ආගම ව්‍යාපාරයක් වෙලාද?
අද තියෙන හුඟක් ආගම් මිනිසුන්ව දෙවියන්ට ළං කරනවා වෙනුවට සල්ලි හම්බ කරන එකට මුල් තැන දෙනවා කියලා ඔයා දැකලා තියෙනවාද? එයාලා බඩු මුට්ටු විකුණනවා. යම් සේවාවන් ලබා දෙන්න මිනිසුන්ගෙන් මුදල් අය කරනවා. හුඟක් ආගමික නායකයන්ට ලොකු පඩියක් ගෙවනවා. ඒ වගේම එයාලා ගත කරන්නේ හරිම සැප පහසු ජීවිතයක්. ඒකට උදාහරණ කීපයක් බලමු.
එක කතෝලික බිෂොප්වරයෙක් අවුරුදු 13ක් තිස්සේ පල්ලියට ලැබෙන මුදල් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට පාවිච්චි කරලා තියෙනවා. සමීක්ෂණයකින් පේන විදිහට එයා තමන්ටම කියලා වෙන් වුණ ජෙට් යානාවලින් ගමන් වාර 150කුත් අධිසුඛෝපභෝගී වාහනවලින් ගමන් වාර 200කුත් ගිහින් තියෙනවා. ඒ වගේම පල්ලියේ එයා නැවතිලා ඉන්න ගොඩනැඟිල්ල අලුත්වැඩියා කරන්න ඩොලර් මිලියන 4ටත් වඩා වියදම් කරලා තියෙනවා.
එක අප්‍රිකානු රටක ඉන්න ආගමික නායකයෙක්ගේ මෙහෙයන්වලට මිනිසුන් දසදහස් ගාණක් සහභාගි වෙනවා. ඒ මෙහෙයන් පවත්වන ගොඩනැඟිලි සංකීර්ණයේ විශේෂ බලයක් තියෙනවා කියලා කියන තෙල් වර්ගයක්, පූජකයාගේ පින්තූරය ගහලා තියෙන ටී ෂර්ට්, තුවා වගේ හුඟක් දේවල් විකුණනවා. එතැනට එන හුඟදෙනෙක් දුප්පත් අය වුණත් ඒ පූජකයා නම් ගොඩක් පොහොසත්.
චීනයේ බෞද්ධයන් පූජනීය කඳු විදිහට සලකන කඳු 4න් 2ක්ම ව්‍යාපාරික සමාගම් විදිහට ලියාපදිංචි කරලා තියෙනවා. ඒ වගේම ෂැවොලින් කියන පන්සලේ ප්‍රධානියා හුඟක් ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ නිසා එයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ “ප්‍රධාන විධායක නිලධාරී භික්ෂුව” කියලයි.
එක වාර්තාවකට අනුව මෑතක ඉඳලා ඇමරිකාවේ හුඟක් ආයතන තමන්ගේ සේවකයන්ව ආගමික කටයුතුවලට යොමු කරන්න, එයාලට ආගමික උපදෙස් ලබා දෙන්න ආගමික නායකයන්ව කුලියට ගන්නවා.
ආගම ව්‍යාපාරයක් වෙලා තියෙන එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? ආගමේ මුවාවෙන් සල්ලි හොයන අය ගැන දෙවියන්ට හිතෙන්නේ කොහොමද කියලා ඔයා කල්පනා කරලා තියෙනවාද?
ආගමේ මුවාවෙන් සල්ලි හොයන එක දෙවියන් සලකන්නේ කොහොමද?
දෙවියන් ඒක කොහොමටවත් අනුමත කරන්නේ නැහැ. බයිබලේ කියනවා අතීතයේදී දෙවියන් වෙනුවෙන් පෙනී හිටපු පූජකයන් “මුදලට” අනාවැකි කියපු එක ගැන දෙවියන් පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ කියලා. (මීකා 3:11) සල්ලිවලට තිබුණ කෑදරකම නිසා දෙවියන්ට නමස්කාර කරන්න තිබුණ තැන “කොල්ලකාරයන්ගේ ගුහාවක්” කරපු අයව දෙවියන් විනාශ කළා.—යෙරෙමියා 7:11.
ආගමේ මුවාවෙන් සල්ලි හොයපු අය ගැන යේසුස් හිතුවෙත් දෙවියන් හිතන විදිහටමයි. යේසුස්ගේ කාලේ හිටපු ආගමික නායකයන් ලාභ ලබාගන්න ඕනෙ නිසා කෑදර වෙළෙන්දන්ට දේවමාලිගාවේ වෙළඳාම් කරන්න අවසර දුන්නා. දෙවියන්ට නමස්කාර කරන්න ආපු අහිංසක මිනිසුන්ව ඒ වෙළෙන්දන් රැවැට්ටුවා. හැබැයි යේසුස් බය නැතුව ඒ අයව දේවමාලිගාවෙන් එළවලා දාලා “මගේ පියාණන්ගේ ගෘහය වෙළඳපොළක් හැටියට යොදාගන්න එක ඔබ දැන්මම නතර කළ යුතුයි” කියලා කිව්වා.—යොහන් 2:14-16.
යේසුස් හිතන්නේ දෙවියන් හිතන විදිහටමයි කියලා ඔහු සේවය කරපු විදිහෙනුත් පේනවා. (යොහන් 8:28, 29) ඔහු කවදාවත් මිනිසුන්ට දෙවියන් ගැන කියලා දෙන්න සල්ලි ගත්තේ නැහැ. ඒ වගේම බඩගින්නේ ඉන්න අයට කන්න දෙන එක, අසනීප සුව කරන එක, මැරුණු අයව නැවත නැඟිටවන එක වගේ ආශ්චර්යයන් කරලා මිනිසුන්ගෙන් සල්ලි බලාපොරොත්තු වුණෙත් නැහැ. යේසුස් කවදාවත් තමන්ගේ සේවය පාවිච්චි කරලා පොහොසත් වෙන්න උත්සාහ කළේ නැහැ. යේසුස්ට අඩුම තරමේ තමන්ටම කියලා ගෙයක්වත් තිබුණේ නැහැ.—ලූක් 9:58.
මුල් ක්‍රිස්තියානීන් ආගමේ මුවාවෙන් සල්ලි හම්බ කළාද?
යේසුස් ගෝලයන්ට කිව්වා එයාලා කරන සේවය වෙනුවෙන් කවදාවත් සල්ලි බලාපොරොත්තු වෙන්න එපා කියලා. යේසුස් කිව්වේ ‘ඔබට ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න’ කියලයි. (මතෙව් 10:8) මුල් කාලයේ හිටපු ක්‍රිස්තියානීන් යේසුස් දුන්න ඒ මඟ පෙන්වීමට කීකරු වුණා. ඒකට උදාහරණ 2ක් බලමු.
පේතෘස් කියන්නේ යේසුස් එක්ක එකට සේවය කරපු ඔහුගේ ගෝලයෙක්. එක අවස්ථාවක සීමොන් කියන කෙනාට ඕනෙ වුණා පේතෘස්ට සල්ලි දීලා ආශ්චර්යයන් කරන්න බලය ලබාගන්න. හැබැයි පේතෘස් ඒ වෙලාවෙම ඒක ප්‍රතික්ෂේප කරලා එයාට මෙහෙම කිව්වා. “ඔබේ මුදල් ඔබ සමඟම විනාශ වේවා! ඔබ හිතුවාද දෙවිගෙන් නොමිලේ ලැබෙන මේ දීමනාව මුදල් දී ගන්න පුළුවන් දෙයක් කියා?”—ක්‍රියා 8:18-20.
පාවුල් කියන්නේ සංචාරක සේවකයෙක්. එයා අවුරුදු ගාණක් තිස්සේ සභාවන්වල වෙහෙස මහන්සි වෙලා සේවය කළත් කවදාවත් එයා කරන දේවල් වෙනුවෙන් සල්ලි බලාපොරොත්තු වුණේ නැහැ. එයා කිව්වේ “බොහෝදෙනෙකු කරනවා වගේ අපි දෙවිගේ පණිවිඩය විකුණා ජීවත් වන අය නොවන්නෙමු” කියලයි. (2 කොරින්ති 2:17) පාවුල් මෙහෙමත් ලිව්වා. “අපගේ වියහියදම්වලින් ඔබෙන් කිසිවෙකුට බරක් දැනෙනවාට අප අකමැති වූ නිසා රෑ දවල් වැඩ කරමින් අපි ඔබට දෙවිගේ ශුභාරංචිය දේශනා කළෙමු.”—1 තෙසලෝනික 2:9.
ඇත්ත, මුල් ක්‍රිස්තියානීන්ට එයාලා කරපු දේශනා සේවයට සහ සභාව වෙනුවෙන් කරපු තවත් දේවල්වලට වියදම් කරන්න සල්ලි ඕනෙ වුණා. හැබැයි ඒ දේවල් කරන්න එයාලා කවදාවත් මිනිසුන්ගෙන් සල්ලි ගත්තේ නැහැ. ඒත් කෙනෙක් කැමති නම් යම් පරිත්‍යාගයක් කරන්න එයාට අවස්ථාව තිබුණා. ඒකට උදව් වුණ ප්‍රතිපත්ති 2ක් බලමු.
2 කොරින්ති 8:12: “සුදුසුම දේ වන්නේ පුද්ගලයෙකු සිය කැමැත්තෙන් යමක් දීමයි. එලෙසම කෙනෙකුගෙන් බලාපොරොත්තු වන්නේ තමාට නැති දේ දීම නොව තමාට තිබෙන දෙයින් දීමයි.”
තේරුම: කෙනෙක් පරිත්‍යාග කරන ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ එයා ඒක කරන චේතනාවයි.
2 කොරින්ති 9:7: “කොපමණ ප්‍රමාණයක් දෙනවාද කියා එකිනෙකා තම තමාගේ සිතින් තීරණය කර ඒ අනුව දීම සුදුසුය. අකමැත්තෙන් හෝ වෙනත් කෙනෙකුගේ බල කිරීම නිසා හෝ දීමෙන් ප්‍රයෝජනයක් නැත. මන්ද දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන තැනැත්තාටය.”
තේරුම: කෙනෙක් අකමැත්තෙන් පරිත්‍යාග කරනවාට දෙවියන් කැමති නැහැ. ඒ වෙනුවට ඔහු සතුටු වෙන්නේ කෙනෙක් කැමැත්තෙන්ම පරිත්‍යාග කරද්දියි.
මිනිසුන්ව සූරා කන ආගම්වලට වෙන්න යන්නේ මොකද්ද?
දෙවියන් හැම ආගමක්ම පිළිගන්නේ නැහැ කියලා බයිබලේ පැහැදිලිවම කියලා තියෙනවා. (මතෙව් 7:21-23) අසත්‍ය උගන්වන ආගම්, ආණ්ඩු එක්ක එකතු වෙලා වැඩ කරන නිසා බයිබලේ ඒ ආගම් ගණිකාවකට සමාන කරලා තියෙනවා. ඒ ආගමික නායකයන් වාසි ප්‍රයෝජන ගන්න ඕනෙ නිසා ආණ්ඩු එක්ක එකතු වෙලා අහිංසක මිනිසුන්ට අසාධාරණ විදිහට සලකනවා. (එළිදරව් 17:1-3; 18:3) බයිබලේ තියෙන එක අනාවැකියක කියනවා දෙවියන් ළඟදීම ඒ හැම ආගමක්ම විනාශ කරනවා කියලා.—එළිදරව් 17:15-17; 18:7.
අසත්‍ය උගන්වන ආගම් කරන දේවල් නිසා මිනිසුන් රැවටෙනවාටවත් තමන්ගෙන් ඈත් වෙනවාටවත් දෙවියන් පොඩ්ඩක්වත් කැමති නැහැ. (මතෙව් 24:11, 12) ඒ නිසා අසත්‍ය උගන්වන ආගම්වලින් ඈත් වෙලා ඔහු කැමති විදිහට නමස්කාර කරන්නේ කොහොමද කියලා දෙවියන් අවංක මිනිසුන්ට උගන්වනවා.—2 කොරින්ති 6:16, 17.