Skip to content

පටුනට යන්න

විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 “ලෝකෙට සාමය උදා වෙන්න නම් අනිවාර්යයෙන්ම මිනිස්සු විවිධත්වයට ගරු කරන්න ඕනේ.”—යුනෙස්කෝ සංවිධානය, 1995.

 හැබැයි කෙනෙක් විවිධත්වයට ඉඩ දුන්නේ නැත්නම් එයා අනිත් අයට අගෞරව කරන්න, වෛර කරන්න පෙලඹෙනවා. ගොඩක් වෙලාවට එයාගේ කතාබහෙන්, එයා අනිත් අයට සලකන විදිහෙන් ඒක එළියට එනවා. අන්තිමේදී ඒක ගොඩක් දරුණු දේකින් වුණත් කෙළවර වෙන්න බැරි නැහැ.

 විවිධත්වයට ඉඩ දෙන එක ගැන මිනිස්සුන්ට එක එක අදහස් තියෙනවා. සමහර අය හිතන්නේ ඕනම කෙනෙක් කරන ඕනම දෙයක් අපි අනුමත කරන්න ඕනෙ කියලා. මේ කාරණය ගැන බයිබලයේ කියලා තියෙන විදිහට හිතන අයත් ඉන්නවා. එයාලා පිළිගන්නවා තමන්ට කැමති දෙයක් විශ්වාස කරන්න, කැමති තීරණ ගන්න හැමෝටම අයිතිය තියෙනවා කියලා. සමහර වෙලාවට ඒ දේවල් තමන් හිතන විදිහට වඩා වෙනස් වුණත් එයාලා අනිත් අයගේ නිදහසට බාධා කරන්නෙවත් ඒ අයව පහත් කරන්නෙවත් නැහැ.

 අනිත් අයගේ අදහස්වලට ගරු කරන, සාධාරණ කෙනෙක් වෙන්න අපිට උදව් කරන්න බයිබලයට පුළුවන්ද?

විවිධත්වයට ඉඩ දෙන්න ඕනෙ ඇයි?

 බයිබලයේ කියනවා “ඔබ සාධාරණ ලෙස කටයුතු කරන කෙනෙකු බව සියලුදෙනාටම පැහැදිලි විය යුතුයි” කියලා. (ෆිලිප්පි 4:5) ඒකෙන් තේරෙනවා බයිබලයේ අපිට දිරිගන්වන්නේ අනිත් අය ගැන සැලකිලිමත් වෙලා එයාලට කරුණාවෙන්, සාධාරණව සලකන්න කියලා. ඒ උපදෙස අදාළ කරගන්න කෙනෙක් වැඩ කරන්නේ කොහොමද? එයා අනිත් අයගේ හැම අදහසකටම එකඟ වුණේ නැතත් එයාලා කැමති විදිහට ජීවත් වෙන්න එයාලට ඉඩ දෙනවා.

 බයිබලයේ මෙහෙමත් කියනවා. “මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.” (මීකා 6:8) ඒකෙන් පේනවා මිනිස්සු ජීවත් වෙන්න ඕන විදිහ ගැන යම් ප්‍රමිති දෙවියන් දීලා තියෙනවා කියලා. ඒ ප්‍රමිති අදාළ කරගත්තොත් සතුටින් පිරුණු, සාර්ථක ජීවිතයක් ගත කරන්න මිනිස්සුන්ට පුළුවන්.—යෙසායා 48:17, 18.

 අනිත් අයව විනිශ්චය කරන්න දෙවියන් අපි කාටවත් අයිතිය දීලා නැහැ. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. ‘ඇත්තෙන්ම නීතිදායකයෙකු හා විනිශ්චයකරුවෙකු ලෙස සිටින්නේ එක් කෙනෙකු පමණි. එසේනම් ඔබේ අසල්වැසියාව විනිශ්චය කිරීමට ඔබ කවුද?’ (යාකොබ් 4:12) අපි කැමති විදිහට ජීවත් වෙන්න, කැමති තීරණ ගන්න දෙවියන් අපි හැමෝටම නිදහස දීලා තියෙනවා. හැබැයි අපි ගන්න හැම තීරණයකම වගකීම තියෙන්නේ අපේ අතේ.—ද්විතීය කතාව 30:19.

ගරු කරන එක ගැන බයිබලයේ කියන දේ

 බයිබලයේ අපිට කියන්නේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියලා. (1 පේතෘස් 2:17) ඒ උපදෙස පිළිපදින කෙනෙක් අනිත් අය විශ්වාස කරන දේ මොකක්වුණත් එයාලා කොයි වගේ ජීවිත ගත කළත් හැමෝටම ගෞරවයෙන් සලකනවා. (ලූක් 6:31) හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කෙනා අනිත් අය ගන්න හැම තීරණයක්ම, එයාලා විශ්වාස කරන හැම දෙයක්ම අනුමත කරනවා කියලා. ඒත් තමන්ට වඩා වෙනස් විදිහට හිතන අයව පහත් කරනවා වෙනුවට එයා හැම තිස්සේම උත්සාහ කරන්නේ යේසුස් අනිත් අයට සලකපු විදිහටම එයාලට සලකන්න.

 උදාහරණයකට දවසක් වෙනත් ආගමක් අදහපු කාන්තාවක්ව යේසුස්ට හම්බ වුණා. එයා අදහපු ආගම යේසුස් අනුමත කළේ නැහැ. අනික ඒ කාන්තාව එක්ක එකට ජීවත් වුණ කෙනා එයාගේ ස්වාමිපුරුෂයාත් නෙවෙයි. යේසුස් ඒක අනුමත කළෙත් නැහැ. ඒ වුණත් යේසුස් ඒ කාන්තාවට සැලකුවේ හරිම ගෞරවයෙන්.—යොහන් 4:9, 17-24.

 යේසුස්ව ආදර්ශයට ගන්න ක්‍රිස්තියානීන් තමන්ගේ විශ්වාසයන් ගැන දැනගන්න කැමති හැමෝටම ඒ ගැන කියනවා. හැබැයි එයාලා ඒක කරන්නේ “ගැඹුරු ගෞරවයකින්.” (1 පේතෘස් 3:15) බයිබලයේ ක්‍රිස්තියානීන්ට පැහැදිලිවම කියනවා එයාලාගේ විශ්වාසයන් අනිත් අයට බලෙන් පටවන්න හදන්න එපා කියලා. එයාලා වෙනත් විශ්වාසයන් තියෙන අයත් එක්ක කතා කරද්දී ‘දබර කරන්නේ නැහැ. ඒ වෙනුවට සියලුදෙනා එක්ක මෘදුකමින් කටයුතු කරනවා.’—2 තිමෝති 2:24.

වෛරය ගැන බයිබලයේ කියන දේ

 බයිබලයේ අපිට කියනවා ‘සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමට දැඩි උත්සාහයක් දරන්න’ කියලා. (හෙබ්‍රෙව් 12:14) එහෙම කරන කෙනෙක් කවදාවත් අනිත් අයට වෛර කරන්නේ නැහැ. අනිත් අය නිසා එයාගේ ප්‍රතිපත්ති බාල කරගන්නේ නැතුව එයාලා එක්ක සමාදානයෙන් ඉන්න එයා ගොඩක් මහන්සි වෙනවා. (මතෙව් 5:9) ඇත්තටම බයිබලයේ අපිට කියන්නේ අපේ සතුරන්ටත් ඒ කියන්නේ දිගින් දිගටම අපිට නපුරුකම් කරන අයටත් ආදරේ කරන්න කියලයි.—මතෙව් 5:44.

 ඇත්ත, අනිත් අයට හානියක් වෙන දේවල් කරන එක දෙවියන් “ද්වේෂ කරනවා.” ඒ දේවල් ඔහු “පිළිකුල් කරනවා.” (හිතෝපදේශ 6:16-19) හැබැයි දෙවියන් “ද්වේෂ කරන්නේ” වැරදි කරන පුද්ගලයාට නෙවෙයි, එයා කරන ක්‍රියාවටයි. මොකද කෙනෙක් වැරදි අත්හැරලා දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවිතේ වෙනස් කරගද්දී සමාව දීලා එයාට උදව් කරන්න දෙවියන් ආසාවෙන් ඉන්නවා.—යෙසායා 55:7.

විවිධත්වයට ගරු කරන එක ගැන තියෙන බයිබල් පද

 තීතස් 3:2: ‘සාධාරණව කටයුතු කරන්න. සියලුදෙනා සමඟ නිතරම මෘදුකමින් කටයුතු කරන්න.’

 සාධාරණව වැඩ කරන කෙනෙක් තව කෙනෙක් වෙනස් අදහසක් ඉදිරිපත් කරද්දී ඒක පහත් කරන්නේ නැහැ. එයා හැම වෙලාවෙම අනිත් අයට ගෞරවයෙන් සලකනවා.

 මතෙව් 7:12: “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”

 අනිත් අය අපේ අදහස්වලට ගරු කරද්දී, අපේ හැඟීම් ගැන සැලකිලිමත් වෙද්දී අපි ගොඩක් ආසයි. ඒ නිසා අපිත් අනිත් අයට සලකන්න ඕනෙ ඒ විදිහටමයි. යේසුස් දීපු ඒ වැදගත් ආඥාව ගැන වැඩි විස්තර දැනගන්න “රන් අණ කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

 යොෂුවා 24:15: “ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න.”

 තීරණ ගන්න අනිත් අයට තියෙන නිදහසට ගරු කරද්දී ඒකෙන් පේනවා අපි සාමය රකින අය කියලා.

 ක්‍රියා 10:34: “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා.”

 කෙනෙක් ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් එයාගේ සංස්කෘතිය, ජාතිය, පසුබිම මොකක්වුණත් දෙවියන් කාවවත් පහත් කරලා සලකන්නේ නැහැ. දෙවියන්ව ආදර්ශයට ගන්නවා නම් අපිත් හැමෝටම සලකන්නේ ඒ විදිහටයි.

 හබක්කුක් 1:12, 13: “නපුර ගණන් නොගෙන සිටීමට දෙවිට නොහැක.”

 දුෂ්ට මිනිස්සුන්ට කැමති කැමති දේවල් කරන්න දෙවියන් හැමදාම ඉඩ දෙන්නේ නැහැ. මොකද ඔහුගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා. ඒ ගැන තව විස්තර දැනගන්න ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

 රෝම 12:19: “දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න. මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, ‘යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.’” a

 දෙවියන් කාටවත් පළිගන්න අයිතිය දීලා නැහැ. ඒ වෙනුවට ඔහු නියම කරලා තියෙන කාලේදී අනිවාර්යයෙන්ම යුක්තිය ඉටු කරනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. ඒ ගැන තව දැනගන්න “හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?” කියන ලිපිය බලන්න.

a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න ”‏යෙහෝවා කියන්නේ කවුද?”‏ කියන ලිපිය බලන්න.