Skip to content

පටුනට යන්න

Marek M. Berezowski/Anadolu Agency via Getty Images

සෝදිසියෙන් ඉන්න!

යුක්රේන යුද්ධය වසරක් ඉක්මවයි - බයිබලෙන් බලාපොරොත්තුවක්!

යුක්රේන යුද්ධය වසරක් ඉක්මවයි - බයිබලෙන් බලාපොරොත්තුවක්!

 2023 පෙබරවාරි 24වෙනි සිකුරාදා යුක්රේන යුද්දෙට වසරක් පිරුණා. සමහර වාර්තාවල පෙන්නන විදිහට මේ යුද්ධය නිසා යුක්රේන සහ රුසියානු සොල්දාදුවන් ලක්ෂ 3ක් විතර තුවාල ලබලා එහෙම නැත්නම් එයාලාගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ජනයාගෙන් 30,000ක් විතර මේ යුද්දෙන් මිය ගිහින් තියෙනවා. හැබැයි ඒ ගණන් මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්.

 මෙච්චර විනාශයක් සිද්ධ වෙලා තිබුණත් තාමත් යුද්ධය නවතින පාටක් නම් පේන තෙක් මානෙකවත් නැහැ.

  •   “රුසියානු හමුදාව යුක්රේනයට ඇතුල් වෙලා දැන් අවුරුද්දක් වෙන්නත් යනවා. හැබැයි රටවල් දෙකෙන් එකක් දිනන පාටකුත් නැහැ, කතාබහ කරලා මේක විසඳගන්න පාටකුත් නැහැ.”—NPR (National Public Radio), 2023 පෙබරවාරි 19.

 මේ දරුණු යුද්ධයට මැදි වුණ හුඟදෙනෙක් කටුක දේවලට මුහුණ දෙනවා. වේදනාවෙන් පීඩා විඳිනවා. මේ යුද්දේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම සිද්ධ වෙන යුද්ධ නිසා අහිංසක ජීවිත දහස් ගාණක් අසරණ වෙලා තියෙනවා. ඇත්තටම යුද්ධ නවතින දවසක් කවදා හරි එයිද? ඒ ගැන බයිබලේ බලාපොරොත්තුවක් දීලා තියෙනවාද?

යුද්ධ නවත්තන යුද්ධයක්!

 බයිබලෙත් යුද්ධයක් ගැන කතා කරලා තියෙනවා. හැබැයි ඒ යුද්ධය ජීවිත විනාශ කරන එකක් නෙවෙයි, ජීවිත ආරක්ෂා කරන එකක්. බයිබලේ ඒ යුද්ධය හඳුන්වන්නේ හර්–මගෙදොන් කියලයි. ඒකට “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” කියලත් කියනවා. (එළිදරව් 16:14, 16) අද සිද්ධ වෙන යුද්ධවලට අනුබල දෙන හැම ආණ්ඩුවක්ම දෙවියන් හර්–මගෙදොන් යුද්දේදී විනාශ කරනවා. ඊටපස්සේ ඔහු මේ මුළු පොළොවම සතුටින්, සාමයෙන් පුරවනවා. ඒ ගැන දැනගන්න මේ ලිපි බලන්න.