Skip to content

පටුනට යන්න

යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද?

යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද?

පාඨකයන් අසයි

යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද?

යක්ෂයා සැබෑ පුද්ගලයෙක් බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. නමුත් බයිබලය පිළි නොගන්නා අය පවසන්නේ යක්ෂයා කියා පුද්ගලයෙක් නැති බවයි. ඔවුන් යක්ෂයාව නිර්වචනය කරන්නේ මිනිසුන් තුළ තිබෙන නරක සිතුවිලි ලෙසයි.

බොහෝ මිනිසුන් යක්ෂයාගේ සැබෑ තත්වය හඳුනා නොගැනීම ගැන අපි පුදුම විය යුතු නැහැ. ඊට හේතුව තේරුම්ගැනීමට උදාහරණයක් සලකා බලමු. දරුණු අපරාධකරුවෙක් තමන් කළ අපරාධ සැඟවීම සඳහා ඇඟිලි සලකුණු මකා දමනවා. ඔහු එසේ කරන්නේ අපරාධයට වග කිව යුත්තා තමන් බව මිනිසුන්ගෙන් සඟවමින් දිගින් දිගටම එවැනි අපරාධ කිරීමටයි. ඒ හා සමානව මේ ලෝකයේ සිදු වන දුෂ්ටකම්වලට වග කිව යුත්තා වන යක්ෂයාද තමාව හඳුනාගැනීමට නොහැකි වන සේ මිනිසුන්ව නොමඟ යවා තිබෙනවා. කොහොමවුණත් සියලුම දුෂ්ටකම්වලට වග කිව යුත්තා යක්ෂයා බව යේසුස් පැහැදිලිව පෙන්නුම් කළා. ඔහු යක්ෂයාව “මේ ලෝකයේ පාලකයා” ලෙස හැඳින්වූයේ ඒ නිසයි.—යොහන් 12:31.

යක්ෂයා බිහි වුණේ කෙසේද? ස්වර්ගයේ සිටි දේවදූතයෙක් දෙවිට අකීකරු වී තමාවම යක්ෂයෙක් බවට පත් කරගත්තා. ඔහුට අවශ්‍ය වුණේ මිනිසුන් දෙවිට කළ නමස්කාරය තමන්ට ලබාගැනීමටයි. යක්ෂයා යේසුස් සමඟ කතා කළ අවස්ථාවක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී යක්ෂයා යේසුස්ට පැවසුවේ ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න’ කියායි. (මතෙව් 4:8, 9) දෙවිට පමණක් හිමි විය යුතු නමස්කාරය ලබාගැනීමට යක්ෂයාට කොතරම් කෑදරකමක් තිබුණාද කියා ඒ සිද්ධියෙන් පැහැදිලි වෙනවා.

මිනිසුන්ව දෙවිගෙන් ඈත් කිරීම සඳහා ඕනෑම දෙයක් කිරීමට තමන් සූදානමින් සිටින බව යක්ෂයාගේ ක්‍රියාවලින් ඔප්පු වෙනවා.—යෝබ් 1:13-19; 2:7, 8.

යක්ෂයා යෙහෝවා දෙවි සමඟ කළ සංවාදයක් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. යක්ෂයා සැබෑ පුද්ගලයෙක් නොවෙයි නම් යෙහෝවා දෙවි සහ යේසුස් සමඟ ඔහු කතා කළේ කෙසේද? යෙහෝවා දෙවි තුළවත් යේසුස් තුළවත් නපුරු සිතුවිලි නැහැ. ඒ අනුව යක්ෂයා යනු කෙනෙක් තුළ පවතින නරක සිතුවිල්ලක් නොව සැබෑ පුද්ගලයෙක් බව පැහැදිලියි. නමුත් ඔහු අපේ ඇස්වලට පෙනෙන්නේ නැහැ.

අද ලොව පුරා සිදු වන දුෂ්ටකම්වලින්ද ඔප්පු වන්නේ යක්ෂයා සැබෑ පුද්ගලයෙක් බවයි. උදාහරණයකට දිලිඳු රටවල සිටින මිනිසුන් කුසගින්නේ සිටින විට ධනවත් රටවල සිටින මිනිසුන් ඔවුන්ගේ අතිරික්ත ආහාර විනාශ කර දමනවා. එමෙන්ම ඇතැම් ජාතීන් මහා පරිමාණයේ විනාශයන් කළ හැකි අවි ආයුධ රැස් කරගෙන සිටිනවා. ඔවුන් මුළු පොළොවම විනාශ කරනවා. මෙවැනි දුෂ්ටකම්වලට හේතුව කුමක්ද කියා බොහෝ මිනිසුන් තේරුම් නොගන්නේ ඇයි?

එයට හේතුව යක්ෂයා මිනිසුන්ගේ “මනස් අන්ධ කර” තිබීමයි. (2 කොරින්ති 4:4) සත්‍ය වසං කිරීමෙන් මිනිසුන්ගේ මනස් අන්ධ කිරීම සඳහා යක්ෂයා ඔහු යටතේ සිටින භූතයන්ව යොදාගන්නවා. බයිබලයේ යක්ෂයාව “භූතයන්ගේ පාලකයා” ලෙස හඳුන්වා තිබෙන්නේ ඒ නිසයි. (මතෙව් 12:24) මැර කල්ලියක නායකයෙකුට තමන් ගැන කිසිම තොරතුරක් හෙළි නොකර තම සගයන් ලවා මිනිසුන්ට බලපෑම් කිරීමට හැකියාව තිබෙනවා. ඒ හා සමානව යක්ෂයාද තමන් ගැන කිසිම තොරතුරක් හෙළි නොකර තම භූතයන් ලවා දුෂ්ටකම් කිරීමට මිනිසුන්ව පොලඹවනවා.

යක්ෂයා සහ ඔහු යටතේ සිටින භූතයන් ගැන තොරතුරු බයිබලයේ සඳහන් වී තිබෙනවා. ඒ නිසා අපට ඔවුන්ගේ නරක බලපෑම්වලින් ආරක්ෂා විය හැකියි. ඒ ගැන අපි කොතරම් සතුටු විය යුතුද! ඔවුන්ගෙන් ආරක්ෂා වීම සඳහා අප කළ යුතු දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවිට යටත් වන්න. යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යන්නේය.”—යාකොබ් 4:7.