අරුත්බර දිවියකට යේසුස්ගෙන් ඔවදන්
‘යේසුස් තම ජීවිතය ගත කළ ආකාරයටම ජීවිතය ගත කරන්න.’—1 යොහන් 2:6.
කලින් ලිපියෙන් අපි දැනගත්ත විදිහට යේසුස් ගත කළේ අරුත්බර දිවියක්. ඔයාත් කැමතිද ඒ වගේ අර්ථවත් ජීවිතයක් ගත කරන්න?
එහෙම ජීවිතයක් ගත කරන්න නම් අපි යේසුස්ව ආදර්ශයට ගන්න ඕන වගේම ඔහුගේ ඉගැන්වීම් අපේ ජීවිතයට අදාළ කරගන්නත් ඕනේ. එතකොට තමයි යේසුස් ජීවත් වුණ විදිහට අපිත් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. අපි එහෙම ජීවත් වෙද්දී යෙහෝවා දෙවියන් අපි ගැන සතුටු වෙනවා වගේම අපේ ජීවිතයත් අර්ථවත් වෙනවා.
අපේ ජීවිතය අර්ථවත් කරගන්න උදව් වෙන යේසුස්ගේ ඔවදන් කීපයක් හා ඒවා අදාළ කරගන්න පුළුවන් විදිහ දැන් අපි බලමු.
ඔවදන: ‘නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින්න.’—මතෙව් 5:3.
අර්ථවත් ජීවිතයකට එය දායක වෙන අයුරු:
අපේ ජීවිතය අර්ථවත් කරගන්න නම් අපිට දෙවිගේ මඟ පෙන්වීම් ඕනෙමයි. ඔහුගේ මඟ පෙන්වීමෙන් විතරයි මේ වැදගත් ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන් වෙන්නේ. ජීවිතයේ අරමුණ මොකක්ද? මේ තරම් දුක් වේදනා පවතින්නේ ඇයි? දෙවියන් අපි ගැන සැලකිලිමත්ද? මැරුණට පස්සේ මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නවලට නිවැරදි උත්තර දැනගන්න පුළුවන් වෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම් ඇතුළත් බයිබලයෙන් විතරයි. ඒක යේසුස් පවා පිළිගත්තා. ඔහු දෙවියන්ට යාච්ඤා කරද්දී “ඔබ පවසන දේ සත්‍යයයි” කියලා කිව්වේ ඒ නිසයි. (යොහන් 17:17) බයිබලයේ තියෙන දෙවිගේ මඟ පෙන්වීම් දැනගැනීමෙන් ඇත්තටම අපේ ජීවිතය අර්ථවත් වෙනවාද?
මේ අද්දැකීම බලන්න:
ප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක ප්‍රධාන ගායකයා වුණු එසාට සංගීත ලෝකයේ ඉහළටම යන්න අවස්ථාව තිබුණා. ඒත් ඔහුට නිතරම හිස්බවක් දැනුණා. සින්දු කියන එකෙන් එසා සතුටක් අද්දැක්කත් දැනුණු හිස්බව නැති වුණේ නැහැ. කාලය ගෙවිලා යද්දී එයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් මුණගැහුණා. එයාගේ හිතට වධ දුන්න ගොඩක් ප්‍රශ්න එයා සාක්ෂිකරුවාගෙන් ඇහුවා. සාක්ෂිකරුවා එයාට බයිබලයෙන් ඒ ප්‍රශ්නවලට පැහැදිලි උත්තර දුන්න නිසා එසා බයිබලය ගැන තව ඉගෙනගන්න කැමති වුණා. බයිබලයෙන් ඉගෙනගත්ත තොරතුරු එසාගේ හදවතට තදින් කාවැදුණා. එසා, ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරලා සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වුණා. එසා මෙහෙම කියනවා. “ඉස්සර මං නිතරම ප්‍රශ්න ගැටලුවලට පැටලුණා. හැබැයි දැන් එහෙම නෑ. දැන් මං ගත කරන්නේ අර්ථවත් ජීවිතයක්.” *
ඔවදන: ‘දයාවන්ත වෙන්න.’—මතෙව් 5:7.
අර්ථවත් ජීවිතයකට එය දායක වෙන අයුරු:
දයාවන්ත කෙනෙක් අනිත් අයව තේරුම්ගන්නවා වගේම ඒ අයට කරුණාවන්තව සලකනවා. යේසුස් එහෙම කළා. දුක් වේදනාවලින් පෙළුණු අය ගැන ලොකු අනුකම්පාවක් දැනුණු නිසා ඔහු ඔවුන්ට සහනයක් ලබා දුන්නා. (මතෙව් 14:14; 20:30-34) අසරණ වෙලා ඉන්න අයට, පීඩා විඳින අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමෙන්, ඒ අයට උදව් උපකාර කිරීමෙන් අපිටත් යේසුස් වගේ දයාව පෙන්වන්න පුළුවන්. එහෙම කරද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා විතරක් නෙවෙයි අපේ ජීවිතය තවත් අර්ථවත් වෙනවා. (ක්‍රියා 20:35) අනිත් අයට දයාව පෙන්වද්දී ඇත්තටම අපේ ජීවිතේ අර්ථවත් වෙනවාද?
මේ අද්දැකීම බලන්න:
මාරියා හා කාර්ලොස් විවාහක යුවළක්. තනියම ජීවත් වුණු මාරියාගේ තාත්තා අවුරුදු කීපයකට කලින් අසනීප වෙලා ඇඳටම වුණා. ඒ නිසා මාරියා හා කාර්ලොස් තාත්තව එයාලගේ ගෙදරට ගෙනාවා. තාත්තගේ ඕනෑ එපාකම් පිරිමහන්න එයාලා ගොඩක් මහන්සි වෙනවා. සමහරදවස්වල එයාලට රෑට නින්දකුත් නැහැ. තාත්තගේ අසනීපේ වැඩි වුණාම රෑ ජාමේ වුණත් එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්නත් වෙනවා.
කොච්චර මහන්සියක් දැනුණත් යේසුස් කිව්වා වගේ දයාව පෙන්නන එකෙන් එයාලා ලොකු සතුටක් ලබනවා.ඔවදන: ‘සාමය ඇති කරන්න වෙහෙසෙන්න.’—මතෙව් 5:9.
අර්ථවත් ජීවිතයකට එය දායක වෙන අයුරු:
සාමය ඇති කරන්න අපි උත්සාහයක් ගද්දී අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව අනිත් අය එක්ක පෑහිලා ඉන්න පුළුවන්. බයිබලයේ දිරිගන්වලා තියෙන්නේ “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න” කියලයි. (රෝම 12:18) “මිනිසුන් සමඟ” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ පවුලේ අය එක්ක විතරක් නෙවෙයි වෙන ආගම් අදහන අය එක්කත් අපි සමාදානයෙන් ඉන්න උපරිම උත්සාහයක් ගන්න ඕන කියලයි. සාමය ඇති කරන එකෙන් ඇත්තටම අපේ ජීවිතේ අර්ථවත් වෙනවද?
මේ අද්දැකීම බලන්න:
මීට අවුරුදු 15කට විතර කලින් නායිර්ගේ සැමියා ඇයව දාලා ගියා. එදා ඉඳලා දරුවන්ව තනියම බලාගන්න ඇයට සිද්ධ වුණා. නායිර්ගේ එක පුතෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ නිසා එයා නිතරම නායිර් එක්කයි නායිර්ගේ දුව එක්කයි රණ්ඩුවට ආවා. සමහර වෙලාවට එයාලට තර්ජනත් කළා. ඒ වගේ ප්‍රශ්නයක් තිබුණත් රණ්ඩු නොකර සාමකාමීව ඉන්න නායිර්ට පුළුවන් වුණේ එයා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසයි. එයා නිතරම උත්සාහ කරන්නේ අනිත් අයව තේරුම් අරන් එයාලට කාරුණිකව සලකන්නයි. (එෆීස 4:31, 32) මේ විදිහට සාමය ඇති කරන්න උත්සාහ කරන නිසා එයාට පවුලේ අය එක්කයි අනිත් අය එක්කයි හොඳින් ඉන්න පුළුවන් වෙලා තියෙනවා කියලා නායිර් කියනවා.
අරුත්බර අනාගතය ගැන හිතන්න
යේසුස් දීපු ඔවදන් අදාළ කරගැනීමෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒත් අපේ අනාගතය ගැන කියන්න පුළුවන් මොකක්ද? ටික කාලයක් ජීවත් වෙලා අසනීප වෙලා මැරිලා යන එකද ජීවිතේ කියන්නේ? නැහැ.
‘යේසුස් ජීවත් වුණු ආකාරයට ජීවත් වෙන්න’ උත්සාහ කරන අයට ආශීර්වාද රැසක් ලබා දෙන්න යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගැන හිතන එකෙන් අපේ ජීවිතේට අරුතක් එක් වෙනවා. දෙවියන් මේ පොළොව පාරාදීසයක් කරලා කීකරු මිනිසුන්ට හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා. එදාට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “බලන්න! දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන් සමඟ වාසය කරනු ඇත. ඔවුහු ඔහුගේ සෙනඟ වන්නෝය. දෙවි ඔවුන් සමඟම සිටිනු ඇත. එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.
අපි මේ ලිපි මාලාවේ මුල්ම ලිපියේ සඳහන් කළ මාරියා ආසාවෙන් බලාගෙන ඉන්නේ ඒ පොරොන්දුව ඉටු වෙන දවස එනකම්. ඒ නිසා එයාගේ ජීවිතේ අර්ථවත්. ඔයාත් ඒ දවස එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවාද? දෙවියන් අපිට අනාගතයේදී ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙන ඒ “සැබෑ ජීවිතය” ගැන දැනගන්න ඔයා කැමතිද? (1 තිමෝති 6:19) එහෙමනම් ඒ ගැන ඔයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් අහන්න පුළුවන්. නැත්නම් මේ සඟරාවේ තියෙන ලිපිනයට ලියන්න. *
^ 8 ඡේ. එසා තම ජීවිතය වෙනස් කරගත්ත විදිහ ගැන මේ සඟරාවේ 8-9වෙනි පිටුවල තියෙනවා.
^ 18 ඡේ. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු කියන පොත විවිධ විෂයන් ගැන බයිබලයේ තියෙන තොරතුරු දැනගන්න හුඟදෙනෙක්ට උපකාර වෙලා තියෙනවා. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්රකාශනයක්.