Skip to content

පටුනට යන්න

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව විශ්වාස කරනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව විශ්වාස කරනවද?

පහත සඳහන් වෙන්නේ ටෝනි කියන පුද්ගලයා හා ඇන්තනි කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවා අතර ඇති වුණු සංවාදයක්. මේ සංවාදය සිදු වෙන්නේ ටෝනිගේ නිවසෙදියි.

යේසුස්ව විශ්වාස කිරීම අත්‍යවශ්‍ය දෙයක්

ඇන්තනි: කොහොමද ටෝනි?

ටෝනි: හොඳින් ඉන්නවා.

ඇන්තනි: මම ඔයාට අපේ අලුත්ම සඟරා දෙක ගෙනාවා. ඔයා මේවා කියවන්න ආසයි කියලා මම දන්නවනේ.

ටෝනි: තැන්ක් යූ. ඔයා අද ආපු එක හොඳයි. මං ඔයාගෙන් දෙයක් අහන්න කියලයි හිටියේ.

ඇන්තනි: ඒ මොකක්ද?

ටෝනි: මේ ළඟදී මං අපේ වැඩපොළේ කෙනෙක්ට ඔයාලගේ සඟරා ගැන කියද්දී එයා කිව්වනේ මේවා කියවන්න එපා කියලා. එයා කියනවා ඔයගොල්ලෝ යේසුස්ව විශ්වාස කරන්නේ නෑ කියලා. ඒක ඇත්තද?

ඇන්තනි: ඔයා ඒක මගෙන් අහපු එක හොඳයි. මොකද සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන සාක්ෂිකරුවෙක්ගෙන්ම අහන එක තමයි හොඳම දේ.

ටෝනි: මටත් ඒක හිතුණා. ඒකයි මං ඔයාගෙන් ඇහුවේ.

ඇන්තනි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව විශ්වාසය කරනවා. ඇත්තම කියනවා නම් මිනිසුන්ට ගැලවීම ලබන්න යේසුස්ව විශ්වාස කරන එක අත්‍යවශ්‍ය දෙයක්.

ටෝනි: ඔයලා යේසුස්ව විශ්වාස කරනවා ඇති කියලා මමත් හිතුවා. ඒත් මගේ යාළුවා අර වගේ දෙයක් කියපු නිසයි මට ඒ ගැන පොඩි සැකයක් ආවේ. ඒකයි මං ඔයාගෙන් ඇහුවේ. අනික අපි දෙන්නා මේ ගැන මීට කලින් කතා කරලත් නෑනේ.

ඇන්තනි: හරි ටෝනි අපි මෙහෙම කරමු. අපි ඉස්සෙල්ලම යේසුස්ව විශ්වාස කරන එකේ තියෙන වැදගත්කම ගැන කතා කරන බයිබල් පද දෙක තුනක් බලමු.

ටෝනි: හා . . . ඒක හොඳයි.

ඇන්තනි: ඒ ගැන යේසුස්ම කිව්ව දෙයක් අපි ඉස්සෙල්ලම බලමුකෝ. ඒක තියෙන්නේ යොහන් 14:6. මෙතන යේසුස් මෙහෙම කියනවා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” කෙනෙකුට පියාණන් ළඟට යන්න පුළුවන් එකම විදිහ මොකක් කියලද මෙතන කියන්නේ?

ටෝනි: යේසුස් තුළින් නේද?

ඇන්තනි: හරි. ඒ දේ තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නෙත්. අපිට ඒ විශ්වාසය තියෙන නිසයි අපි යාච්ඤා කරන හැම වතාවෙම ඒක යේසුස්ගේ නාමයෙන් ඉවර කරන්නේ.

ටෝනි: මං ඒක දැනං හිටියේ නෑනේ.

ඇන්තනි: අපි යොහන් 3:16ත් බලමු. යේසුස් මේ පොළොවේ ගත කරපු ජීවිතයත් යේසුස්ගේ ඉගැන්වීමුත් එක වාක්‍යයකින්, දෙකකින් කියන්න කිව්වොත් පෙන්නන්න පුළුවන් හොඳම බයිබල් පදය තමයි මේක. ඔයා කැමතිද මේක කියවන්න?

ටෝනි: “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”

ඇන්තනි: ඔයා නම් මේක හොඳට දන්නවා ඇති.

ටෝනි: ඔව්, මට මේක මතකයි. මේ බයිබල් පදේ සමහර තැන්වල ගහලා තියෙනවත් මං දැකලා තියෙනවා.

ඇන්තනි: ඔව්, මේක හුඟක් අය දන්න බයිබල් පදයක්. හොඳට බලන්න ටෝනි මේ පදේ දිහා. මෙතන කියන විදිහට දෙවියන් මිනිසුන්ට හුඟක් ප්‍රේම කරපු නිසා සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව අපි හැමෝටම දීලා තියෙනවා. ඒත් ඒක ලබාගන්න නම් අපි මොනවද කරන්න ඕනේ?

ටෝනි: පුත්‍රයා ගැන විශ්වාසය කරන්න ඕනෙ නේද?

ඇන්තනි: හරියට හරි. දෙවිගේ එකම පුත්‍රයාව ඒ කියන්නේ යේසුස්ව විශ්වාස කළොත් විතරයි සදාකල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. මේ බලන්නකෝ මම ඔයාට ගෙනාපු ‘මුරටැඹ’ සඟරාවේ 2වෙනි පිටුවේ උඩින්ම තියෙන කොටස. එතන කතා කරන්නේ මේ සඟරාවේ අරමුණ ගැන. බලන්න එතන කියන දේ. “අපට සදාකාල ජීවනය ලබා දීම සඳහා තම ජීවිතය පූජා කළ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි අපේ විශ්වාසය තව වැඩි කරගැනීමටත් ඔහු දේවාණ්ඩුවේ රජු ලෙස පිළිගැනීමටත් මෙම සඟරාව උපකාරවත් වෙනවා.”

ටෝනි: ඔය තියෙන්නේ, ඔයගොල්ලෝ යේසුස්ව විශ්වාස කරනවා කියන එකට මේකම සාක්ෂියක්නේ.

ඇන්තනි: ඒක තමයි.

ටෝනි: එහෙනම් ඇන්තනි ඇයි මිනිස්සු කියන්නේ ඔයගොල්ලෝ යේසුස්ව විශ්වාස කරන්නේ නෑ කියලා?

ඇන්තනි: ඒකට හේතු කීපයක්ම තියෙනවා ටෝනි. සමහරු එහෙම කියන්නේ අනිත් අය කියන දේවල් හොයලා බලන්නේ නැතුව විශ්වාස කරන නිසයි. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පූජකයන් එහෙම හිතන්න ඒගොල්ලන්ට උගන්නන නිසයි.

ටෝනි: මට මෙහෙමත් හිතෙනවා. ඔයාලට කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා මිසක් යේසුස්ගේ සාක්ෂිකරුවන් කියලා නෙමෙයිනේ. ඒකත් හේතුවක් වෙන්න බැරිද?

ඇන්තනි: ඔව්, සමහරවිට ඒකත් හේතුවක් වෙන්න ඇති.

ටෝනි: ඇයි ඔයගොල්ලෝ ඔච්චරම යෙහෝවා ගැන කතා කරන්නේ?

“මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා”

ඇන්තනි: අපි එහෙම කරන්නේ දෙවියන්ගේ නම ඒක නිසා. දෙවියන්ගේ නම පාවිච්චි කරන එක හුඟක් වැදගත්. යේසුත් ඒක කළා. යේසුස් යාච්ඤා කරද්දී කියපු මේ දේ බලන්න. ඔයාට පුළුවන්ද යොහන් 17:26 කියවන්න?

ටෝනි: පුළුවන්. මේක නේ? “ඔබ මට දැක්වූ ප්‍රේමය ඔවුන් තුළ තිබීමටත් මා ඔවුන් සමඟ එකට බැඳී සිටීම සඳහාත් මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.”

ඇන්තනි: මෙතන යේසුස් කියනවා ඔහු දෙවියන්ගේ නාමය ගැන මිනිසුන්ට දැනුම් දුන්නා කියලා. ඔයා හිතන්නේ ඇයි යේසුස් එහෙම කළේ?

ටෝනි: මං දන්නෑ. ඔයාම කියන්නකෝ.

ගැලවීම ලබාගන්න යේසුස්ව විශ්වාස කරන එක අත්‍යවශ්‍යයි

ඇන්තනි: අපි ඒ ගැන හරියටම දැනගන්න තව බයිබල් පදයක් බලමුකෝ. අපි බලමු ක්‍රියා 2:21. මෙතන මෙහෙම කියනවා. “නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.” ඔයාට තේරුණද ටෝනි? මෙතන කියන විදිහට කෙනෙක්ට ගැලවීම ලබාගන්න නම් ඒ කෙනා දෙවියන්ගේ නම කියලා අයැදින්න ඕනේ. යේසුත් ඒක දැනගෙන හිටියා කියලා ඔයා හිතන්නේ නැද්ද?

ටෝනි: ඔව්, අනිවාර්යයෙන්ම.

ඇන්තනි: තමන්ගේ අනුගාමිකයන් දෙවියන්ගේ නම දැනගෙන ඒක පාවිච්චි කරනවට යේසුස් කැමති වුණේ ඔවුන්ට ගැලවීම ලබන්න ඒක අත්‍යවශ්‍ය දෙයක් වුණ නිසයි. අපිත් යෙහෝවා කියන දෙවියන්ගේ නම ගැන මෙච්චර කතා කරන්නේ ඒ නිසයි. දෙවියන්ව ඔහුගේ පුද්ගලික නමෙන්ම දැන හඳුන ගන්න එක හුඟක් වැදගත් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම වෙන අයටත් එහෙම කරන්න අපි උදව් කරනවා.

ටෝනි: ඒත් ඇන්තනි, මිනිස්සු දෙවියන්ගේ නම දන්නෙත් නෑ, ඒක පාවිච්චි කරන්නෙත් නෑ කියලා අපි හිතමු. ඒත් අපි හැමෝම කතා කරන්නේ, යාච්ඤා කරන්නේ එකම දෙවියන්ට නේද?

ඇන්තනි: ඒක හරි වෙන්න ඇති. ඒත් දෙවියන් තමන්ගේ නම මොකක්ද කියලා අපිට කියලා තියෙන්නේ ඔහුට තව තවත් කිට්ටු වෙන්න අපිට පුළුවන් වෙන්න නේද?

ටෝනි: ඒ කියන්නේ?

ඇන්තනි: මෙහෙම හිතන්නකෝ. අපි හිතමු, මෝසෙස් කියන නම අපි දන්නේ නෑ කියලා. අපි එයාව දන්නේ රතු මුහුද දෙබෑ කරපු, දස පණත දුන්න කෙනා විදිහට විතරයි කියලා. එහෙම නැත්නම් අපි හිතමු, නෝවාගේ නම අපි දන්නේ නෑ. අපි එයාව දන්නේ ලොකු නැවක් හදලා සතුන්වයි එයාගේ පවුලේ අයවයි බේරගත්ත කෙනා කියලා විතරයි. ඕනෙ නම් අපිට යේසුස්වත් ඒ විදිහට හඳුන්වන්න පුළුවන්. අපිට පුළුවන් එයාව ස්වර්ගයේ ඉඳන් ඇවිත් අපේ පව් වෙනුවෙන් ජීවිතේ පූජා කරපු කෙනා විදිහට හඳුන්වන්න. එහෙම කරන්න පුළුවන් නේද?

ටෝනි: ඔව්, බැරිකමකුත් නෑ.

ඇන්තනි: ඒත් දෙවියන් ඒ අයගේ නම් අපිට දැනගන්න පුළුවන් වෙන්න බයිබලේ වාර්තා කරලා තියෙනවා. ඒ ඇයි? ඒ අයව නමින්ම දන්න නිසා තමයි ඒ අය ඇත්තම පුද්ගලයන් කියලා අපිට හිතෙන්නේ. අපි කවදාවත් මෝසෙස්, නෝවා, යේසුස් එක්ක කතා කරලා නැති වුණත් අපි ඒ අයගේ නම් දන්න නිසා ඒ අය ඇත්තටම හිටපු අය කියලා අපිට කිසිම සැකයක් නෑ.

ටෝනි: ඒක නම් ඇත්ත. මම ඒ පැත්ත හිතලා තිබුණේ නෑ.

ඇන්තනි: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවියන්ගේ නම පාවිච්චි කරන්න එක හේතුවක් ඒක. හුඟක් කිට්ටු වෙන්න පුළුවන් ඇත්ත පුද්ගලයෙක් විදිහට දෙවියන් ගැන මිනිසුන්ගේ හිතේ විශ්වාසයක් ඇති කරන්නයි අපිට ඕනේ. ඒත් එක්කම අපේ ගැලවීම වෙනුවෙන් යේසුස් කරපු වටිනා දේ අපි හුඟක් අගේ කරනවා. ඒක පැහැදිලි කරන්න මම ඔයාට තව එක බයිබල් පදයක් පෙන්නන්නද?

ටෝනි: හා . . .

ඇන්තනි: කලින් අපි යොහන් 14:6 කියෙව්වනේ. එතන යේසුස් කිව්වේ “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි” කියලා. දැන් අපි ඒකට පද කීපයකට කලින් තියෙන දෙයක් බලමු. යොහන් 14:1 අන්තිම හරිය බලන්න.

ටෝනි: එතන කියන්නේ “දෙවි කෙරෙහි විශ්වාසය තබන්න. මා කෙරෙහිත් විශ්වාසය තබන්න” කියලා.

ඇන්තනි: මෙතන කියන විදිහට අපි විශ්වාසය තියන්න ඕනේ යේසුස් ගැනද? දෙවියන් ගැනද?

ටෝනි: යේසුස් කියන්නේ දෙන්නවම විශ්වාස කරන්න කියලා නේද?

ඇන්තනි: හරියට හරි. දැන් ඔයාට තේරුණද ටෝනි? අපි දෙවියන් ගැන විතරක් නෙමෙයි යේසුස්වත් විශ්වාසය කරන්න ඕනේ. ඒත් අපිට දෙවියන් ගැන, යේසුස් ගැන විශ්වාසයක් තියෙනවා කියලා කිව්වට විතරක් මදි. අපි ජීවත් වෙන විදිහෙන් ඒක පෙන්නන්න ඕනේ.

ටෝනි: ඒක ඇත්ත.

ඇන්තනි: ඒත් දෙවියන් ගැන, යේසුස් ගැන කෙනෙක්ට විශ්වාසයක් තියෙනවා කියලා එයා ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න පුළුවන් කොහොමද? අපි තව දවසක ඒ ගැන කතා කරමු. *

ටෝනි: ඒක හොඳයි.

බයිබලයේ සඳහන් ඉගැන්වීම් ගැන ඔයාට යම් ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් ගැන ඔයාට ප්‍රශ්න තියෙනවද? එහෙමනම් සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන අහන්න. ඒ ගැන ඔයාට පැහැදිලි කරලා දෙන්න එයාලා කැමතියි.

^ 58 ඡේ. වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 12වෙනි පරිච්ඡේදය බලන්න. එය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.