Skip to content

පටුනට යන්න

බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?

බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?

පාඨකයන් අසයි

බහුභාර්ය විවාහයන් දෙවි අනුමත කරනවාද?

මිනිස් ඉතිහාසයේ සිදු වූ මුල්ම විවාහයේදී දෙවි පෙන්නුම් කළේ එක පුරුෂයෙකුට එක භාර්යාවක් පමණක් සිටිය යුතු බවයි. එම සැලැස්මේ ඇති වැදගත්කම ගැන යේසුස්ද ඔහුගේ අනුගාමිකයන්ට මතක් කර දුන්නා.—උත්පත්ති 2:18-24; මතෙව් 19:4-6.

කෙසේවෙතත් පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් වූ ආබ්‍රහම්, යාකොබ්, දාවිත් සහ සලමොන් වැනි අය භාර්යාවන් කිහිපදෙනෙකුව විවාහ කරගත්තා. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ආබ්‍රහම්ගේ සහ යාකොබ්ගේ පවුල් තුළ ගැටලු ඇති වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 16:1-4; 29:18–30:24) යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට ලබා දුන් නීතිය තුළ රජවරුන්ට මෙවැනි ආඥාවක් දී තිබුණා. “ඔහු බොහෝ භාර්යාවන්ව විවාහ කර නොගත යුතුයි. එසේ කළොත් ඔහුගේ සිත දෙවිගෙන් දුරස් වී ඔහු මුළාවීමට ඉඩ තිබෙනවා.” (ද්විතීය කතාව 17:15, 17, නව ලොව පරිවර්තනය) නමුත් සලමොන් රජ එම ආඥාව කඩ කරමින් භාර්යාවන් 700දෙනෙකුව විවාහ කරගත්තා. අවසානයේදී එම භාර්යාවන් නිසා දෙවිගේ නීති කඩ කිරීමට සලමොන් පෙලඹුණා. (1 රාජාවලිය 11:1-4) මින් පැහැදිලි වන්නේ එක් භාර්යාවකට වඩා වැඩියෙන් විවාහ කරගැනීමේ තිබෙන නරක ප්‍රතිඵල බයිබලයෙහි පැහැදිලිව දක්වා තිබෙන බවයි.

නමුත් ඊශ්‍රායෙල්වරුන් අතර එවැනි විවාහයන් සිදු වන විට දෙවි එයට ඉඩහැරියේ ඇයි? බයිබලයෙහි පැහැදිලිව සඳහන් වෙන්නේ දෙවිගේ සිතුවිලි මිනිසුන්ගේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස් බවයි. (යෙසායා 55:8, 9) එසේනම් දෙවි එවැනි විවාහයන් සඳහා ඉඩහැරිමට හොඳ හේතුවක් තිබිය යුතුයි. අපි දැන් ඒ ගැන සලකා බලමු.

මුල් මිනිස් යුවළ යෙහෝවා දෙවිට අකීකරු වූ අවස්ථාවේදී දෙවි පැවසුවේ යම් තැනැත්තෙකුව යොදාගෙන යක්ෂයාව විනාශ කරන බවයි. එසේ පවසා යම් කාලයක් ගත වූ පසු එම තැනැත්තා උපදින්නේ ආබ්‍රහම්ගේ පෙළපතින් බව දෙවි ආබ්‍රහම්ට පැවසුවා. (උත්පත්ති 3:15; 22:18) නමුත් දෙවිගේ සතුරා වන යක්ෂයාට අවශ්‍ය වුණේ එම තැනැත්තාව විනාශ කර දැමීමටයි. එම තැනැත්තා ඊශ්‍රායෙල් ජාතියෙන් බිහි වන බව දැන සිටි යක්ෂයා කෙසේ හෝ මුළු ඊශ්‍රායෙල් ජාතියම විනාශ කිරීමට උත්සාහ කළා. ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගෙන් ලැබුණු ආරක්ෂාව නැති කර දැමීමේ අරමුණින් ඔහු අවස්ථා කිහිපයකදීම ඔවුන්ව පව් කිරීමට පෙලඹුවේ ඒ නිසයි.

ඒ වුණත් යක්ෂයාගෙන් ඊශ්‍රායෙල්වරුන්ව ආරක්ෂා කරගැනීම සඳහා දෙවි තම නියෝජිතයන් මාර්ගයෙන් ඔවුන්ට උපදෙස් දුන්නා. කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන් එම උපදෙස් පිළිපැදීමට අසමත් වන බව දෙවි දැන සිටියා. උදාහරණයක් හැටියට රූප නමස්කාරයෙන් වළකින්න කියා දෙවි දී තිබූ ප්‍රධාන ආඥාවක් ඔවුන් කඩ කළා. (නික්මයාම 32:9) ඒ අනුව එක් භාර්යාවකට වඩා විවාහ කර නොගන්න කියා දෙවි නීතියක් දැමුවා නම් ඔවුන් ඊට කීකරු වෙයි කියා සිතිය හැකිද? දෙවි එවැනි නීතියක් දැමුවා නම් එම නීතිය කඩ කිරීමට සලස්වා ඊශ්‍රායෙල්වරුන්ව දෙවිගෙන් ඈත් කිරීමට යක්ෂයාට කදිම අවස්ථාවක් උදා වෙනවා. යෙහෝවා දෙවිට මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් ගැන හොඳ අවබෝධයක් තිබෙන නිසා එවැනි නීතියක් දැමීමට සුදුසුම කාලය කුමක්ද කියා දෙවි දැන සිටියා.

අනික් අතට බහුභාර්ය විවාහයන්ට ඉඩහැරීමෙන් හොඳ ප්‍රතිඵලත් ලැබුණා. ඉන් එකක් ලෙස ඊශ්‍රායෙල් ජාතිය විශාල වශයෙන් වර්ධනය වීම සඳහන් කළ හැකියි. ඒ නිසා පොරොන්දු කරන ලද තැනැත්තා වන යේසුස් පැමිණෙන තුරු ඊශ්‍රායෙල් ජාතිය පැවතුණා. එමෙන්ම ඉන්න හිටින්න තැනක් නොමැතිව අසරණ තත්වයකට පත් නොවී සිටීමටත් සමහර කාන්තාවන්ට අවස්ථාව ලැබුණා.

බහුභාර්ය විවාහයන් ඇති කළේ යෙහෝවා දෙවි නෙවෙයි. නමුත් යම් කාලයකට දෙවි බහුභාර්ය විවාහයන්ට ඉඩහැරියත් එවැනි විවාහයන් තුළ සිදු විය හැකි අසාධාරණකම් වැළැක්වීමට නිශ්චිත නීති ලබා දුන්නා. (නික්මයාම 21:10, 11; ද්විතීය කතාව 21:15-17) නමුත් සුදුසු කාලය පැමිණි විට යේසුස් මාර්ගයෙන් දෙවි තම සෙනඟට පැවසුවේ ස්වාමිපුරුෂයෙකුට එක් භාර්යාවක් පමණක් සිටිය යුතු බවයි. (මාක් 10:8) මෝසෙස් මාර්ගයෙන් දෙවි ලබා දුන් නීතියෙන් පුරාණයේ සිටි ඊශ්‍රායෙල් සෙනඟ ප්‍රයෝජන ලැබුවත් “ක්‍රිස්තුස්ගේ නීතිය” ඊටත් වඩා ප්‍රයෝජනදායක බව පැහැදිලියි.—ගලාති 6:2.