Skip to content

පටුනට යන්න

වචනවලින් චිත්‍ර මවමු

වචනවලින් චිත්‍ර මවමු

වචනවලින් චිත්‍ර මවමු

කලු සුදු චිත්‍රයක් ඔබ දැක තිබෙනවාද? එම චිත්‍රයම පාට කළ විට එය කොතරම් අලංකාරද? කලු සුදු අකුරු කියවන විට වර්ණවත් චිත්‍රයක් සිතේ මවාගත හැකි බව ඔබ දන්නවාද? එසේ කිරීමට උපකාරවත් වන වචන හා යෙදුම් * බයිබලයේ සඳහන් වෙනවා. එවැනි වචන සහ යෙදුම් ඔබ දැක තිබෙනවාද? උදාහරණයකට කන්ද උඩ දේශනාව නමැති යේසුස්ගේ ප්‍රසිද්ධ දේශනයේදී 50 වතාවකට වඩා එවැනි වචන හා යෙදුම් භාවිත කර තිබෙනවා.

බයිබලය කියවද්දී මනසේ චිත්‍රයක් මවාගන්න අපට හැකි වන විට අපගේ බයිබල් කියවීම කොතරම් රසවත් වෙනවාද? එවිට කියවන දෙය අගය කරන්න අප පෙලඹෙන්නේ නැද්ද? එමෙන්ම දෙවි අපට පවසන දෙය වඩාත් හොඳින් තේරුම්ගැනීමටද එය උපකාරවත් වෙයි. නමුත් නිවැරදි චිත්‍රයක් මවාගැනීමට නොහැකි වුණොත් බයිබලයේ පවසන දේවල් පිළිබඳ වැරදි නිගමනවලට පැමිණෙන්න ඉඩ තිබෙනවා. එසේනම් නිවැරදි චිත්‍රයක් මවාගන්නේ කොහොමද?

නිවැරදි චිත්‍රයක් මවාගැනීමට

වචන හා යෙදුම්වලට උපමා හා ප්‍රස්තා පිරුළු අයත් බව අපි කලින් සඳහන් කළා. උපමා හා ප්‍රස්තා පිරුළු භාවිත කරන්නේ ඇයි? එසේ කරන්නේ යම් දෙයක් තව දෙයකට සමාන කිරීම මගින්, මනසේ චිත්‍රයක් මවාගැනීමට කෙනෙකුට උපකාර කරන්නයි. එසේනම් බයිබලයෙන් එවැනි වචන හා යෙදුම් කියවන විට නිවැරදි චිත්‍රයක් මවාගැනීම සඳහා පහත සඳහන් කරුණු තුන සැලකිල්ලට ගන්න. සාකච්ඡා කරන විෂය කුමක්ද? එය සමාන කර තිබෙන්නේ කුමකටද? එසේ සමාන කිරීමට හේතුව කුමක්ද?

බොහෝදුරට විෂය සහ එය සමාන කර තිබෙන්නේ කුමකටද යන්න තේරුම්ගන්න එතරම් අපහසු නැහැ. නමුත් එසේ සමාන කිරීමට හේතුව තේරුම්ගැනීම සැමවිටම පහසු නැති වුණත් අවට පද කියවීමෙන් එය බොහෝවිට තේරුම්ගත හැකියි. *

අපි දැන් නිදසුනක් සලකා බලමු. බයිබලයේ එළිදරව් 3:3 කියවමු. පුරාණ සර්දිස් නගරයේ පිහිටි ක්‍රිස්තියානි සභාවට යේසුස් මෙසේ පැවසුවා. “ඔබ අවදිව නොසිටින්නෙහි නම් මම සොරෙකු මෙන් එන්නෙමි.” මෙතනදී සාකච්ඡා කරන විෂය වන්නේ යේසුස්ගේ පැමිණීමයි. එය සමාන කර තිබෙන්නේ සොරෙකුගේ පැමිණීමටයි. නමුත් සමාන කිරීමට හේතුව දැනගැනීම සඳහාත් අපේ මනසේ නිවැරදි චිත්‍රයක් මවාගැනීම සඳහාත් අපි ඊළඟ වාක්‍ය බලමු. ‘මා ඔබ කරා එන්නේ කුමන පැයේදීද කියා ඔබ කිසිසේත් දන්නේ නැත’ කියා එහි සඳහන් වෙනවා. ඉන් පැහැදිලි වන්නේ යේසුස් මේ සමාන කිරීම කළේ සොරකමක් කිරීමට එන බවක් ඇඟවීමට නොව නමුත් අප නොසිතන වෙලාවක ඔහු පැමිණෙන බව කාවැද්දීමටයි.

සමහර අවස්ථාවලදී නිවැරදි චිත්‍රයක් මවාගැනීමට බයිබලයේ වෙනත් කොටසක් සලකා බලන්න සිදු වෙයි. මෙන්න එවැනි උදාහරණයක්. බයිබලයේ ලේඛකයෙකු වූ පාවුල් 1 තෙසලෝනික 5:2හි මෙසේ පැවසුවා. ‘රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් යෙහෝවා දෙවිගේ දවස පැමිණෙන බව ඔබම හොඳාකාරයෙන් දන්නවා.’ අවට පද කියවා එකපාරටම මනසේ චිත්‍රයක් මවාගැනීම පහසු නැහැ. එහෙත් පාවුල් පැවසූ දෙය හා එළිදරව් 3:3හි කලින් පැවසූ දෙය සලකා බලන විට පාවුල් එම සමානකම කළේ ඇයි කියා අපට තේරෙනවා. එවිට චිත්‍රයක් මවාගැනීම පහසු වෙනවා. මේ යෙදුම් දෙකෙන්ම කාවද්දන්නේ සෝදිසියෙන් සිටීම කොතරම් වැදගත්ද යන කාරණයයි.

දෙවි ගැන මනසේ ඇඳෙන චිත්‍රය

පුරාණයේ සිටි යෝබ් අවට තිබෙන දේවල් දැක මෙසේ පැවසුවා. “අප මේ දකින්නේ දෙවිගේ බලවත් ක්‍රියාවලින් අල්පමාත්‍රයක් පමණි. ඔහුගේ මහත් හඬෙන් අපේ සවනට වැටෙන්නේ සිහින් නාදයක් පමණි. එසේනම්, ඔහුගේ ඒ මහත් ගිගුරුම් හඬ තේරුම්ගත හැක්කේ කාටද?” (ගීතාවලිය 145:3, නව ලොව පරිවර්තනය, NW) පසු කලෙක දාවිත් රජ යෙහෝවා දෙවිගේ “ශ්‍රේෂ්ඨත්වය කොතරම්ද කියා දැනගත හැක්කේ කාටද” යයි ඇසුවා. එසේනම් සාමාන්‍ය මිනිසුන් දෙවි කවුද කියා හරියටම දැනගන්නේ කොහොමද?—යෝබ් 26:14.

දෙවිව අපට නොපෙනුණත් බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ ගරු කළ යුතු රජෙක්, නීතිදායකයෙක්, විනිශ්චයකරුවෙක් හා රණශූරයෙක් ලෙසයි. ඒ වගේම ඔහු ඉතා ප්‍රේමණීය කෙනෙක් බව පෙන්වීමට එඬේරෙක්, මඟ පෙන්වන්නෙක්, ගුරුවරයෙක්, පියෙක්, සහනය ලබා දෙන්නෙක් හා ගැලවුම්කරුවෙක් ලෙසද හඳුන්වා තිබෙනවා. (ගීතාවලිය 16:7; 23:1; 32:8; 71:17; 89:26; 103:3; 106:21; යෙසායා 33:22; 42:13; යොහන් 6:45) දෙවිව මෙවැනි සරල වචනවලින් හඳුන්වා තිබුණත් ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියා ඔබේ මනසේ චිත්‍රයක් මැවෙන්නේ නැද්ද?

යම් අවස්ථාවලදී දෙවිව ‘පර්වතයකටත්’ ‘බලකොටුවකටත්’ සමාන කර තිබෙනවා. (2 සාමුවෙල් 23:3; ගීතාවලිය 18:2; ද්විතීය කතාව 32:4) දෙවිව මේ දේවලට සමාන කිරීමට හේතුව වන්නේ දෙවි නොසැලෙන, වෙනස් නොවන කෙනෙක් බව පෙන්වන්නයි. මෙවැනි දෙවි කෙනෙකුගෙන් ඔබට මොන තරම් රැකවරණයක් ලබාගත හැකිද!

ගීතාවලිය පොතේ දෙවිගේ පෞද්ගලිකත්වයේ විවිධ පැති ගැන මනා චිත්‍රයක් මවා තිබෙනවා. උදාහරණයකට ගීතාවලිය 84:11හි දෙවිව ‘සූර්යයාට මෙන්ම පලිහකට’ සමාන කර තිබෙන්නේ ඔහු අපට ආලෝකයත් ජීවිතයත් ශක්තියත් ආරක්ෂාවත් ලබා දෙන නිසයි. අනිත් අතට ගීතාවලිය 121:5හි “යෙහෝවා දෙවි ඔබේ දකුණුපසට රැකවරණය දෙන්නේය” කියා පවසා තිබෙන්නේ දැඩි පීඩාවලදී දෙවි තම ‘හස්තයෙන් හෝ පියාපත්වලින්’ අපට ආරක්ෂාව සපයන නිසයි.—යෙසායා 51:16; ගීතාවලිය 17:8; 36:7.

යේසුස් ගැන මනසේ ඇඳෙන චිත්‍රය

බයිබලයේ යේසුස්ව හඳුන්වා තිබෙන්නේ “දෙවිගේ පුත්‍රයා” ලෙසයි. (යොහන් 1:34; 3:16-18) දෙවි මනුෂ්‍යයෙක් නොවන නිසාත් ඔහුට බිරිඳක් නැති නිසාත් ඔහුට පුත්‍රයෙක් සිටින බව සමහරුන්ට තේරුම්ගන්න අපහසුයි. එහෙත් යෙහෝවා දෙවිව හා යේසුස්ව එලෙස සමාන කර තිබෙන්නේ ඔවුන් දෙදෙනා අතර තිබෙන බැඳීම, පියෙක් හා පුතෙක් අතර තිබෙන බැඳීමට සමාන නිසයි. ඒ වගේම යේසුස්ට ජීවිතය ලබා දුන්නෙත් දෙවියි. ආදම් නමැති මුල් මිනිසාව “දෙවිගේ පුත්‍රයා” කියා හඳුන්වා තිබෙන්නෙත් ඒ නිසයි.—ලූක් 3:38.

“සැබෑ මිදිවැල මමය. වැවිලිකරු මාගේ පියාණන්ය” කියා යේසුස් පැවසුවේ යෙහෝවා දෙවි යටතේ ඔහු ඉටු කරන කාර්යය කුමක්ද කියා අපේ මනස්වල චිත්‍රයක් ඇඳීමටයි. (යොහන් 15:1, 4) ඒ වගේම ඔහුගේ ගෝලයන් ඔහු සමඟ වැඩ කරන නිසා ඔවුන්ව සමාන කළේ මිදිවැලේ අතුවලටයි. තවදුරටත් ඔහු මෙසේද පැවසුවා. “මාගෙන් වෙන්ව ඔබට කිසිවක් කළ නොහැක.” (යොහන් 15:5) දැන් ඔබේ මනසේ මැවෙන්නේ මොන වගේ චිත්‍රයක්ද? වැවිලිකරුවෙක් මිදි වැලක් පැල කර ඉන් පල බලාපොරොත්තු වෙනවා. ඒ හා සමානව දෙවිත් බලාපොරොත්තු වන්නේ, යේසුස්ගේ අනුගාමිකයන් යේසුස්ව ආදර්ශයට ගනිමින් යහපත් ගුණාංග වර්ධනය කරගෙන ඔහු කළ සේවයම කරයි කියායි.—යොහන් 15:8.

සමාන කිරීමට හේතුව තේරුම්ගන්න

සමාන කිරීමට හේතුව අපි හරියාකාරව තේරුම්ගන්නේ නැත්නම් සම්පූර්ණයෙන්ම වැරදි චිත්‍රයක් අපේ මනසේ ඇඳෙන්න ඉඩ තිබෙනවා. ඊට උදාහරණයක් සලකා බලන්න. “ඔබේ සතුරා බඩගිනිව සිටිනවා නම්, ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම්, ඔහුට බොන්න යමක් දෙන්න. මන්ද එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා ඇත” කියා රෝම 12:20හි පවසනවා. හිස පිට ගිනි අඟුරු රැස් කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? සතුරාගෙන් පළිගැනීමද? නැහැ. බයිබල් කාලවලදී පිරිසිදු ලෝහ ලබාගැනීම සඳහා කළේ යපස් ගෙන ඊට උඩින් සහ යටින් ගිනි අඟුරු දැමීමයි. එවිට සිදු වූයේ ගිනි අඟුරුවල දැඩි උෂ්ණත්වය නිසා යපස් දිය වී එහි ඇති රොඩු ඉවත් වීමයි. ඒ හා සමානව සතුරාගේ හිස පිට ගිනි අඟුරු ගොඩගසනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුට කරුණාව දැක්වීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහුගේ හිත උණු වී රොඩු වැනි නපුරු සිතුවිලි ඉවත් වීමයි. ඉන්පසු එවැනි කෙනෙක්ගෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු විය හැකියි.

මනසේ චිත්‍රයක් මවාගැනීමට හැකි වන විට එය අපේ සිතටද තදින් බලපානවා. මේ ගැන සිතන්න. අප අතින් බරපතළ වරදක් සිදු වූ විට එය හරියට, ගෙවාගන්න බැරි විශාල ණයක් වගේ. (ලූක් 11:4) නමුත් යෙහෝවා දෙවි සමාව දීමෙන් අපව ඒ ණයෙන් නිදහස් කරනවා. එය මොන තරම් සහනයක්ද! යෙහෝවා දෙවි වැරදි සිහියේ තබා නොගෙන ඒවා “මකා” දැමුවායින් පසුව නැවත කවදාවත් ඒ ණය ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ. (ගීතාවලිය 32:1, 2; ක්‍රියා 3:19) ඒ වගේම අප කරන වැරදි හරියට රතු සායම් යෙදූ වස්ත්‍රයක් වගේ නම් එය සුදු ලොම් මෙන් වීමට සලස්වන්න යෙහෝවා දෙවිට පුළුවන්. දෙවි මොන තරම් ප්‍රේමණීය කෙනෙක්ද!—යෙසායා 1:18.

බයිබලයේ උපමා හා ප්‍රස්තා පිරුළු වැනි යෙදුම් මගින් බොහෝ දේවල් ලියා තිබෙනවා. අප මේ සලකා බැලුවේ ඉන් කිහිපයක් පමණයි. ඔබ බයිබලය කියවන විට මෙවැනි වචන හා යෙදුම්වලින් රස විඳින්න. ඒ ගැන ගැඹුරින් සිතන්න. එවැනි යෙදුම් භාවිත කිරීමට හේතු වටහාගන්න. කලු සුදු අකුරුවලට ඔබ්බෙන් බලන්න. මනසේ අලංකාර චිත්‍රයක් මැවෙන ආකාරයෙන් බයිබලය කියවන්න. එවිට දෙවි පවසන දෙය වඩාත් හොඳින් තේරුම්ගන්නත් එය අගය කරන්නත් හැකි වෙනවා නොඅනුමානයි!

[පාදසටහන්වල]

^ 2 ඡේ. සිතේ වර්ණවත් චිත්‍ර මවාගැනීමට උපකාරවත් වන වචන හා යෙදුම් ලෙස මෙහි දක්වා තිබෙන්නේ උපමා, ප්‍රස්තා පිරුළු වැනි දේවල්ය.

^ 6 ඡේ. මේ සම්බන්ධයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වෙළුම් දෙකකින් යුත් ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් (සිංහලෙන් නැත) යන පොත් බොහෝ සේ උපකාරවත් වෙයි.

[13වන පිටුවේ කොටුව]

වටිනා උපකාරයක්

වටහාගැනීමට අපහසු කාරණයක් උපමා හා ප්‍රස්තා පිරුළු භාවිත කිරීමෙන් සරලව විස්තර කිරීමට හැකි වෙයි. යම් කාරණයක විවිධ පැති විස්තර කිරීමට විවිධ උපමා හා ප්‍රස්තා පිරුළු භාවිත කළ හැකියි. වැදගත් කාරණයක් මේ ආකාරයට පැහැදිලි කරන විට එය අපේ සිතේ රැඳෙනවා පමණක් නොව එමගින් කියවන්නාට විශාල සතුටක්ද ඇති වෙනවා.

[14වන පිටුවේ කොටුව]

මෙම කරුණු මතක තබාගන්න

සිතේ චිත්‍රයක් මවන යෙදුම: “ඔබ පොළොවේ ලුණුය.” (මතෙව් 5:13)

සාකච්ඡා කරන විෂය: ඔබ (යේසුස්ගේ අනුගාමිකයන්)

සමාන කර තිබෙන දෙය: ලුණු

සමාන කිරීමට හේතුව: ආහාර නරක් නොවී කල් තබාගැනීමේ හැකියාව

පාඩම: යේසුස්ගේ අනුගාමිකයන් පවසන පණිවිඩයට සවන් දෙන අයගේ ජීවිත ආරක්ෂා වන බව

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය.”ගීතාවලිය 23:1