Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද?

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස 1වෙනි සියවසේදී

යුද්ධ ගැන දෙවියන්ගේ අදහස 1වෙනි සියවසේදී

සෙනඟ පීඩා විඳිමින් හිටියා. 1වෙනි සියවසේ යුදෙව්වන් රෝම අධිරාජ්‍යය යටතේ වින්ද පීඩාවලින් මුදවගන්න කියලා ඔවුන්ගේ මුතුන්මිත්තන් වගේම යාච්ඤා කරන්න ඇති. ඔය අතරේ ඔවුන්ට යේසුස් ගැන ආරංචි වුණා. පැමිණීමට නියමිත ගැලවුම්කරු ඔහු කියලා ඔවුන් හිතන්න ඇති. රෝම පාලනයෙන් වින්ද පීඩාවලින් “ඊශ්‍රායෙල් සෙනඟට ගැලවීම ලබා දෙන්න නියමිත තැනැත්තා ඔහු” කියලා ගොඩක් අය හිතුවා. (ලූක් 24:21) හැබැයි සිද්ධ වුණේ ඊට වඩා වෙනස් දෙයක්. ක්‍රිස්තු වර්ෂ 70දී රෝම හමුදාව ඇවිත් යෙරුසලමයි දේවමාලිගාවයි සම්පූර්ණයෙන්ම විනාශ කෙරුවා.

අතීතයේදී කළා වගේ දෙවියන් 1වෙනි සියවසේදී යුදෙව්වන් වෙනුවෙන් සටන් නොකෙරුවේ ඇයි? පීඩාකාරී තත්වයෙන් ගැලවෙන්න අඩුම තරමින් ඒ අයටවත් යුද්ධ කරන්න කිව්වේ නැත්තේ ඇයි? යුද්ධය ගැන දෙවියන්ගේ අදහස වෙනස් වෙලා තිබුණාද? නැහැ. වෙනස් වුණේ යුදෙව්වන්. ඔවුන් දෙවියන්ගේ පුතා වන යේසුස්ව ගැලවුම්කරු හැටියට පිළිගත්තේ නැහැ. (ක්‍රියා 2:36) ඒ නිසා ඔවුන්ට ජාතියක් හැටියට දෙවියන් එක්ක තිබුණු විශේෂ බැඳීම අහිමි වුණා.—මතෙව් 23:37, 38.

ඊටපස්සේ යුදෙව් ජාතියට සහ ඔවුන්ගේ දේශයට තවදුරටත් දෙවියන්ගේ ආරක්ෂාව ලැබුණේ නැහැ. ඒ වගේම යුදෙව්වන්ට දෙවියන්ගේ අනුමැතිය ඇතුව යුද්ධ කරනවා කියලා ආයේ කවදාවත් කියන්න හැකියාවක් තිබුණෙත් නැහැ. යේසුස් කලින් කියලා තිබුණේ දෙවියන්ගේ ආශීර්වාද හා අනුමැතිය ලැබෙන්නේ ජාතියක් හැටියට දෙවියන් තෝරගෙන තිබුණ ඊශ්‍රායෙලයට නෙමෙයි අලුත් සෙනඟකටයි කියලා. බයිබලයේ ඒ අයව හඳුන්වන්නේ “දෙවිගේ ඊශ්‍රායෙලය” කියලයි. (ගලාති 6:16; මතෙව් 21:43) දෙවියන්ගේ බලයෙන් අභිෂේක ලැබුව ක්‍රිස්තියානීන් ‘දෙවිගේ ඊශ්‍රායෙලයට’ ඇතුළත් වුණා. “ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය” කියලා 1වෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ට කියලා තිබුණා.—1 පේතෘස් 2:9, 10.

1වෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් “දෙවි තෝරාගත් සෙනඟ” වුණ නිසා රෝම පාලනයෙන් නිදහස් කරගන්න ඔවුන් වෙනුවෙන් දෙවියන් සටන් කෙරුවාද? නැත්නම් ඔවුන්ට සටන් කරන්න කියලා කිව්වාද? නැහැ. ඒ ඇයි? අපි කලින් ලිපියේ බැලුවා වගේ දෙවියන්ගේ අනුමැතිය තියෙන යුද්ධයකදී ඒක කරන්නේ කවදාද කියලා තීරණය කරන්නේ දෙවියන්. 1වෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වෙනුවෙන් දෙවියන් සටන් කෙරුවේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ 1වෙනි සියවස, යුද්ධයක් මාර්ගයෙන් දුෂ්ටකම්වලට නිමාවක් ගේන්න දෙවියන් තීරණය කරපු කාලය නෙවෙයි කියලයි.

අතීතයේදී දෙවියන්ගේ සේවකයන්ට වගේම 1වෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ටත් දුෂ්ටකම් හා දුක් පීඩාවලට නිමාවක් ගේන්න දෙවියන් නියම කරපු කාලය එන කල් බලාගෙන ඉන්න වුණා. ඒ කාලය එන්න කලින් තමන්ගේ අතට බලය අරගෙන සතුරන්ට විරුද්ධව යුද්ධ කරන්න ඔවුන්ට අවසර තිබුණේ නැහැ. යේසුස් මේ කාරණය අවධාරණය කෙරුවා. ඔහු තමන්ගේ අනුගාමිකයන්ට උපදෙස් දුන්නේ යුද්ධවලට හවුල් වෙනවා වෙනුවට ‘ඔබේ සතුරන්ට නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න’ කියලයි. (මතෙව් 5:44) 1වෙනි සියවසේදී යෙරුසලමට රෝම හමුදාව පහර දෙන එක ගැන යේසුස් අනාවැකියක් කියපු වෙලාවේ ඔහුගේ ගෝලයන්ට කිව්වේ නුවරේ ඉඳලා සටන් කරන්න නෙමෙයි නුවරින් පලා යන්න කියලයි.—ලූක් 21:20, 21.

නියෝජිත පාවුල් කිව්වෙත් මේ වගේ දෙයක්. “පළිගැනීමෙන් වළකින්න. . . . මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, ‘යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.’” (රෝම 12:19) පාවුල් උපුටලා දැක්වුවේ ලෙවී කතාව 19:18 සහ ද්විතීය කතාව 32:35 සඳහන් වෙන සියවස් ගාණකට කලින් දෙවියන්ම කියපු දෙයක්. අපි කලින් ලිපියේ බැලුවා වගේ අතීතයේදී දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරපු ක්‍රමයක් තමයි සතුරන්ට විරුද්ධව කරපු යුද්ධවලදී ඔවුන්ට උදව් කරපු එක. පාවුල්ගේ වචනවලින් පැහැදිලි වෙන්නේ 1වෙනි සියවසේදිත් යුද්ධ ගැන දෙවියන්ගේ අදහස වෙනස් වෙලා තිබුණේ නැහැ කියලයි. යුද්ධයක් මාර්ගයෙන් දෙවියන්ගේ සෙනඟ වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නත් දුෂ්ටකම් හා දුක් පීඩාවලට නිමාවක් ගේන්නත් දෙවියන්ගේ අනුමැතිය තිබුණා කියන එක ඒකෙන් පැහැදිලියි. හැබැයි යුද්ධයට හවුල් වෙන්නේ කවුද කියලත් යුද්ධය කරන්නේ කවදාද කියලත් තීරණය කෙරුවේ දෙවියන්.

1වෙනි සියවසේ ක්‍රිස්තියානීන්ට යුද්ධ කරන්න අවසර තිබුණේ නැහැ. ඒත් අද දින යුද්ධ කරන්න දෙවියන් කාටවත් අනුමැතිය දෙනවාද? නැත්නම් තමන්ගේ සෙනඟ වෙනුවෙන් යුද්ධ කරන්න දෙවියන්ගේ නියමිත කාලය මේකද? අද දින කරන යුද්ධ ගැන දෙවියන්ගේ අදහස මොකක්ද? මේ ලිපි මාලාවේ අන්තිම ලිපියෙන් ඒවාට උත්තර බලමු.