Skip to content

පටුනට යන්න

ඔහු අපේ සීමාවන් හඳුනනවා

ඔහු අපේ සීමාවන් හඳුනනවා

දෙවිට ළං වෙන්න

ඔහු අපේ සීමාවන් හඳුනනවා

ලෙවී කතාව 5:2-11

“මං කරන දේ දෙවිට වටින්නේ නැහැ කියලා මට කොයි වෙලෙත් හිතෙනවා” කියා එක් කාන්තාවක් පැවසුවා. නමුත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අපේ සීමාවන් තේරුම්ගන්න දෙවිට හැකිද? යෙහෝවා දෙවි මෝසෙස්ට දුන් නීතිය සලකා බලද්දී මේවාට පිළිතුරු සොයාගත හැකියි. මේ ගැන විස්තරයක් බයිබලයේ ලෙවී කතාව 5:2-11හි [නව ලොව පරිවර්තනය, NW] සපයා තිබෙනවා.

එම නීතිය යටතේ කෙනෙක් නොදැනුවත්කමින් පාපයක් කළොත් දෙවිගෙන් සමාව ලබාගැනීම සඳහා වන්දි පූජාවක් ඔප්පු කළ යුතු වුණා. (ලෙවී කතාව 5:2-4) තමන් පාපයක් කළ බව ඔහු දැනගත් විට ඒ වරද පිළිගෙන “බැටළු පැටවෙකුව හෝ එළු පැටවෙකුව” පූජාවක් ලෙස ඔප්පු කළ යුතුයි. එමෙන්ම ඌ ‘ගැහැනු සතෙක්ද’ විය යුතුයි. (ලෙවී කතාව 5:5, 6NW) නමුත් පාපය කළ පුද්ගලයා එළුවෙක්වත් බැටළුවෙක්වත් නැති දිලිඳු කෙනෙක් නම් තත්වය කුමක්ද? ඔහු ණයට වෙන කෙනෙකුගෙන් සතෙක් ලබාගෙන ණයකාරයෙක් විය යුතුද? එසේ නැත්නම් මුදල් හම්බ කරගෙන එවැනි සතෙක් මිල දී ගන්නා තුරු සමාව ලබාගැනීම කල් දැමිය යුතුද? ඒ ගැන දෙවි පැවසුවේ කුමක්ද?

දෙවි එවැනි පුද්ගලයෙකුගේ තත්වය තේරුම්ගත්තා. නීතියේ සඳහන් වුණේ ‘ඔහුට බැටළුවෙකු ගෙන ඒමට තරම් වත්කමක් නැත්නම් ඔහු කොබෙයියන් දෙදෙනෙකුව හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකුව’ දෙවිට පූජා කළ යුතු බවයි. (ලෙවී කතාව 5:7) ‘වත්කමක් නැත්නම්’ කියා කීමෙන් පෙනී යන්නේ දෙවි අපිට කළ නොහැකි දෙයක් බලාපොරොත්තු වන්නේ නැති බවයි.

කුරුල්ලන් දෙන්නෙක්වත් ගන්න වත්කමක් නැති අන්ත අසරණ අයගේ තත්වයන් පවා දෙවි තේරුම්ගත්තා. එවැනි කෙනෙකුට “තමා කළ පාපය වෙනුවෙන් සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටසක් [කෝප්ප අටක් හෝ නවයක්]” ගෙන ඒමට නීතියෙන් ඉඩ කඩ සලසා තිබුණා. (ලෙවී කතාව 5:11) එක් එක්කෙනාගේ තත්වයන් විවිධ බව යෙහෝවා දෙවි තේරුම්ගත් නිසා මෙවැනි අවස්ථාවලදී රුධිරය නැති පූජාවක් වුණත් පිළිගත්තා. * මේ අනුව ඊශ්‍රායෙල්වරුන් අතරේ සිටි අන්ත දුගී කෙනෙකුට පවා දෙවි පිළිගන්නා පූජාවක් ඔප්පු කිරීමටත් දෙවිගෙන් සමාව ලැබීමටත් අවස්ථාව තිබුණා.

යෙහෝවා දෙවි වන්දි පූජාවක් ඔප්පු කිරීමට දුන් නීතිය මගින් අපට ඔහු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඔහු අපේ සීමාවන් හඳුනන දයානුකම්පිත දෙවි කෙනෙක් බව ඉගෙනගන්න පුළුවන්. (ගීතාවලිය 103:14) අප මහලුව හෝ අසනීපව සිටියත්, අපට පවුල් වගකීම් තිබුණත් යෙහෝවා දෙවි කැමති වන්නේ අප ඔහුට ළං වී ඔහු සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කරගන්නවාටයි. ඒ වගේම අපේ හැකියාවට අනුව අපි කරන ඕනෑම දෙයක් දෙවි සතුටෙන් පිළිගන්නා බවත් අපට ඉගෙනගන්න පුළුවන්.

[පාදසටහන]

^ 4 ඡේ. දෙවි සමඟ සාමකාමී සබඳතාවක් ඇති කරගැනීම සඳහා සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල්වරයෙක් සතෙකුව පූජා කළ යුතු වුණා. සතාගේ රුධිරය දෙවි සැලකුවේ වටිනා දෙයක් ලෙසයි. (ලෙවී කතාව 17:11) පිටි වැනි රුධිරය නැති දෙයක් ඔප්පු කිරීමේ වටිනාකමක් නැති බව එයින් අදහස් කළාද? නැහැ. මෙවැනි පූජාවක් ඔප්පු කළ විට පූජාව ඉදිරිපත් කළ කෙනාගේ නිහතමානි ආකල්පය දෙවි අගය කළා. ඊට අමතරව වාර්ෂිකව පැවැත්වූ සමඟි කිරීමේ දවසේදී දිලිඳු අය ඇතුළු මුළු ජාතියම වෙනුවෙන් සත්ව පූජා ඔප්පු කරනු ලැබුවා.—ලෙවී කතාව 16:29, 30.