Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

යේසුස් ක්‍රිස්තුස් තවමත් පුංචි බිලිඳෙක්ද?

යේසුස් ක්‍රිස්තුස් තවමත් පුංචි බිලිඳෙක්ද?

ලෝකේ හැම තැනකම වගේ දෙසැම්බර් මාසේ වෙද්දී යේසුස්ව ගවඔරුවක ඉන්න පුංචි බබෙක් විදිහට පෙන්නන පින්තූර, රූප දකින්න පුළුවන්. ඒත් ඔයා හිතන්නේ යේසුස් තාමත් පුංචි බබෙක් කියලද? * අපි දැන් ඒ ගැන ටිකක් බලමු. යේසුස් ඉපදුණ වෙලාවේ බෙත්ලෙහෙම් නගරය අවට හිටපු එඬේරුන් පුදුම දෙයක් දැක්කා.

දේවදූතයෙක් ඇවිල්ලා ඒ එඬේරුන්ට මෙහෙම කිව්වා. ‘අද, ඔබට ගැලවුම්කරුවෙක් ඉපදී සිටිනවා. ස්වාමීන් වන ක්‍රිස්තුස් කියන්නේ ඔහුටයි.’ ඔහුව ‘ගවමඩුවක තිබෙන ගවඔරුවක රෙදි පටිවලින් ඔතලා’ තියෙනවා කියලත් දේවදූතයා කිව්වා. ඒ වෙලාවෙම තවත් දේවදූතයන් සේනාවක් ඒ දේවදූතයා එක්ක ‘දෙවියන්ට ප්‍රශංසා’ කළා.

දේවදූතයන් දෙවියන්ට ප්‍රශංසා කරනවා ඔයාට ඇහුණා නම් ඔයාට මොනවා හිතෙයිද?— එඬේරුන් නම් ගොඩක් සතුටු වුණා. එයාලා කිව්වා ‘අපි දැන්ම බෙත්ලෙහෙමට ගිහින් මේ සිද්ධිය දැක බලා ගනිමු’ කියලා. ඒ ගියාම ‘මරියාවයි යෝසෙප්වයි ගවඔරුවේ නිදාගෙන හිටිය ළදරුවාවයි’ එයාලා දැක්කා.

එඬේරු එයාලා දැකපු දේ බෙත්ලෙහෙමේ හිටපු අනිත් අයටත් කිව්වා. එතකොට ඒ අයත් පුදුම වුණා. ඔයා කැමතිද දේවදූතයා යේසුස් ගැන කිව්ව පුදුම දේවල් මොනවාද කියලා දැනගන්න?— දෙවියන්ට ආදරේ අය නම් ඒ ගැන දැනගන්න ආසයි. යේසුස්ගේ උපත හැමෝටම ලොකු සතුටක් ගෙනාවේ ඇයි කියලා දැනගන්න යේසුස් ඉපදෙන්න කලින් සිද්ධ වුණ දෙයක් ගැන දැන් අපි බලමු.

දවසක් ගාබ්‍රියෙල් කියන දේවදූතයා ඇවිත් මරියාට කිව්වා ඇයට දරුවෙක් ඉපදෙනවා කියලා. ඒ දරුවා “ශ්‍රේෂ්ඨ කෙනෙක්” වෙනවා කියලත් ඔහුව “මහෝත්තම දෙවිගේ පුත්‍රයා” ලෙස හඳුන්වනවා කියලත් කිව්වා. ඒ විතරක් නෙමෙයි ඒ දරුවා රජෙක් වෙනවා කියලත් එයාගේ ‘රාජ්‍යයට අවසානයක් නැහැ’ කියලත් දේවදූතයා කිව්වා.

තවම පුරුෂයෙක් එක්ක එකට ජීවත් වෙලා නැති නිසා මට දරුවෙක් ලැබෙන්නේ කොහොමද කියලා මරියා ඇහුවා. එතකොට දේවදූතයා කිව්වා ‘ඔබේ කුසේ දරුවා හැදෙන්නේ මහෝත්තම දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙන නිසා’ කියලා. ඒ දරුවා “ශුද්ධ කෙනෙක්” කියලත් ඔහු ‘දෙවියන්ගේ පුත්‍රයා’ කියලත් දේවදූතයා කිව්වා. දෙවියන් ස්වර්ගයේ හිටපු ඔහුගේ පුතාව මරියාගේ කුසේ වැඩෙන්න සලස්වපු එක මොන තරම් පුදුම ක්‍රියාවක්ද!

නත්තල් කාලෙදී රජවරු තුන්දෙනෙක් බිලිඳු යේසුස්ව බලන්න එන පින්තූර, රූප වගේ දේවල් ඔයා දැකලා තියෙනවාද?— හැබැයි යේසුස්ව බලන්න ආවේ රජවරු නෙමෙයි ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයෝ කියලා බයිබලයේ කියනවා. ඒ අය අහසේ තියෙන ග්‍රහලෝක දිහා බලලා සාත්තර කියන අය. හැබැයි දෙවියන් එහෙම කරනවාට පොඩ්ඩක්වත් කැමති නැහැ. එයාලා යේසුස්ව බලන්න එද්දී ‘කුඩා යේසුස් හිටියේ එයාගේ අම්මා එක්ක නිවසක’ කියලා බයිබලයේ කියනවා. එහෙමනම් යේසුස් ඒ වෙද්දී ගවඔරුවක හිටපු පුංචි බිලිඳෙක් නෙමෙයි, අම්මයි තාත්තයි එක්ක ගෙදරක හිටපු පොඩි දරුවෙක්.

එයාලා යේසුස් හිටපු තැන හොයාගත්තේ කොහොමද?— එයාලට පාර පෙන්නුවේ තරුවක්. හැබැයි මේ තරුව එයාලට ඉස්සෙල්ලාම මඟ පෙන්නුවේ බෙත්ලෙහෙමට යන්න නෙමෙයි යෙරුසලමේ හිටිය හෙරොද් රජගේ මාලිගාවට යන්නයි. හෙරොද් රජට ඕන වුණේ කුඩා යේසුස්ව මරන්නයි. ශාස්ත්‍රඥයන්ව හෙරොද් ළඟට යවන්න තරුවක් වගේ දෙයක් පායන්න සැලැස්සුවේ කවුද?— ඒක කළේ යෙහෝවා දෙවියන් නෙමෙයි. දෙවියන්ගේ සතුරා වන යක්ෂයායි.

යේසුස් තාම බබෙක් කියලා යක්ෂයා මිනිස්සුන්ට හිතන්න සලස්වනවා. ඒත් ගාබ්‍රියෙල් දේවදූතයා මරියාට කිව්වේ නම් “සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ” කියලයි. ඒ කියන්නේ යේසුස් දැන් ස්වර්ගයේ රජ කෙනෙක්. දෙවියන්ට විරුද්ධව වැඩ කරන හැම කෙනෙක්වම යේසුස් ළඟදීම නැති කරනවා. ඒ නිසා යේසුස් දැන් පුංචි දරුවෙක් නෙමෙයි රජ කෙනෙක් කියන එක අපි මතක තියාගෙන ඒ ගැන අනිත් අයටත් කියමු.

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී එම ප්‍රශ්නය දරුවාගෙන් අසන්න.