Skip to content

පටුනට යන්න

මගේ දුක දෙවියන්ටවත් පේන්නෙ නැද්ද?

මගේ දුක දෙවියන්ටවත් පේන්නෙ නැද්ද?

මගේ දුක දෙවියන්ටවත් පේන්නෙ නැද්ද?

ප්‍රශ්නවලින් හොඳටම හෙම්බත් වී සිටි අවස්ථාවකදී පිහිට වෙන්න කවුරුත්ම නැහැනෙ කියා ඔබට හැඟිලා තිබෙනවාද?

ගැටලු නිසා සමහර අයගේ ජීවිත කන පිට පෙරළෙනවා. මානසික පීඩනය, බරපතළ අනතුරු, නිදන්ගත රෝග වැනි තත්වයන්වලදී මානසිකව ඇද වැටෙන විට බොහෝදෙනෙකුට සිතෙන්නේ ‘කාටවත් මගේ තත්වය තේරෙන්නේ නැහැ’ කියායි. සමහරු දිවි නසාගැනීමට පවා පෙලඹෙන්නේ ඒ නිසයි. ඇත්තටම අපි ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටින අවස්ථාවකදී අප ගැන සලකන, අපට පිහිට වෙන්න පුළුවන් කෙනෙක් සිටිනවාද?

සැනසිල්ල ලබා දෙන දෙවි කෙනෙක්

යෙහෝවා නම් වූ දෙවිව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද” ලෙසයි. (2 කොරින්ති 1:3) අපට ‘සැනසිල්ල’ අවශ්‍ය බව ඔහු දන්නවා. දෙවිට අපගේ ප්‍රශ්න ගැටලු හොඳින් තේරෙනවා පමණක් නොව අපට පිහිට වෙන්න ඔහුට ලොකු වුවමනාවකුත් තිබෙන බව බයිබලය කියවද්දී අපට පැහැදිලි වෙනවා.

අපගේ ගැටලු කාට නොපෙනුණත් යෙහෝවා දෙවිට පෙනෙනවා. “යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය. ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය” කියා පවසන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 15:3, නව ලොව පරිවර්තනය, NW) බයිබලයේ මෙසේද පවසනවා. “දෙවිගේ ඇස් මිනිසා කෙරෙහි යොමු වී තිබේ. ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔහු දකින්නේය.” (යෝබ් 34:21NW) අප කරන කියන හැම දෙයක්ම දෙවිට පෙනෙනවා. ඒ නිසා අපේ අවශ්‍යතාවට අනුව අපට පිහිට වෙන්න දෙවිට හැකියි. ඒ බව හනානි නමැති අනාගතවක්තෘවරයා කී දෙයින් තහවුරු වෙනවා. “යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:7, 9, NW.

දෙවි අපට සැනසිල්ල ලබා දෙන එක් ආකාරයක් ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “මාව එවූ පියාණන් විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස, වෙන කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැක.” (යොහන් 6:44) දෙවි මිනිසුන් ගැන කොතරම් සැලකිලිමත් වෙනවාද කිව්වොත් ඔවුන්ගේ සිත් පවා සෝදිසි කර බලනවා. ඔවුන් දෙවි කෙරෙහි සැබෑ උනන්දුවක් දක්වනවා නම් දෙවි ඔවුන්ට පුදුමාකාර විදිහට උපකාර කරනවා. ඊට උදාහරණයක් ඩොමිනිකන් ජනරජයේ ජීවත් වන පිළිකාවකින් පෙළුණු කාන්තාවක් අද්දැක්කා. ඇය රෝහල්ගත වී සිටියේ සැත්කමක් සඳහායි. ඒ අවස්ථාවේදී ‘දෙවියනේ හරි ආගම සොයාගන්න මට උදව් කරන්න’ කියා අයැද සිටියා. ඒ මොහොතේම වගේ ඇගේ ස්වාමිපුරුෂයා දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද යන විවරණිකාව ඇයට ගෙනත් දුන්නා. * ඔහුට එය එදාම උදෑසන ලැබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙනුයි. මේ කාන්තාව එම විවරණිකාව සම්පූර්ණයෙන්ම කියෙව්වා. දෙවි මේ විවරණිකාව මාර්ගයෙන් ඇගේ යාච්ඤාවට පිළිතුරක් දුන් බව ඇයට වැටහුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබල් පාඩමක් කර මාස හයක් ඇතුළත ඇය ඇගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කර බව්තීස්ම වුණා.

බයිබලයේ ගීතාවලිය පොත ලියූ ගීතිකාකරුවන් දෙවිගේ ප්‍රේමය හා නිරන්තරයෙන් ලබා දෙන සැනසිල්ල ගැන හදපත්ලෙන්ම පැවසුවා. ඉන් එක්කෙනෙක් වන දාවිත් රජ දෙවිගෙන් මෙසේ අයැද සිටියා. “දෙවියනි, මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න. ඒවා ගැන ඔබේ ලියවිල්ලෙහි සටහන් කරගන්න.” (ගීතාවලිය 56:8NW) මේ අනුව, යෙහෝවා දෙවි ඔහුගේ පීඩාව හා වේදනාව පමණක් නොව එමගින් ඇති වූ මානසික පීඩනයත් දැනගෙන සිටියා කියා දාවිත් තේරුම්ගත් බව පැහැදිලියි. ඇත්තෙන්ම, “ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට” ඔහුගේ රැකවරණය හා සැනසිල්ල ලැබෙන බව නිසැකයි.

දෙවි සපයන සැනසිල්ල ගැන බයිබලයේ ගීතාවලිය පොතේ 23වන ගීතිකාවේ සඳහන් වන්නේ ‘යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය’ කියායි. දෙවි ඉතාම කරුණාවන්ත එඬේරෙක් බව එයින් කියවෙනවා. බයිබලය ලියනු ලැබුවේ මැද පෙරදිග රටවලදීයි. සාමාන්‍යයෙන් එවැනි රටවල සිටින එඬේරුන් තමන්ගේ බැටළු රැළේ කොතරම් සතුන් සිටියත් එක් එක් සතාට නම් දමනවා. සෑමදාම ඒ එක් එක් සතාව අතගා තුවාලයක් එහෙම දුටුවොත් එයට බෙහෙත් ආලේප කරනවා. සතාට ගොඩාක් අමාරු නම් එඬේරා ඌට බෙහෙත් පොවා ඌට බිම වැතිරීමට ඉඩ නොදී බෙහෙත උගේ ඇඟට අල්ලන තුරු ඌව ඔහුගේ අතේම තබාගන්නවා. යෙහෝවා දෙවි තමන්ට ලැදි අයව සලකන්නෙත් ඒ ආකාරයටමයි.

දෙවි සැනසිල්ල ලබා දෙන වෙනත් ක්‍රම

ගීතාවලිය වැනි පොත් කියවන විට අප දකින්නේ පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් ගැටලුවලට මුහුණ දෙන අවස්ථාවලදී දෙවිගෙන් සැනසිල්ල බලාපොරොත්තුවෙන් යාච්ඤා කළ ආකාරයයි. ඒ වගේම එය ලැබුණු විට ඔවුන් දෙවිට ස්තුති කළ ආකාරයත් දැකගත හැකියි. එවැනි අය දෙවිගෙන් ලැබෙන සැනසිල්ල ගැන කිසිවිටකත් සැක කළේ නැහැ. දෙවිගේ පුරාණ සේවකයන් කළ යාච්ඤා අපි බයිබලයෙන් කියවා ඒ ගැන ගැඹුරින් සිතා බලන විට අපිත් යාච්ඤා කරන්න පෙලඹෙන්නේ නැද්ද? විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවි ඔහු සමඟ කතා කරන්න අපට අවස්ථාව ලබා දී තිබෙන එකම මොන තරම් සැනසිල්ලක්ද!

අප ගැටලුවලින් කොතරම් මිරිකී සිටිනවාද කියනවා නම් අපේ හැඟීම් යාච්ඤාවෙන් කියාගත නොහැකි වන තරමටම අපේ සිතුවිලි කැලඹෙනවා. එවැනි තත්වයකදී දෙවිට අපේ ගැටලුව දැනගන්න විදිහක් නැහැයි කියා එයින් අදහස් වෙනවාද? නැහැ. එවැනි අවස්ථාවලදී දෙවිගේ බලය මැදිහත් වී අප වෙනුවෙන් ක්‍රියාත්මක වන බව රෝම 8:26හි පවසනවා. එහි පෙන්වන්නේ අපේ හැඟීම් වචනයට නඟාගන්න බැරි අවස්ථාවලදී, ‘යාච්ඤා අසන දෙවි’ අපව තේරුම්ගෙන, අප සිටින තත්වයේ සිටි පුරාණ සේවකයන් කළ හැඟීම්බර යාච්ඤා අපේ යාච්ඤා හැටියට සලකන බවයි.—ගීතාවලිය 65:2.

අප එක් එක් කෙනා කෙරෙහි දෙවි සැලකිල්ල දක්වන බවට තිබෙන තවත් සාක්ෂියක් වන්නේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුවයි. ඒ ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “සොහොන් ගෙවල්වල සිටින සියල්ලන්ට ඔහුගේ [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණෙන්නේය.” (යොහන් 5:28, 29) මෙහි ‘සොහොන් ගෙවල්’ කියන යෙදුම ග්‍රීක භාෂාවේ සඳහන් කර තිබෙන්නේ ‘සිහි වීම සඳහා සාදන ලද සොහොන් ගෙවල්’ කියායි. ඉන් අදහස් වන්නේ මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටි කාලයේදී ඔහු මොන වගේ කෙනෙක්ව සිටියාද කියා දෙවිට හොඳින් මතක තිබෙන බවයි.

මිය ගිය කෙනෙකුව නැවත නැඟිටුවීමට නම් ඔහුගේ පෙනුම, ඔහුට උරුම වී තිබූ පුරුදු, ඔහු ජීවත්ව සිටි කාලය පුරා ලැබූ අද්දැකීම් යනාදි සෑම දෙයක්ම මතකයේ තබාගැනීම අවශ්‍යයි. ඒ ගැන ටිකක් සිතා බලන්න. දෙවිට ඒ සියල්ල මතකයි! (මාක් 10:27) යම් කෙනෙක් මිය ගොස් අවුරුදු දහස් ගණනක් ගත වුණත් ඔහු ගැන දෙවිගේ මතකය බොඳ වී යන්නේ නැහැ. (යෝබ් 14:13-15; ලූක් 20:38) එසේනම් එවැනි කෝටි ගණන්දෙනා ගැන දෙවිට තිබෙන මතකය කොතරම්ද! දෙවි අප ගැන සලකන බවට එයම සාක්ෂියක් නෙවෙයිද!

අපට ආශීර්වාද කරන දෙවි කෙනෙක්

එසේනම් දෙවිගේ ආදරය හා සැලකිල්ල ලබන්න අප කුමක් කළ යුතුද? මුලින්ම, අපි ඔහුව විශ්වාස කරන බවත් ඔහුට කීකරු වන බවත් අප කටයුතු කරන ආකාරයෙන් පෙන්වන්න අවශ්‍යයි. අපි දෙවිව විශ්වාස කරනවා නම් ඔහු අප කෙරෙහි සැලකිල්ල දක්වනවා. ඒ බව පාවුල් නමැති බයිබල් ලේඛකයා සඳහන් කළ දෙයින් පැහැදිලියි. ඔහු පැවසුවේ මෙසේයි. “ඇදහිල්ල [දෙවි කෙරෙහි විශ්වාසයක්] නැතිව කිසිසේත් ඔහුව සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන [ආශීර්වාද කරන] කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය.”—හෙබ්‍රෙව් 11:6.

දෙවි සතුටු වන්නේ අපි කුමක් කරනවා නම්ද කියා නැවත බලන්න. මුලින්ම, ඔහු ජීවමාන බවත් ඔහු අපේ පාලකයා නිසා අපේ නමස්කාරය ලබන්න වටින බවත් අප “විශ්වාස කළ” යුතුයි. දෙවනුව, ‘මහත් උනන්දුවකින් ඔහුගේ මඟ පෙන්වීම් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත්’ අප විශ්වාස කළ යුතුයි. එසේනම් ඉහත කී දේවලට අනුව දෙවිගේ ආදරය හා සැලකිල්ල ලබන්න අප කුමක් කළ යුතුද? දෙවිගේ වචනය වන බයිබලය පාඩම් කරමින් ඔහුට කීකරු වන අයව ඇසුරු කළ යුතුයි.

අද සිටින බොහෝදෙනා සිතන්නේ දෙවි මිනිසුන් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නැහැ කියායි. නමුත් දෙවි තමන්ව විශ්වාස කරන, තමන්ට ලැදි අය ගැන සැලකිල්ල දක්වන බව අප දැන් දැනගත්තා. මේ කාලයේ අපේ බලාපොරොත්තු සුන් වුණත් අපි දුකට හා කාන්සාවට පත් වුණත් යෙහෝවා දෙවි අප ගැන සලකනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. එමෙන්ම “ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”—ගීතාවලිය 55:22NW.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[29වන පිටුවේ කොටුව/පින්තූරය]

දෙවි ඔබ ගැන සලකන බවට සහතිකයක්!

“යෙහෝවා දෙවි තම දෙනෙත් පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා. ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි.”—2 ලේකම් 16:9, NW.

“දෙවියනි, මාගේ කඳුළු ඔබේ සම් භාජනයේ තබාගන්න. ඒවා ගැන ඔබේ ලියවිල්ලෙහි සටහන් කරගන්න.”—ගීතාවලිය 56:8, NW.

“යෙහෝවා දෙවි මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය.”—ගීතාවලිය 23:1, NW.

“යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.”—ගීතාවලිය 65:2, NW.

“ඔබ මට අඬගසන්නෙහිය. මමද උත්තර දෙන්නෙමි. මන්ද ඔබේ අතින් නිමැවූ දේ දැකගන්න ඔබ මහත් ආශාවෙන් බලා සිටිනු ඇත.”—යෝබ් 14:15, NW.

“දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය.”—හෙබ්‍රෙව් 11:6.

“ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”—ගීතාවලිය 55:22, NW.