Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය අපට අත්‍යවශ්‍යද?

දෙවිගේ බලය අපට අත්‍යවශ්‍යද?

දෙවිගේ බලය අපට අත්‍යවශ්‍යද?

“ඔබ ඉදිරියෙන් මාව ඉවතට නොදමන්න. ඔබේ බලය මට දිගටම ලබා දෙන්න. එය මාගෙන් ඉවත් නොකරන්න.” (ගීතාවලිය 51:11, නව ලොව පරිවර්තනය, NW) ඉහත සඳහන් දෙය පැවසුවේ දාවිත් රජ විසිනුයි. ඒ වන විට ඔහු අතින් බරපතළ වරදක් සිදු වී තිබුණා.

දාවිත් රජ දෙවිගේ බලයේ උපකාරය හොඳින් අද්දැක තිබුණා. ඔහු යෞවනයෙකුව සිටි කාලයේදී දරුණු යෝධයෙකු වූ ගොලියත්ව මරා දැමුවේ දෙවිගේ බලයේ උපකාරය නිසයි. (1 සාමුවෙල් 17:45-50) එමෙන්ම දෙවිට ප්‍රශංසා කිරීමට ඉතා අර්ථවත් ගීතිකා රචනා කරන්නත් ඔහුට හැකි වුණේ එම බලය නිසයි. ඒ ගැන දාවිත් මෙසේ පැවසුවා. “යෙහෝවා දෙවිගේ බලය, කතා කිරීමට මා පෙලඹුවේය. ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය.”—2 සාමුවෙල් 23:2NW.

දාවිත්ගේ ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වූ බව යේසුස් හොඳින්ම දැන සිටියා. ඒ සම්බන්ධයෙන් යේසුස් පැවසූ දේ සලකා බලන්න. ‘දාවිත්ම දෙවිගේ මඟ පෙන්වීමට එකඟව මෙසේ පැවසුවා. යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පාද යට දමන තුරු එසේ සිටින්න.’ (මාක් 12:36; ගීතාවලිය 110:1) දෙවි, දාවිත්ට ඔහුගේ බලය ලබා දුන්නා හා සමානව අපටත් ඔහුගේ බලය ලබා දෙනවා.

‘නොකඩවාම ඉල්ලන්න’

ඔබ දාවිත් මෙන් ගීතිකා රචනා කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි කාටත් ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. උදාහරණයකට කැතරින්ගේ අද්දැකීම සලකා බලන්න. * ඇගේ ස්වාමිපුරුෂයා වෙනත් තරුණ කාන්තාවක් සමඟ විවාහ වී ඇයව අත්හැර ගියා. ඇය තම දියණියන් දෙදෙනා සමඟ තනි වුණා. එමෙන්ම විශාල ණය බරකින්ද ඇය පීඩා වින්දා. දරුවන් දෙදෙනාව බලාගැනීමටවත් ඇගේ ස්වාමිපුරුෂයා මූල්‍යමය අතින් ඇයට උපකාර කළේ නැහැ. නමුත් කැතරින් මෙසේ පවසනවා. “මාව කිසිම වටිනාකමක් නැති කෙනෙක් විදිහට අයින් කරලා දාලා කියලා මට ඒ කාලේදී හැඟුණා. මගේ ස්වාමිපුරුෂයා මාව දාලා ගියත් දෙවිගේ බලය මාර්ගයෙන් ඒ හැම දේකටම මුහුණ දෙන්න මට පුළුවන් වුණා.”

කැතරින්ට නිකම්ම දෙවිගේ බලය ලැබුණාද? නැහැ. එම බලය ඉල්ලා කැතරින් දිනපතාම දෙවිට යාච්ඤා කළා. අනාගතයට හොඳින් මුහුණ දෙන්නත් දරුවන් දෙදෙනාව හොඳින් රැකබලා ගන්නත් තමන් කිසිම වටිනාකමක් නැති කෙනෙක් යන හැඟීමෙන් ගොඩ එන්නත් දෙවිගේ බලය තමන්ට අවශ්‍ය බව ඇය හොඳින්ම දැන සිටියා. ඒ නිසා ‘නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි’ කියා යේසුස් පැවසූ වදන් ඇය හොඳින්ම සිතට ගෙන සිටි බව පැහැදිලියි.—මතෙව් 7:7.

මාක්ගේ අද්දැකීමත් සලකා බලන්න. ඔහුටත් දෙවිගේ බලයේ උපකාරය විශාල වශයෙන් අවශ්‍ය වුණා. මාක් දුම්පානයටත් මරිජුවානා භාවිතයටත් ඇබ්බැහි වී සිටි කෙනෙක්. මේ නරක පුරුද්දෙන් ගොඩ එන්න වසර දෙකක් පුරා ඔහු දැඩි උත්සාහයක් දරා තිබුණත් එය සාර්ථක වුණේ නැහැ. ඒ ගැන මාක් මෙසේ පවසනවා. “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉඳලා ඒක නතර කළාම හරිම අමාරුයි. කොච්චර වුණත් ඒවා නැතුව ඉන්න බැහැ.”

මාක් තවදුරටත් මෙසේ පැවසුවා. “මගේ නරක පුරුදු අත්හැරියොත් විතරයි යෙහෝවා දෙවිව සතුටු කරන විදිහට ඔහුට සේවය කරන්න පුළුවන් වෙන්නේ කියලා මම දැනගත්තා. ඒත් මගේම ශක්තියෙන් ඒ නරක පුරුද්ද අත්හරින්න බැහැ කියලා මට තේරුණා. ඒ නිසා මම හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා මගේ ජීවිතය වෙනස් කරගන්න උපකාර කරන්න කියලා කිව්වා. යෙහෝවා දෙවි මගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නා. සමහර වෙලාවට නරක පුරුදුවලින් ගොඩ ආවත් ආපහු ඒ දේවල් මගේ අතින් සිදු වුණ අවස්ථා තිබුණා. ඒ වගේ අවස්ථාවලදී දැනෙන කලකිරීමට මුහුණ දෙන්න දෙවිගේ බලය මට හුඟක් උපකාරවත් වුණා. දෙවිගේ බලය මට නොලැබුණා නම් මට කවදාවත් ඒ නරක පුරුදුවලින් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ.”—ෆිලිප්පි 4:6-8.

දෙවිගේ බලයෙන් ශක්තිමත් වී

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින බොහෝදෙනා කැතරින් සහ මාක් මෙන් දෙවිගේ බලයේ උපකාරය අද්දැක තිබෙනවා. මේ මුළු මහත් විශ්වයම නිර්මාණය කිරීමට දෙවි යොදාගත් ඔහුගේ බලය ඔබටත් ලබා දෙන්න දෙවි කැමතියි. ඒ සඳහා ඔබ එම බලය දෙවිගෙන් ඉල්ලිය යුතුයි. එපමණක්ද නොව එම බලය ලබාගැනීමට නම් ඔබ දෙවි ගැන නිවැරදි අවබෝධයක් ලබාගෙන ඔහුගේ කැමැත්ත කිරීමත් අවශ්‍යයි.—යෙසායා 55:6; හෙබ්‍රෙව් 11:6.

දෙවිගේ බලය ලැබුණු විට සාර්ථකව දෙවිට සේවය කරන්නත් ජීවිතයේ ඇති වන අභියෝගවලට මුහුණ දෙන්නත් ඔබට හැකි වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් වන දෙය බලන්න. “දෙවි විඩාවට පත් වූ අයට සවිය දෙයි. හෙම්බත් වූ අයව බොහෝ සෙයින් ශක්තිමත් කරයි. යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන අය යළි නැඟිටින්නෝය. ඔවුහු තම සවිය වැඩි කරගෙන රාජාලීන් මෙන් ඉහළටම පියාඹන්නෝය. ඔවුහු දුවන්නෝය. නමුත් වෙහෙසට පත් නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. නමුත් විඩාවට පත් නොවෙති.”—යෙසායා 40:28-31NW.

[පාදසටහන]

^ 6 ඡේ. නම් වෙනස් කර ඇත.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘මගේම ශක්තියෙන් ඒ නරක පුරුද්ද අත්හරින්න බැහැ කියලා මට තේරුණා. ඒ නිසා මම හැමදාම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා මගේ ජීවිතය වෙනස් කරගන්න උපකාර කරන්න කියලා කිව්වා’

[7වන පිටුවේ කොටුව/පින්තූර]

දෙවි තම බලය යොදාගත් ආකාරය

පොළොව සහ විශ්වය නිර්මාණය කිරීමට. “යෙහෝවා දෙවියනි, ඔබ කොතරම් දේවල් නිර්මාණය කර ඇද්ද! ඔබ ඒ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවෙහිය. පොළොව ඔබේ නිර්මාණවලින් පිරී තිබේ.” (ගීතාවලිය 104:24NW) “ඔබේ බලය එවා ඔබ ඔවුන්ට ජීවනය දෙන්නෙහිය. ඔබ පොළෝතලය අලුත් කරන්නෙහිය.”—ගීතාවලිය 104:30NW; උත්පත්ති 1:2; යෝබ් 33:4.

බයිබලය ලිවීම සඳහා මිනිසුන්ට මඟ පෙන්වීමට. ‘මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි’ කියා දෙවිගේ සේවකයෙකු වූ පාවුල් පැවසුවා. (2 තිමෝති 3:16) යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ට බයිබලය ලිවීමට මඟ පෙන්වූයේ ඔහුගේ බලය මාර්ගයෙනුයි. එමනිසා ‘දෙවිගේ පණිවිඩය’ නිවැරදිව වාර්තා කිරීමට ඔවුන්ට හැකි වුණා.—1 තෙසලෝනික 2:13.

අනාවැකි පැවසීමට. පේතෘස් මෙසේ පැවසුවා. ‘ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් කිසිම අනාවැකියක් යමෙකුගේ පෞද්ගලික අදහස් පදනම් කරගෙන ලියවී නැති බව ඔබ මුලින්ම තේරුම්ගත යුතුයි. මන්ද අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.’—2 පේතෘස් 1:20, 21; යෝවෙල් 2:28.

රාජ්‍ය ශුභාරංචිය ප්‍රකාශ කිරීමට සහ බලවත් ක්‍රියා කිරීමට. යේසුස් මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි.’—ලූක් 4:18; මතෙව් 12:28.

[9වන පිටුවේ කොටුව/පින්තූර]

දෙවිගේ බලයේ උපකාරය තුළින් අපට කළ හැකි දේවල්

වැරදි පෙලඹීම් ඇති වන විට ඒවා පාලනය කිරීම සහ නරක පුරුදු අත්හැරීම. ‘දෙවි විශ්වාසවන්තය. එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත. මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි.’—1 කොරින්ති 10:13.

යහපත් ගුණාංග වර්ධනය කරගැනීම. ‘කෙනෙකු තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසය, මෘදුකම, තමාව පාලනය කරගැනීම යන ගුණාංග සියල්ල ඔහු තුළ දැකගත හැකියි.’—ගලාති 5:22, 23.

පීඩා ජය ගැනීම. ‘මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.’—ෆිලිප්පි 4:13.