යුත් පොත බාසිලෝනාවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පැවැත්වූ දිස්ත්‍රික් සමුළුවේදී මුදාහැරියා. ඉදිරියේදී අපි මුහුණ දෙන්න යන කටුක අද්දැකීම්වලට සාර්ථකව මුහුණ දෙන්න ඒ පොතේ තිබුණු තොරතුරු අපට ප්‍රයෝජනවත් වුණා. මමත් පුතාත් රෝහලේ හිටපු කාලයේදී අපි ඒ පොත කියෙව්වා. අපිට මුහුණ දෙන්න සිදු වූ දුෂ්කර කාලයේදී අපි ඒ පොතේ තිබුණු තොරතුරු මතක් කරගත්තා. ඒ පොතේ හැඳින්වීමේ තිබුණු බයිබල් පදය අපිට ලොකු ශක්තියක් වුණා. එහි සඳහන් වුණේ මෙසේයි. “නුඹේ දෙවිවූ යෙහෝවා වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි.”—යෙසායා 41:13.

සාවූල්ගේ කදිම ආදර්ශය

සාවූල් වැඩිහිටියෙක් ලෙස ක්‍රියා කරනවා දැකපු වෛද්‍යවරුන් හා හෙදියන් පුදුම වුණා. ඔහුව බලාගත් වෛද්‍ය කණ්ඩායම ඔහුට බෙහෙවින් ආදරය කළා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා පිළිකා රෝගය වැලඳී තිබුණු සාක්ෂිකාර දරුවන්ට මීට පෙරත් ප්‍රතිකාර කර තිබෙනවා. ඒ නිසා ඔහු සාක්ෂිකරුවන්ට ගරු කරනවා. සාවූල් තමන්ගේ විශ්වාසය වෙනුවෙන් ගත් තීරණය මරණයට මුහුණ දීමට ඔහුට තිබුණු නිර්භීතකම සහ සතුටින් සිටීම වෛද්‍යවරුන් අගය කළා. එමෙන්ම එම රෝහලේ සිටි හෙදියන් සාවූල්ට පැවසුවේ එතෙක් එම වාට්ටුවේ සිටි හොඳම රෝගියා ඔහු බවයි. ඔහු කිසිම කරදරයක් නොකළ බවත් මරණාසන්නව සිටි අවස්ථාවේදී පවා නිතරම විහිළුවෙන් සිටි බවත් ඔවුන් පැවසුවා.

එවැනි භයානක රෝගයක් වැලඳුණු අනිකුත් දරුවන් වේදනාව සහ භය නිසා වෛද්‍යවරුන්ටත් දෙමව්පියන්ටත් අකීකරු වන බව මනෝවෛද්‍යවරියක් මට පැවසුවා. නමුත් සාවූල් තුළ ඇය එවැනි දෙයක් දැක තිබුණේ නැහැ. සාවූල් සන්සුන්ව හා සුබවාදී ආකල්පයක් ඇතුව කටයුතු කිරීම ගැන ඇය පුදුම වුණා. ඒ අවස්ථාවේදී අපේ විශ්වාසයන් ගැන ඇයට පැවසීමට අපට අවස්ථාව ලැබුණා.

අපේ සභාවේ සිටි එක සහෝදරයෙක් සමහර දාට රාත්‍රියේ සාවූල්ව බලාගන්න රෝහලේ නතර වුණා. ඔහු අවුරුදු හයක් පුරා මානසික අවපීඩනයෙන් පෙළුණු කෙනෙක්. ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබුණත් ඔහුට සුවයක් ලැබී තිබුණේ නැහැ. ඔහු මට පැවසුවා සාවූල් ලියුකේමියා රෝගය නිසා හුඟක් වේදනාවෙන් සිටියත් ඔහුව බලන්න පැමිණි අයව නිතරම දිරිගැන්වුවා කියලා. “සාවූල්ගේ ඒ කදිම ආදර්ශය මානසික පීඩනයට හොඳින් මුහුණ දෙන්න ඔහුට උපකාරවත් වූ බවත්” ඔහු මට පැවසුවා.

සාවූල් මිය ගිහින් අවුරුදු තුනක් ගත වී තිබුණත් ඒ වේදනාව මට තාමත් දැනෙනවා. නමුත් යෙහෝවා දෙවි ඔහුගේ “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දෙන නිසා ඒ වේදනාව දරාගන්න මට පුළුවන්. (2 කොරින්ති 4:7) ඕනෑම අමිහිරි අද්දැකීමකින් යම් දෙයක් ඉගෙනගත හැකි බව මම තේරුම්ගත්තා. මගේ සැමියාගේ පියාගේ සහ දරුවාගේ මරණය අද්දැක තිබෙන නිසා එවැනි වේදනා අද්දකින අයව හොඳින් තේරුම්ගන්න මට දැන් පුළුවන් වී තිබෙනවා. ඒ හැම දේකටම වඩා යෙහෝවා දෙවිට තවත් ළං වෙන්න මට හැකි වී තිබෙනවා. යෙහෝවා දෙවි මට උපකාර කරමින් තවමත් මගේ අතින් අල්ලාගෙන ඉන්න නිසා කිසිම භයක් නැතුව අනාගතයට මුහුණ දෙන්න මට පුළුවන්.

[පාදසටහන]

^ 19 ඡේ. සාවූල්ට වැලඳී තිබුණේ වසා ලියුකේමියාව ලෙස හඳුන්වන ශරීරයේ සුදු රුධිරාණු විනාශ කර දමන දරුණු ලේ පිළිකාවක්.

[31වන පිටුවේ කොටුව/පින්තූරය]

ඔබත් ඒ ගැන කල්පනා කර තිබෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ශරීරගත කරන්නේ නැති බව ඔබ අසා ඇති. එයට හේතුව කුමක්ද කියා ඔබ කල්පනා කර තිබෙනවාද?

ඔවුන් බයිබල් ප්‍රතිපත්ති මත ගෙන තිබෙන එම තීරණය බොහෝදෙනා වරදවා වටහාගෙන තිබෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාගන්නේ නැහැ කියාත් ජීවිතය වටිනා යමක් ලෙස සලකන්නේ නැහැ කියාත් එවැනි අය සිතනවා. නමුත් එය සැබෑවක් නොවෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ට ලබාගත හැකි හොඳම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. කොහොමවුණත් ඔවුන් රුධිරය අඩංගු ප්‍රතිකාර ලබාගන්නේ නැහැ. එයට හේතුව කුමක්ද?

ඔවුන් එලෙස ක්‍රියා කරන්නේ දෙවි මිනිස් වර්ගයාට පනවා තිබෙන ඉතා වැදගත් නීතියක් නිසයි. පුරාණයේ සිටි නෝවාගේ කාලයේ සිදු වූ ජල ගැල්මෙන් අනතුරුව දෙවි නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් සතුන්ව ආහාරයට ගැනීමට අවසර දුන්නා. නමුත් රුධිරය අනුභව කිරීම දෙවි තහනම් කළා. (උත්පත්ති 9:3, 4) සියලුම මිනිසුන් නෝවාගෙන් පැවත එන නිසා එම නීතිය අද සිටින සියලුදෙනාටම අදාළයි. ඉන් සියවස් අටකට පසුව රුධිරයේ ජීවය රැඳී තිබෙන නිසා එය පරිශුද්ධ දෙයක් ලෙස සලකන්න කියා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට පැවසුවා. (ලෙවී කතාව 17:14) ඉන් වසර 1500කට පමණ පසුව දෙවි සියලුම ක්‍රිස්තියානීන්ට අණ කළේ ‘ලෙයින් වළකින්න’ කියායි.—ක්‍රියා 15:29.

මේ අනුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රුධිරය ශරීරගත කළොත් ලෙයින් වළකින්න කියා දෙවි දී තිබෙන ආඥාවට කීකරු වීමට නොහැකි වෙනවා. ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ රුධිරය රහිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නයි. ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට උසස් ගණයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලැබෙනවා. මේ හේතුව නිසා අද යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන අය පවා රුධිරය රහිත ප්‍රතිකාර ලබාගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා.

[29වන පිටුවේ පින්තූරය]

මගේ සැමියා සහ පුතා සමඟ

[29වන පිටුවේ පින්තූරය]

මගේ දෙමව්පියන් සමඟ

[30වන පිටුවේ පින්තූරය]

සාවූල් මිය යන්න මාසෙකට පෙර