Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

බොරු කියන්න එපා—පේතෘස්ගෙනුයි අනනියස්ගෙනුයි පාඩමක් ඉගෙනගමු

බොරු කියන්න එපා—පේතෘස්ගෙනුයි අනනියස්ගෙනුයි පාඩමක් ඉගෙනගමු

ඔයා කවදා හරි බොරු කියලා තියෙනවාද? * යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරපු ලොකු අයත් බොරු කියලා තියෙනවා. යේසුස්ගේ ගෝලයෝ දොළොස්දෙනාගෙන් එක් කෙනෙක් වුණු පේතෘස් දවසක් බොරුවක් කිව්වා. ඒ ඇයි කියලා දැන් අපි බලමුද?

යේසුස්ව අල්ලගෙන උත්තම පූජකයාගේ ගෙදරට අරගෙන ගියාම පේතෘස් ඒ අය පිටිපස්සේ ගිහිල්ලා හෙමීට උත්තම පූජකයාගේ ගෙදර මළුවට ඇතුල් වුණා. එතකොට වෙලාව රෑ දොළහත් පහු වෙලා. උත්තම පූජකයාගේ සේවිකාව ගිනිමැලයේ එළියෙන් පේතෘස්ව අඳුරගත්තා. ‘ඔයාත් ගලීලයේ යේසුස් එක්ක හිටියා නේද’ කියලා සේවිකාව එයාගෙන් ඇහුවා. පේතෘස් හොඳටම භය වෙලා නැහැ කියලා කිව්වා. එයා කිව්වේ බොරුවක්.

පේතෘස් එතනින් අයින් වෙලා වෙන තැනකට ගියාම තවත් තරුණියක් එයාව දැකලා මෙහෙම කිව්වා. ‘මෙයත් යේසුස් එක්ක හිටියා.’ දෙවෙනි පාරටත් පේතෘස් කිව්වා මම යේසුස්ව දන්නෙවත් නැහැ කියලා. ටික වෙලාවකින් තවත් කට්ටිය එතනට ඇවිල්ලා ‘අනිවාර්යයෙන්ම ඔයාත් ඒ අයගෙන් එක් කෙනෙක් වෙන්න ඕනෙ’ කියලා පේතෘස්ට කිව්වා.

පේතෘස් තවත් භය වුණා. තුන්වෙනි පාරටත් පේතෘස් කිව්වා ‘එයාව මං අඳුරන්නේ නැහැ’ කියලා. ඒ වෙලාවෙම කුකුළෙක් හැඬලුවා. එතකොට පේතෘස්ට මතක් වුණා ‘කුකුළෙක් හඬලන්න කලින් ඔයා තුන් පාරක්ම මාව අඳුරන්නේ නැහැ කියයි’ කියලා යේසුස් කිව්ව දේ. ඒ වෙලාවේ පේතෘස්ට ගොඩක් දුක හිතිලා එයා එළියට ගිහින් හොඳටම ඇඬුවා.

ඒ වගේ දෙයක් ඔයාට වුණොත් මොකද කරන්නේ?— මෙහෙම වුණා කියලා හිතන්න. දවසක් ඔයාගේ පන්තියේ ළමයි කට්ටියක් මෙහෙම කතා වෙනවා ඔයාට ඇහෙනවා. “අපෝ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ නං වැඩක් නෑ. ඒ අය කොඩියට ආචාර කරන්නැති, රට වෙනුවෙන් යුද්ධ කරන්නැති අමුතුම කට්ටියක්.” තව ළමයෙක් මෙහෙම කියනවා. “ඒ අය ජේසුව අදහනවා කිව්වට නත්තල් ගන්නෙත් නෑ.” එතකොටම ඒ අයගෙන් එක් කෙනෙක් ඔයාගෙන් අහනවා “ඔයාත් යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් නේද” කියලා. ඔයා මොනවද කියන්නේ?

ඒ වගේ වෙලාවකදී කියන්න ඕන මොනවාද කියලා ඔයා කලින්ම හිතන්න ඕනේ. නැත්නම් ඔයා ටිකක් කලබල වෙන්න පුළුවන්. පේතෘස්ට වුණේ ඒකයි. එයා කවදාවත් හිතන්න නැතුව ඇති ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණොත් කියන්න ඕන මොනවද කියලා. ඒ නිසා අනිත් අය එයාගෙන් ප්‍රශ්න කළාම එයා බොරු කිව්වා. හැබැයි ඒ වරද ගැන එයා ගොඩක් දුක් වෙලා දෙවිගෙන් සමාව ඉල්ලුවා. ඒ නිසා දෙවියන් එයාට සමාව දුන්නා.

බොරු කියපු තවත් දෙන්නෙක් තමයි අනනියස් හා එයාගේ බිරිඳ සෆීරා. ඒ දෙන්නා කතා වෙලා බොරු කිව්වා. ඒ දෙන්නට මොකද වුණේ කියලා අපි දැන් බලමු.

යේසුස් ස්වර්ගයට ගිහින් දවස් දහයකට පස්සේ පෙන්තකොස්ත උත්සවය සමරන්න දුරබැහැර රටවලින් ගොඩක් සෙනඟ යෙරුසලමට ඇවිත් හිටියා. ඒ අය යේසුස් ගැන ඇහුවම යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න තීරණය කළා. ඒ නිසා එක දවසේ 3,000ක් විතර බව්තීස්ම වුණා. යේසුස් ගැනයි දෙවියන් ගැනයි තවත් දේවල් ඉගෙනගන්න ඕන වුණ හින්දා මේ අය ටික දවසක් යෙරුසලමේම නැවතිලා හිටියා. එයාලව බලාගන්න සල්ලි ඕන නිසා යෙරුසලමේ හිටපු යේසුස්ගේ අනුගාමිකයන් ඉඩකඩම් විකුණලා සල්ලි පරිත්‍යාග කළා.

අනනියස් හා සෆීරාත් ඒ දේ කළා. ඒ දෙන්නා ඉඩමක් විකුණලා ඒ සල්ලිවලින් ටිකක් තියාගෙන ඉඩම විකුණපු ඔක්කොම සල්ලි මෙතන තියෙනවා කියලා යේසුස්ගේ නියෝජිතයන්ට භාර දුන්නා. හැබැයි ඒක බොරුවක්. අනනියස් බොරු කරනවා කියලා යෙහෝවා දෙවියන් පේතෘස්ට හෙළි කළා. ඒ වෙලාවේ පේතෘස් එයාට කිව්වා ‘ඔයා බොරු කළේ මිනිසුන් වන අපිට නෙවෙයි දෙවිටයි’ කියලා. එතකොටම අනනියස් මැරිලා වැටුණා. පැය තුනකට විතර පස්සේ සෆීරාත් එතනට ආවා. අනනියස්ට වෙච්ච දේ එයා දැනගෙන හිටියේ නැහැ. එයාත් අනනියස් කියපු බොරුවම කිව්වා. ඒ වෙලාවෙම එයාත් මැරුණා.

බොරු කියන එක කොච්චර නරකද කියලා ඒකෙන් තේරෙනවා. හැබැයි ඕනම කෙනෙක් අතින් බොරුවක් කියවෙන්න පුළුවන්. පොඩි අය අතින් ඒක වැඩියෙන් වෙන්න ඉඩ තියෙනවා. වැරදිලාවත් බොරුවක් කියලා දෙවිගේ හිත රිද්දුවොත් සමාව දෙන්න කියලා දෙවිට කන්නලව් කරන්න. යෙහෝවා දෙවියන් ඔයාට ගොඩක් ආදරේ නිසා පේතෘස්ට වගේ ඔයාටත් සමාව දෙන එක ගැන ඔයා සතුටු වෙන්නේ නැද්ද?— හැබැයි බොරු කියන්නේ නැතුව ඉන්න අපි නිතරම උත්සාහ කරන්න ඕනේ කියලා මතක තියාගන්න.

බයිබලයෙන් කියවන්න

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී එම ප්‍රශ්නය දරුවාගෙන් අසන්න.