Skip to content

පටුනට යන්න

ගලීල මුහුදේ ධීවරයෝ

ගලීල මුහුදේ ධීවරයෝ

ගලීල මුහුදේ ධීවරයෝ

මුල් සියවසේ සිටි බොහෝ ධීවරයින්ගේ දිවි රැකුණේ ගලීල මුහුද නිසයි. නමුත් ඔවුන් මුහුණ දුන් අභියෝග මොනවාද කියා ඔබ දන්නවාද? ඒ ගැන දැනගැනීමෙන් බයිබලයේ වාර්තා වී ඇති සිද්ධීන් වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔබට හැකි වෙයි. එවැනි සිද්ධීන් කිහිපයක් ගැන මෙම සඟරාවේ 21 සිට 25 දක්වා පිටුවල සඳහන් වෙනවා.

ගොඩබිමෙන් වට වූ ගලීල මුහුද ඇත්තෙන්ම විලක් කියා පැවසිය හැකියි. එය දිගින් කිලෝමීටර් 21කින් සහ පළලින් කිලෝමීටර් 12කින් යුක්තයි. අතීතයේ සිටම මෙහි ධීවර කටයුතු සිදු වුණා. බොහෝවිට ආහාර පිණිස අල්ලාගත් මසුන්ව අලෙවි කරන්න ඇත්තේ යෙරුසලමේ තිබූ මත්ස්‍ය දොරටුව ලෙස හැඳින්වූ ස්ථානයේ විය හැකියි.—නෙහෙමියා 3:3.

යේසුස්ගේ ගෝලයෙක් වූ පේතෘස් ජීවත් වූයේ ගලීල මුහුද අසල පිහිටි බෙත්සයිදාව නම් නගරයේයි. බෙත්සයිදාව යන නමේ අර්ථය “ධීවරයින්ගේ නිවහන” යන්න විය හැකියි. එමෙන්ම ගලීල මුහුද අසල පිහිටි තවත් නගරයක් වූයේ මගදානයයි. එක් අවස්ථාවකදී යේසුස්ද ඔහුගේ ගෝලයන් සමඟ එම නගරයට ගිය බව බයිබලයේ සඳහන් වෙනවා. (මතෙව් 15:39) මගදානය යන නමට “මසුන් වියළීම” යන අර්ථය තිබිය හැකි බව එක් ලේඛකයෙක් පැවසුවා. අතීතයේදී මසුන් වියළීම මෙහි බහුලව සිදු වී තිබෙනවා. එමෙන්ම විනාකිරි හෝ වෙනත් ද්‍රාවණයක මසුන් දමා සෝස් වැනි ආහාරයක් සාදාගැනීමත් සිදු වුණා. සාමාන්‍යයෙන් මෙසේ සාදාගන්නා එම සෝස් වර්ගය කල් තබාගැනීම සඳහා විශේෂිත වූ මැටි බඳුන්වලට දමනු ලැබුවා. එවැනි නිෂ්පාදන ඊශ්‍රායෙලයේ බෙදාහැර තිබෙන අතර විදේශීය රටවලින්ද ඒ සඳහා ඉල්ලුමක් තිබුණා.

යේසුස්ගේ කාලයේදී මසුන් ඇල්ලීම, කල් තබාගත හැකි සේ පිළියෙල කිරීම සහ අලෙවි කිරීම ගලීලයේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක්ව තිබුණා. නමුත් එවැනි කර්මාන්තවල නිරත වූ අයට නම් එයින් එතරම් ලාභයක් ලැබුණේ නැහැ. ආගම් පිළිබඳ හදාරන විශාරදයෙක් ඊට හේතුව විස්තර කළේ මෙලෙසයි. “අතීතයේදී ධීවරයින් තම ධීවර කටයුතු නිදහසේ කරගෙන ගිය බව පෙනෙන්න තිබුණත් සිදු වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ඊට දේශපාලන වශයෙන් යම් බලපෑම් එල්ල වුණා. රාජ්‍ය පාලකයන් ධීවර කර්මාන්තය තමන් සතු කරගෙන සිටි නිසා එයින් වැඩියෙන්ම ලාභ ලැබුවේ ඔවුනුයි.”

පළමු සියවසේදී ගලීලයේ පාලකයා ලෙස කටයුතු කළේ රෝම අධිරාජ්‍යයෙන් පත් කරනු ලැබූ හෙරෝද් අන්තිපස් රජයි. එමනිසා ඔහුගේ පාලන ප්‍රදේශයට අයත්ව තිබූ මහා මාර්ග, වරායන්, පතල්, වගාබිම් සහ ධීවර කර්මාන්තයන් ඔහු විසින්ම පාලනය කළා. ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ගෙන් විශාල ලෙස බදු අය කිරීමට ඔහුට අවස්ථාව ලැබුණා. අතීතයේදී බදු අය කිරීම සම්බන්ධයෙන් ගලීලයේ පැවති සම්මත නීතිරීති මොනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. සමහරවිට හෙරෝද් රජ, ග්‍රීක පාලකයන් සහ ඒ කාලයේ සිටි වෙනත් රෝම පාලකයන් බදු අය කළ ක්‍රමයම අනුගමනය කරන්න ඇති. කෙසේවෙතත් සාමාන්‍ය ජනයා වෙහෙස මහන්සි වී උපයාගත් දේවලින් වැඩි ප්‍රමාණයක් භුක්ති වින්දේ රජයේ ඉහළ නිලධාරීනුයි.

අධික බදු අය කිරීම

ගලීලයේ තිබූ හොඳම ප්‍රදේශ අයිති වුණේ රාජකීය පවුලටයි. සමහර අවස්ථාවලදී හෙරෝද් රජ ඇතැම් ප්‍රදේශ තමන්ගේ නිලධාරීන්ට ත්‍යාග ලෙස දුන්නා. හෙරෝද් රජගේ සුඛෝපබෝගී ජීවිතය සඳහාත් ඉදි කිරීමේ ව්‍යාපෘති සඳහාත් පරිපාලන කටයුතු සඳහාත් වැය වූ මුදල් පියවනු ලැබුවේ මිනිසුන්ගෙන් ලබාගත් බදුවලිනුයි. ඒ නිසා සාමාන්‍ය ජනයාව පීඩාවට පත් කරමින් ඔවුන්ගෙන් අධික බදු ප්‍රමාණයක් අය කළා.

හෙරෝද් රජ සතු ප්‍රදේශවල සිටි මිනිසුන්ගෙන් බදු අය කිරීමේ අයිතිය ඇතැම් ධනවත් අය තමන්ට පවරාගත්තා. රජ එම අයිතිය පැවරුවේ ඒ සඳහා ඉහළ මිලක් ගෙවූ අයටයි. මෙසේ බදු අය කිරීමේ අයිතිය පවරාගත් අය ඒ ප්‍රදේශවල සිටි ධීවරයින්ගෙන් හා වෙනත් ව්‍යාපාරිකයන්ගෙන්ද බදු අය කළා. එම බදු ලබාගැනීමට ඔවුන් බදු එකතු කරන පිරිසක්වද පත් කර තිබුණා. යේසුස්ගේ ගෝලයෙකු වූ මතෙව්ද එවැනි කෙනෙක් විය හැකියි කියා විචාරකයන් පවසනවා. මතෙව් බදු එකතු කරන්නෙක් ලෙස සේවය කළේ ගලීල මුහුද ආසන්නව පිහිටි කපර්ණවුම නම් නගරයේයි. * එමනිසා ඔහු බදු අය කිරීමේ අයිතිය පවරාගත් කෙනෙකු යටතේ සේවය කරන්න ඇති.

ක්‍රිස්තු පූර්ව පළමු සහ දෙවන සියවස්වල බොහෝවිට බදු ගෙවනු ලැබුවේ මුදල්වලින් නොවෙයි. ඒ වෙනුවට ව්‍යාපාරිකයන් තමන් නියුතු කර්මාන්තයට අදාළ දේවල් බද්දක් ලෙස ගෙව්වා. උදාහරණයකට සමහර ධීවරයින් තමන් අල්ලාගත් මසුන් ප්‍රමාණයෙන් සියයට 25ත් 40ත් අතර ප්‍රමාණයක් බදු ලෙස ගෙවනු ලැබුවා. පැරණි ලියවිලිවල පෙන්නුම් කර තිබෙන ආකාරයට රජුගේ පාලනය යටතේ තිබූ ඇතැම් ප්‍රදේශවල ධීවර කටයුතු අධීක්ෂණය කිරීමට නිලධාරීන්ව පත් කර තිබූ අතර ධීවර කර්මාන්තයට අදාළ නීතිරීතිද පනවා තිබුණා. උදාහරණයකට අවසර නැතුව මසුන් ඇල්ලීම හෝ අවසර නැති අතරමැදියන්ට සහ තොග වෙළෙඳුන්ට මසුන් අලෙවි කිරීම තහනම් කර තිබුණා.

“බදු අය කිරීමෙන් ප්‍රදේශ පාලනය කළ රජුන් සහ බදු එකතු කරන්නන්ගේ ප්‍රධානීන් විශාල ලාභයක් ලැබුවත් ධීවරයින් එයින් පීඩා වින්දා” කියා එක් ප්‍රවීණයෙක් පැවසුවා. වෙනත් කර්මාන්තවල නිරත වූ අයත් මුහුණ දුන්නේ ඒ හා සමාන තත්වයකටමයි. අසාධාරණ ලෙස බදු එකතු කරමින් පොහොසත් වූ උසස් පැළැන්තියේ අය නිසා බදු එකතු කරන්නන් මිනිසුන්ගේ අප්‍රසාදයට ලක් වුණා.—ලූක් 3:13; 19:2, 8.

අතීතයේ සිටි ධීවරයින්

ධීවර කර්මාන්තයේ යෙදුණු පේතෘස්ට හවුල් සේවකයන් සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට යේසුස් ආශ්චර්යවත් ලෙස මසුන් රාශියක් හසු කර දුන් අවස්ථාවේ පේතෘස් ‘අනික් ඔරුවේ සිටි තම හවුල්කරුවන්ගේ’ උපකාරය පැතූ බව සඳහන් වීමෙන් එය පැහැදිලියි. (ලූක් 5:3-7) මසුන් ඇල්ලීම වෙනුවෙන් තමන්ට ගෙවීමට සිදු වූ බද්ද පියවීමට ධීවරයින් හවුලේ වැඩ කළ බව ඇතැම් විශාරදයන් පවසනවා. සමහරවිට සෙබදීගේ පුතුන්, පේතෘස්, අන්දෘ සහ ඔවුන් සමඟ එකතු වී මසුන් ඇල්ලූ අය ඒ ක්‍රමය අනුගමනය කරන්න ඇති.

ගලීල මුහුදේ මසුන් ඇල්ලූ ධීවරයින්ට තමන්ටම කියා ඔරු හෝ වෙනත් ධීවර ආම්පන්න තිබුණාද කියා අප දන්නේ නැහැ. ඇතැම් අයට එසේ තිබෙන්න ඇති. එක් අවස්ථාවකදී යේසුස් “සීමොන්ගේ [පේතෘස්ගේ] ඔරුවට” ගොඩ වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (ලූක් 5:3) මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ එක් ලිපියක සඳහන් වී තිබුණේ හවුලේ වැඩ කළ ධීවරයින් කුලීකරුවන්ගෙන් ඔරු ලබාගන්න ඇති බවයි. කොහොමවුණත් යාකොබ් සහ යොහන් තමන්ට අයිති දැල්වල ඉරුම් සකසමින් සිටි අවස්ථාවක් ගැනද බයිබලයේ සඳහන් වෙනවා. ඊට අමතරව ඇතැම් අවස්ථාවලදී අල්ලාගත් මසුන්ව අලෙවි කිරීමට කුලීකරුවන්ගේ පිහිට පතන්නත් ධීවරයන්ට සිදු වන්න ඇති.

අපි සිතනවාට වඩා මුල් සියවසේ සිටි ධීවරයින් බොහෝ අභියෝගවලට මුහුණ දුන් බව පැහැදිලියි. එවැනි තොරතුරු සලකා බැලීමෙන් බයිබලයේ සඳහන් ඇතැම් සිද්ධීන් ඇතුළු යේසුස් ඉගැන්වූ දේවල් වඩාත් හොඳින් තේරුම්ගැනීමට අපට හැකි වෙනවා. එමෙන්ම පේතෘස්, අන්දෘ, යාකොබ් සහ යොහන් වැනි අය තමන්ගේ ජීවනෝපාය අත්හැර යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වුණා. ඉන්පසුව අන් අයටත් යේසුස්ගේ අනුගාමිකයන් වීමට ඔවුන් උපකාර කළා. (මතෙව් 4:19) එසේ කිරීමෙන් ඔවුන්ට දෙවි කෙරෙහි මොන තරම් විශ්වාසයක් තිබුණාද කියා පැහැදිලි වෙනවා.

[පාදසටහන]

^ 9 ඡේ. පේතෘස්, බෙත්සයිදා නගරයේ සිට කපර්ණවුමට පැමිණ තම සහෝදරයා වූ අන්දෘ සහ සෙබදීගේ පුතුන් සමඟ ධීවර කර්මාන්තයේ නිරත වූ බව පෙනෙන්න තිබෙනවා. යේසුස්ද කපර්ණවුමේ යම් කාලයක් නැවතී සිටියා.—මතෙව් 4:13-16.

[25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

හූලා විල

බෙත්සයිදාව

කපර්ණවුම

මගදානය

ගලීල මුහුද

යෙරුසලම

මළ මුහුද

[හිමිකම් විස්තර]

Todd Bolen/​Bible Places.com

[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Todd Bolen/​Bible Places.com