Skip to content

පටුනට යන්න

අදටත් සාර්ථක උපදෙස් අඩංගු පොතක්

අදටත් සාර්ථක උපදෙස් අඩංගු පොතක්

අදටත් සාර්ථක උපදෙස් අඩංගු පොතක්

‘මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. එය ඉගැන්වීමටත්, අවවාද කිරීමටත්, ධර්මිෂ්ඨකමින් හික්මවීමටත් ප්‍රයෝජනවත්ය.’—2 තිමෝති 3:16.

සියවස් ගණනාවක් පුරා විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන්ගේ ජීවිත වඩා යහපත් තත්වයකට ගෙන ඒමට බයිබලයේ ඇති උපදෙස් හේතු වී තිබෙනවා. එම උපදෙස් එතරම්ම සාර්ථක වීමට හේතුව වන්නේ සැබෑ දෙවිගේ අදහස් එහි අඩංගු වී තිබීමයි. බයිබලය ලිව්වේ මිනිසුන් වුවත් එහි අඩංගු අදහස් දෙවිගේ බව බයිබලයේම මෙසේ පැහැදිලි කරනවා. “මිනිස්සු ශුද්ධාත්මය [දෙවිගේ බලය] විසින් මඟ පෙන්වනු ලැබ දෙවිගෙන් ලැබූ දේ කතා කළෝය.”—2 පේතෘස් 1:21.

බයිබලයේ ඇති උපදෙස් සාර්ථක ඒවා බව තේරුම්ගත හැකි පැති දෙකක් බලන්න. පළමුවැන්න නම්, වඩා හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා අප කළ යුතු දේවල් එහි සඳහන් වීමයි. දෙවැන්න නම්, එවැනි ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වෙනස්කම් කිරීමට අපව පෙලඹවීමේ හැකියාව එය සතු වීමයි. දැන් අපි ඒ පැති දෙක ගැන සලකා බලමු.

වටහාගැනීමේ හැකියාව ලැබෙයි

සැබෑ දෙවි වන යෙහෝවා බයිබලයේ අපට මෙවැනි පොරොන්දුවක් දීතිබෙනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.” (ගීතාවලිය 32:8, නව ලොව පරිවර්තනය, NW) එහි සඳහන් ලෙස දෙවි අපට උපදෙස් පමණක් නොව වටහාගැනීමේ හැකියාවද ලබා දෙනවා. ඒ තුළින් ඕනෑම කාරණයක් දෙස පුළුල් අවබෝධයකින් බැලීමට අපට හැකි වෙනවා. ප්‍රතිඵලයක් ලෙස අපගේ ජීවිතයට ප්‍රයෝජනවත් දේවල් මොනවාද කියා වටහාගැනීමටත් කිසිකමකට නැති දේවල් හඳුනාගෙන ඒවා මඟහැරීමටත් හැකි වෙනවා.

අද දින බොහෝදෙනා උත්සාහ කරන්නේ ධනවත් වී අනිත් අයට වඩා සමාජයේ ඉහළ තැනකට යන්නයි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් උපදෙස් සපයන පොත් පත් අද ඕනෑ තරම් තිබෙනවා. කොහොමවුණත් මුදල් පසු පස හඹා යෑමේ ඇති අන්තරාව ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘මිනිසා තුළ ඇති තරඟකාරී ස්වභාවය සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි. රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි.’ (දේශනාකාරයා 4:4; 5:10NW) එම උපදෙස අදටත් ගැළපෙනවාද?

ඒ බව තේරුම්ගැනීමට ජපානයේ ජීවත් වන අකිනොරිගේ අද්දැකීම සලකා බලන්න. දැඩි තරඟකාරිත්වයක් හමුවේ පවා ඔහු ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලැබූ අතර ප්‍රසිද්ධ ආයතනයක ඉහළ වැටුපක් ලබන රැකියාවක්ද සොයාගත්තා. ඒ නිසා ඔහුගේ ජීවිතය සාර්ථක බව පෙනෙන්න තිබුණා. නමුත් ඔහු බලාපොරොත්තු වූ සතුට ඔහුට ලැබුණේ නැහැ. ඒ වෙනුවට මානසික පීඩනය හා අධික වෙහෙස නිසා ඔහුගේ සෞඛ්‍යයත් දුර්වල වෙන්න පටන්ගත්තා. ඔහු සිටි තත්වයෙන් මිදෙන්න රැකියා ස්ථානයේ මිත්‍රයන්ගෙන්වත් ඔහුට එතරම් උපකාරයක් ලැබුණේ නැහැ. මානසික පීඩනය නිසා ඔහු මත්පැන්වලට ඇබ්බැහි වූ අතර තම ජීවිතය නැති කරගැනීමටද සිතුවා. නමුත් ඔහුට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වූ අතර ඔහු ඔවුන් සමඟ බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. ජීවිතයේ වඩා වැදගත් දේ කුමක්ද කියා තේරුම්ගන්න ඉන් ඔහුට හැකි වුණා. වැඩි කල් යන්න පෙර ඔහු අද්දුටු මානසික පීඩනය අඩු වූ අතර ඔහුගේ සෞඛ්‍ය තත්වයද යහපත් අතට හැරුණා. සමාජයේ ඉහළින් වැජඹෙන්න උත්සාහ කරනවාට වඩා බයිබලයේ සඳහන් මෙම උපදෙස මොන තරම් ප්‍රයෝජනවත්ද කියා ඔහු තේරුම්ගත්තා. “සන්සුන් මනසක් ගතට සුවයකි.”—හිතෝපදේශ 14:30NW.

ජීවිතයේ වඩාත්ම වැදගත් දේ ලෙස ඔබ සලකන්නේ කුමක්ද? ඔබට සැබෑ සතුට ගෙන දෙන්නේ කුමකින්ද? සාර්ථක විවාහයක් ගත කිරීමෙන්ද? නැත්නම් දරුවන්ට සුරක්ෂිත අනාගතයක් සැලසුම් කිරීමෙන්ද? බොහෝ මිතුරන් ඇති කරගැනීමෙන්ද? ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමෙන්ද? ඒ සියල්ලම ජීවිතයට අවශ්‍ය දේවල් බව ඇත්තයි. නමුත් ඒවා ජීවිතයේ ප්‍රධානම දේ නොවන බව බයිබලයේ සඳහන් වෙනවා. ඒ වෙනුවට අපේ ජීවිතය සාර්ථක කරගැනීමට නම් කළ යුතු ප්‍රධානම දේ ගැන එහි සඳහන් වන්නේ මෙයයි. “සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. මිනිසාගේ යුතුකම එයයි.” (දේශනාකාරයා 12:13NW) අපි එම යුතුකම ඉටු කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලය වන්නේ අපගේ ජීවිත කිසිම අරමුණක් නැති, බලාපොරොත්තු සුන් වූ, කලකිරුණු එකක් වීමයි. නමුත් අනික් අතට “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබන මිනිසා සන්තෝෂවත්ය” යන සහතිකයද බයිබලයේ දී තිබෙනවා.—හිතෝපදේශ 16:20NW.

එය මිනිසුන්ව වෙනස් කරන ආකාරය

“දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. දෙවිගේ වචනය වන බයිබලය දෙපැත්තම කැපෙන තියුණු කඩුවකට සමාන කර තිබෙනවා. දෙපැත්ත කැපෙන තියුණු කඩුවකට ඕනෑම දෙයක් පසාරු කරගෙන යෑමට හැකි සේම බයිබලය අධ්‍යයනය කරන කෙනෙකුට ඔහුගේ සිතේ තිබෙන ගැඹුරු සිතුවිලි හා චේතනා හොඳින් අවබෝධ කර දීමට තරම් පරතරයකට යන්න බයිබලයට හැකියි. (හෙබ්‍රෙව් 4:12) පුද්ගලයෙක් තමා ගැන දැන සිටිනවාට වඩා, ඔහුගේ සැබෑ තත්වය ඔහුට හොඳින් අවබෝධ කර දීමට දේවවචනයට හැකියි. එය අවබෝධ කරගන්නා අවංක පුද්ගලයන් තම ජීවිතයේ වෙනස්කම් කිරීමට පෙලඹෙනවා. එවැනි පුද්ගලයන් පුරාණ කොරින්ති නගරයේද සිටියා. ඔවුන්ගෙන් සමහරු සොරුන්, බේබද්දන් හා අනාචාරයේ යෙදුණු අයයි. නමුත් පසුව පාවුල් ඔවුන් ගැන මෙසේ පැවසුවා. ‘ඔබෙන් සමහරෙක් කලින් එවැනි අය වී සිටියා. නමුත් දැන් ඔබව අපේ දෙවිගේ ආත්මයෙන් [බලයෙන්] සෝදා පවිත්‍ර කර ඇත. ඔබව විශුද්ධ කර ඇත.’ (1 කොරින්ති 6:9-11) ඔව්, යෙහෝවා දෙවිගේ බලය ඉතාමත් ප්‍රබලයි. ඒ නිසා තමන් ගත කරමින් සිටින ජීවිතයේ අවශ්‍ය වෙනස්කම් කරගැනීමට මිනිසුන්ව පොලඹවන්න ඊට හැකියි.

යුරෝපයේ ජීවත් වන මාරියෝ ඊට හොඳ උදාහරණයක්. ඔහු ඉතාමත් දරුණු මෙන්ම මරිජුවානාවලට ඇබ්බැහි වූ හා ඒවා අළෙවි කළ පුද්ගලයෙක්. දිනක් පොලිස් නිලධාරියෙක් මාරියෝ සතු මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු හොඳටම කෝප වූ අතර එම නිලධාරියාට පහර දී ඔහුගේ මෝටර් රථයද විනාශ කළා. මාරියෝට ස්ථිර රැකියාවක් තිබුණේ නැති අතර ඔහු ණය බරින් මිරිකී සිටියා. මේ තරම් ප්‍රශ්න ගොඩක් තමන්ට තනියම විසඳගන්න නොහැකි බව තේරුම්ගත් මාරියෝ බයිබලයේ අඩංගු උපදෙස් ඉගෙනගන්න තීරණය කළා. මෙසේ ඔහු ක්‍රමානුකූලව බයිබලය අධ්‍යයනය කරද්දී ජීවිතයේ බොහෝ වෙනස්කම් කිරීමට පෙලඹුණා. එමෙන්ම පිළිවෙළකට අඳින්න පළඳින්න පටන්ගත් ඔහු මත්ද්‍රව්‍ය භාවිතය හා විකිණීම නතර කර දමා ප්‍රචණ්ඩකාරී ජීවන රටාවෙන් සමුගත්තා. ඔහුව දන්නා හඳුනන බොහෝදෙනෙක් ඔහුගේ වෙනස ගැන පුදුම වුණා. සමහරුන් මෙසේ ඇසුවා. “මාරියෝ, මේ ඔයාමද?”

තම ජීවිත වෙනස් කරගෙන ඉන් සන්තෝෂය හා තෘප්තිය ලබන්න අකිනොරි හා මාරියෝ වැනි අය පෙලඹුණේ ඇයි? ඒ ඔවුන් බයිබලය අධ්‍යයනය කර සැබෑ දෙවි පිළිබඳ ලබාගත් දැනුම නිසයි. ඉන් පැහැදිලි වන්නේ වර්තමානයේදී අප සෑම කෙනෙකුගේම ජීවිත සාර්ථක කරගැනීමටත් අනාගතයේදී සදාකාලයටම ජීවත් වීමේ බලාපොරොත්තුව ඇතුව සිටීමටත් අපට මඟ පෙන්විය හැක්කේ යෙහෝවා දෙවිට පමණක් බවයි. එමනිසා ප්‍රේමණීය පියෙකු බඳු යෙහෝවා දෙවි අප සෑම කෙනෙකුටම මෙසේ පවසනවා. ‘මාගේ පුත්‍රය, මාගේ වදන්වලට සවන් දී ඒවා පිළිගන්න. එවිට ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේය. එවිට ඇවිදින කල ඔබේ ගමන අවහිර වන්නේවත් දුවන කල ඔබේ පය පැටලෙන්නේවත් නැත. එබැවින් ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන කිසිදා ඒවා අත් නොහරින්න. ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.’ (හිතෝපදේශ 4:10-13NW) අපගේ නිර්මාණකරු වන යෙහෝවා දෙවිගෙන් ලැබෙන උපදෙස්වලට වඩා හොඳ උපදෙස් අපට ලබාගත හැක්කේ වෙන කොහෙන්ද?

[7වන පිටුවේ කොටුව/පින්තූරය]

අදටත් ප්‍රයෝජනවත් මඟ පෙන්වීම්

අපගේ ජීවිතයට බොහෝසේ ප්‍රයෝජනවත් මඟ පෙන්වීම් රාශියක් බයිබලයේ සඳහන්ව තිබෙනවා. ඒවායින් කිහිපයක් පහත සඳහන් වෙයි.

අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට

“එබැවින් අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය මෙයයි.”—මතෙව් 7:12.

“සියල්ලන් අතරේ, සුළු තැනැත්තෙකු මෙන් හැසිරෙන්නා උතුම් තැනැත්තා වන්නේය.”—ලූක් 9:48.

“ආගන්තුක සත්කාරය දැක්වීමෙහි යෙදී සිටින්න.”—රෝම 12:13.

නරක පුරුදු අත්හැරීමට

“ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20, නවලොව පරිවර්තනය, NW.

‘වයින්වලට ලොල් වූ අය සමඟ එකතු නොවන්න.’—හිතෝපදේශ 23:20NW.

“ඉක්මනින් කෝප වන තැනැත්තෙකු සමඟ මිත්‍ර නොවන්න.”—හිතෝපදේශ 22:24NW.

සාර්ථක විවාහ ජීවිතයකට

“ඔබ එකිනෙකාත් තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය. එමෙන්ම, භාර්යාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.”—එෆීස 5:33.

‘දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද පැළඳගන්න. එකිනෙකා ගැන ඉවසමින්, මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න.’—කොලොස්සි 3:12, 13.

දරුවන්ව පුහුණු කිරීමට

“දරුවෙකුට හරි මඟෙහි යෑමට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. එවිට ඔහු වයසට ගිය පසුත් එයින් අහක්ව යන්නේ නැත.”—හිතෝපදේශ 22:6NW.

“පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.”—එෆීස 6:4.

ආරවුල් මඟහැරීමට

“මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.”—හිතෝපදේශ 15:1NW.

“එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න.”—රෝම 12:10.

මිත්‍රයන් අතර පවා සිදු වන ගනුදෙනුවලදී ඇති වන ආරවුල් මඟහැරීම සඳහා ඒවා ලිඛිතව තබාගැනීම වැදගත්. සැබෑ දෙවිට සේවය කළ පුරාණයේ සිටි කෙනෙකු වූ යෙරෙමියා මෙවැනි දෙයක් වාර්තා කළේ ඒ නිසයි. “මම ඔප්පුවක් ලියා එය මුද්‍රා කළෙමි. මුදල් කිරා බැලීම ඇතුළු මේ සියල්ල මා කළේ සාක්ෂිකරුවන් ඉදිරිපිටදීය.”—යෙරෙමියා 32:10NW.

ශුභවාදීව කල්පනා කිරීමට

‘සැබෑ වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න.’—ෆිලිප්පි 4:8.

බයිබලයේ සෑම කෙනෙකුටම පවසාන්නේ ‘තම ජීවිතය ගැන කොඳුරන්න’ එපා කියායි. එනම් අශුභවාදී දේවල් ගැන දිගින් දිගටම කල්පනා නොකරන්න කියායි. ඒ වෙනුවට එහි “බලාපොරොත්තුවෙහි ප්‍රීති වන්න” කියා සෑමදෙනාවම දිරිගන්වනවා.—යූද් 4, 16; රෝම 12:12.

බයිබලයේ ඇති එවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් අපට මේ කාලයේදීත් සාමය හා සතුට ලබාගත හැකියි. එපමණක් නොව දෙවිගේ ප්‍රතිපත්තිවලට කීකරු වීමෙන් තවත් ආශීර්වාද ලැබිය හැකියි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29NW.

[5වන පිටුවේ පින්තූර]

අකිනොරි ව්‍යාපාරිකයෙකු ලෙස සිටි කාලයේ (වම) දැන් ඔහු සහ බිරිඳ බයිබලයේ සඳහන් සත්‍යයන් අන් අය සමඟ බෙදාගනිමින්