Skip to content

පටුනට යන්න

Surasak Suwanmake/Moment via Getty Images

සෝදිසියෙන් ඉන්න!

2023 ලොවක් දැවූ තාප තරංග - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

2023 ලොවක් දැවූ තාප තරංග - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 ලෝකේ පුරාම ඉන්න මිනිස්සු හිතාගන්නවත් බැරි තරම් දැඩි උණුසුමකට මුහුණ දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හුඟක් ස්වාභාවික විපත් ඇති වෙලා තියෙනවා. මේ වාර්තාවට අවධානය දෙන්න.

  •   “අවුරුදු 174ක් පුරා මිනිස්සු ගෝලීය උණුසුම සටහන් කරලා තියෙනවා. ඒ කාලේ පුරාවටම මෙතරම් උෂ්ණත්වයක් වාර්තා වෙලා නැහැ.”—එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ තියෙන ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය, 2023 ජූලි 13.

  •   “අධික තාපය තරංගයක් විදිහට ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ජර්මනිය සහ පෝලන්තය හරහා ගමන් කරනවා. විද්වතුන් කියන විදිහට සිසිලිය සහ සාර්ඩිනියා දූපත්වල උෂ්ණත්වය 48°C [118°F] දක්වා ඉහළ යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඒක තමයි යුරෝපයේ මෙතෙක් වාර්තා වුණ ඉහළම උෂ්ණත්වය වෙන්නේ.”—යුරෝපයේ අභ්‍යවකාශ ඒජන්සිය, 2023 ජූලි 13.

  •   “මේ විදිහට පෘථිවියේ උෂ්ණත්වය දිගින් දිගටම ඉහළ ගියොත් නිතර නිතර ධාරානිපාත වර්ෂා ඇති වෙන එක වළක්වන්න කාටවත්ම බැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තව තවත් දරුණු විදිහේ ජලගැලීම් පවා ඇති වෙන්න පුළුවන්.”—ලෝක කාලගුණික සංවිධානයේ ජල විද්‍යාව හා සම්බන්ධ අධ්‍යක්ෂක වන ස්ටෙෆාන් ඌලන්බෘක්, 2023 ජූලි 17.

 මේ වගේ වාර්තා ගැන අහද්දී අනාගතය ගැන ඔයාගේ හිතටත් ලොකු බයක් දැනෙනවාද? මේ දැවෙන ප්‍රශ්නය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

අනාවැකිවල ඉටු වීමක්ද?

 ඔව්. ගෝලීය උණුසුම ඇතුළු මේ සිද්ධ වෙන කාලගුණික විපර්යාසවලින් ඇත්තටම ඉටු වෙන්නේ බයිබල් අනාවැකි. උදාහරණෙකට යේසුස් අනාවැකියක කිව්වා මේ කාලේ “බිහිසුණු දේවල්” වෙනවා කියලා. (ලූක් 21:11) ඉතින් මේ විදිහට ගියොත් පොළොව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කිසිම කෙනෙක්ට ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙයිද කියලා හුඟදෙනෙක් ඉන්නේ බයෙන්.

ජීවත් වෙන්න බැරි තැනක් වෙයිද?

 නැහැ. මොකද දෙවියන් මේ පොළොව නිර්මාණය කළේ තාවකාලික තැනක් විදිහට නෙවෙයි, මිනිස්සුන්ගේ සදාකාලික නිවහන විදිහට. (ගීතාවලිය 115:16; දේශනාකාරයා 1:4) ඒ නිසයි “පොළොව විනාශ කර දමන අයව විනාශ කර දමනවා” කියලා ඔහු පොරොන්දු වෙලා තියෙන්නේ.—එළිදරව් 11:18.

 බයිබලයේ තියෙන දේවල්වලින් පේනවා ස්වාභාවික විපත්වලින් පොළොව ආරක්ෂා කරන්න දෙවියන්ට බලය තියෙනවා විතරක් නෙවෙයි ඔහු ඒක ඉස්සරහට අනිවාර්යයෙන්ම කරනවා කියලා.

  •   “දෙවියන් කුණාටුව නතර කර මුහුද නිශ්චල කරන්නේය.” (ගීතාවලිය 107:29) තාපය, සුළඟ, වැස්ස වගේ ස්වාභාවික බලයන් පාලනය කිරීමේ හැකියාව දෙවියන්ට තියෙනවා. ඒ විතරක් නෙවෙයි මිනිස්සුන්ට ලොකු වේදනාවක් ඇති කරන මේ දරුණු ස්වාභාවික විපත් නිසා පොළොවට වෙලා තියෙන හානිය පිළිසකර කරන්නත් ඔහුට හැකියාව තියෙනවා.

  •   “පොළොවේ පලදාව බොහෝ සෙයින් වැඩි වීම සඳහා ඔබ එයට ආශීර්වාද කර ඇත. ඔබ එය සාරවත් කර ඇත.” (ගීතාවලිය 65:9) දෙවියන්ගේ ආශීර්වාදයෙන් ළඟදීම මේ පොළොව පාරාදීසයක් වෙනවා.

 මේ පොළොව සුන්දර තැනක් වෙනවා කියලා බයිබලයේ තියෙන පොරොන්දුව ගැන තවත් විස්තර දැනගන්න “මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?” කියන ලිපිය බලන්න.